මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇත. මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යයි ජනාධිපතිවරයා නියම කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත සහ රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ලබාගන්නා ගුවන් ටිකට්පතට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා වන ගුවන් ටිකට්පත්ද ඒ සියලුදෙනාගේ හෝටල් ගාස්තු හා රෝහල් ගාස්තු ඇතුළු සියලු වියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා තිබේ. ජනතා වරමින් තේරී පත්වන මහජන නියෝජිතයන් තමන්ගේ පෞද්ගලික විය හියදම් තමන් විසින් දරා ගැනීමේ ප්‍රතිපත්තිය දිරිගැන්වීම පිණිස ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.

ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයායි. ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, තාක්ෂණධරයෙක් සහ විශ්‍රාමික හමුදාමය නිලධාරියෙක් වේ. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය. 2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය. වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය