අද ජීවත්වෙන දරුවන් නිරෝගී නෑ කිවොත් ඔබ විශ්වාස කරනවද ?එහෙම කියන්න හේතු රැසක් තිබෙනවා.ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබේ දරුවා ආහාරයට ගන්නේ මොනවද? බොහෝ දුරට අද වෙනකොට දරුවන් මැල්ලුම් වර්ගයක් ආහාරයට ගන්නේ නැති තරම් .ඒ කියන්නේ දරුවන් බට හිර සංස්කෘතියට අනුව තමයි හැඩ ගැහෙන්නේ.ගොඩක් තරුණ තරුණියන් ප්‍රසිද්ධ තැන්වලින් තමයි ආහාර උනත් කන්න කැමති.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පාරම් පරිකව දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරපු මතක ගුලිය ගැන .දරුවන්ට උගන්වන්න ගන්න වෙහස ගැන දන්නේ ඉස්කෝලෙ යන දරුවො ඉන්න දෙමව්පියන්ම තමයි. එහෙම මහන්සි වෙලත් දරුවන්ට පාඩම් මතක නැහැ,විෂය කරුණු මතකයේ තියා ගන්න බැහැ කීවාම දෙම්ව්පියන් කොච්චර අසරණද.. කොතැනද වැරැද්ද?? අපේ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කර ගන්න ක්‍රමයක්/අත් බෙහෙතක් ගැන කියන්න හිතුනා.

පැරැණ්නන් මොකද කලේ???අපේ පැරැණ්නන් දරුවෙකු උපදිනකොටම දරුවාගේ බුද්ධිමත් භාවය ඉස්මතු කර ගන්න ක්‍රම උපයෝගී කර ගත්තා. අහලත් ඇති රන් කිරි කටගානවා කියලා කතාවක්. ආයුර්වේදයේ මේකට කීවේ ස්වර්ණප්‍රාශන සංස්කාරය කියලයි. දරුවකු ඉපදුනාම මව් කිරි දෙන්නත් ප්‍රථමයෙන් ස්වර්ණභෂ්ම සහ සවිඳලුණු අසමාන ප්‍රමාණ වලින් අරන් මිශ්‍ර කර දරුවාගේ දිවේ ගෑමෙන් තමයි මේක කලේ.මේ කටයුත්තෙන් පැරැණ්නන් දරුවාට ගර්භ තරලය පෙවී ඇත්නම් එය වමනය මඟින් ඉවත් කිරීමත් දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීමත් යන කාරණා බලාපොරොත්තු උනා.එහෙම කලාම බුද්ධිය වැඩෙයිද?මේ කවියත් කියවලා බලන්නකෝ..

  • දැමිතිරි ඉස්ම ගෙන
  • රන් ඇන ඊගහා ගෙන
  • ලේහ කරවූ තැන
  • පබා මේදස් වැඩෙයි නියතින
  • රන් ඇන කුදු වද මීයෙන් ගලගාය
  • මන් ලෙස මෙ ඔසු වැළඳෙව්වොත් වෙසෙසාය
  • ඉන් ඔහු පෙරට සුරගුරුවත් නොසිටීය
  • දැන් මතු නොවෙයි පෙර ඉසිවරු පැවසීය

කොයි වයසෙද බුද්ධිමත් ???දරුවාගේ මතකය වැඩි දියුණු කර ගන්න උත්සාහ ගන්න ඕනි දරුවා පාසල් යන්න පටන් ගත්තම කියලයි අද අම්මලා තාත්තලා හිතන්නේ.දරුවා අම්මගේ කුසට ඇවිත් මාස තුනක් වෙද්දී දරුවට ඇහෙන්න දැනෙන්න පටන් ගන්නවා.මාස හතරක් වෙද්දි අම්මට දොළදුක හැදෙන්නෙත් දරුවාගේ සිතිවිලි නිසා කියලයි පැරැණි පොත්පත් වල කියැවෙන්නේ. රජු දකින්න කැමති ගැබිණියගේ දරුවා මහා සෞභාග්‍යය සම්පන්න කුමාරයෙක් වෙනවා කියලත් කියනවානේ.ඒක නිසා තමයි අපේ අම්මලාට මේ කාලෙට ගිතෙල් මිශ්‍ර ආහාර නිතර ගන්න කීවේ.තවමත් දරුවෙක් ඉපදෙන්න ඉන්න අම්මලා කුසට මාස හයක් පිරෙද්දි ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මලා පිරිතක් කියනවා.එයින් දරුවාගේ මානසික ඒකාග්‍රතාවය බලාපොරොත්තු වූවා නොවේද?මේ කාලේ තමයි දරුවාගේ බුද්ධිය වැඩෙන්නේ. අපේ අම්මලාට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ අම්මා තමන්ගෙ අම්මා ලඟට යන්නෙත් අම්මාගේ උපදෙස් වඩා හොඳ බව දන්නා නිසා නේද?

දැන් මොකද කරන්නේ???මේ දේවල් කරන්න බැරි උනා කියලා ඔබේ දරුවාට බැහැ කියල හිතන්න නම් එපා. අපි අපේ පරණ කුස්සිය ආයෙම හදා ගමු. ඒ දේවල් වලින්ම අපි අපේ දරුවන්ගේ නැණ වගේම සෞඛ්‍යයත් ඔප් නංවමු. පළා වර්ග නිතර දරුවන්ගේ ආහාරයට එකතු කරන්න ඕනි.අපේ ආත්තම්මා කීවේ නම් උදේට රජෙක් වගේ කන්න රෑට හිඟන්නෙක් වගේ කන්න කියලයි.එහෙම කීවා කියලා දැන් හිඟන්නොත් රෑට කන්නෙ කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කියලා ඒවා කනවා එහෙම නෙවෙයි. දරුවන්ට උදේට ගන්න ඕනි ඒ රාජකීය ආහාර වේල පාන් පෙත්තකට සීමා කරන්න එපා අපේ දෙමව්පියන්.

මොනාද ඉතින් හොද???පළමුවැන්න පළා වර්ග. නිතරම ගොටුකොළ, ලුණුවිල වගේ කොළ වර්ග ආහරයට එකතු කර ගැනීම ඉතා වැදගත්. ගොටුකොළ කැඳ ගැන හැමෝම දන්නවානේ. කෘතීම ආහාර වර්ග බීම වර්ග දරුවන්ට දෙන එක නතර කරමු. ක්ෂණික ආහාර නොසුදුසු බව සිහි තබා ගන්න. සෑම විටම නිවසේම සකස් කල ආහාර ඔබේ දරුවාට ලබා දෙන්න කියල හැම තැනමත් බෝඩ් ගහල තියෙනවා දැකලත් ඇතිනේ.හැබැයි ඒවා පෝෂ්‍යදායි වෙන්න ඕන.
අනිත් දේ තමයි උදේට දෙන වහ වීදුරුව. ඕක නැවැතුවා නම් පොඩි උන් බත් කටවල් දෙකක් හරි කනවා. පිටිකිරි ගැන තමාකීවේ.

කෝ ඉතින් ඔය මතක ගුලිය….??ඔන්න දැන් තමයි හොදම හරිය.අපි මේක හදා ගන්න ගන්නෙත් ලුණුවිල තමයි.තව ගිතෙල් ටිකකුත් ඕන.හොදින් පිරිසිදු කර ගත්තු ලුණුවිල හොඳින් කොටලා එම ඉස්ම වලට සමානව ගිතෙල් අරගන්න. හොද ගිතෙල් ගන්න වග බලා ගන්නම ඕන. කෑමට ගන්නා දේශීය එකක් ඉල්ලුවාම බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවනි. මේක අළුත් මැටි බාජනයක හොඳින් පිස ගන්න ඕන. දොදොල් හැඳි ගාන විදිය හැමෝම දන්නවානේ ඒ විදියට හැඳි ගාමින් පිස ගන්න.. මේ සෘතය අතේ නොඇලෙන පදම වෙනකොට ලිපෙන් බා ගන්න. හොඳින් නිවුනාට පසුව වීදුරු බෝතලයක දමා ගන්න. දරුවාට උදේට කෝපි ඇටයක ප්‍රමාණය උණු වතුරත් එක්ක දෙන්න. එළ කිරි එක්ක නම් වඩා හොඳයි.පිටි කිරි නම් නෙවෙයි ඔන්න. හදා ගන්න බැරි කෙනෙක් ගමේ වෙදමහත්තයාට කීවොත් හදලා දේවි.වෙද මහත්තයා මුණ ගැහෙන්නකෝ.දරුවන්ගේ මතක ශක්තිය වැඩි කර ගන්නෙ කෝමද කියලා කීප දෙනෙක්ම අහපු නිසයි ලියන්න හිතුවේ.ලිපියේ ඌනපූර්ණයට විද්වත් ඔබට ආරාධනා කර සිටිනවා.ඔබගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. මේ පුංචි උත්සාහය සතුට ඉසුර යහගුණ බෙදන නැණවත් දරු පරපුරක් දැකීමටයි. තෙරුවන් සරණයි . (උපුටා ගත් ජායාරූපයක්) සෙනරත් නිරෝෂන්