භාචි හිටි හැටියේ අසනීප වුණා කියලා ආරංචියි, දැන් කොහොමද? මගේ හිසේ ශල්‍යකර්මයක් කළා. විශ්වයේ කුමන හෝ බලයකින් මං තාම ජීවතුන් අතර. ඇත්තටම දැන් මට සෑහෙන්න සුවයි ශල්‍යකර්මය නිසා ඇතිවූ වේදනාව තවම තියෙනවා ඒකත් බෙහෙත් එක්ක අඩුවෙයි. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ? ඒ ටික කාලයකට කලින් සිද්ධ වෙච්ච අනතුරක් ප්‍රධාන වශයෙන් බලපාන්න ඇති කියලා හිතනවා ඊට අමතරව මෑත කාලයේ ඇති වූ අධික කාර්යබහුලත්වය සහ දැඩි මානසික පීඩනයත් මේ තත්ත්වයට බලපාන්න ඇති. වෛද්‍යවරු මොනවද කියන්නෙ ඔබේ තත්ත්වය ගැන? වෛද්‍යවරුන් කියන ආකාරයට සාමාන්‍යයෙන් මේ ශල්‍යකර්මය කිරීමෙන් පසුව ඇතිවන තත්ත්වය හේතුවෙන් රෝගීන් මාස තුනත් හතරත් අතර කාලයක් විවේක ගත යුතුයි. නමුත් දැනට ඇති ස්වභාවය අනුව මට ඉක්මන් සුවයක් ඇතිවෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙය හිසේ ශල්‍යකර්මයක් නිසා පරිස්සම් වීම ඉතා වැදගත් වේවි කියලා ඔවුන් තරයේ ප්‍රකාශ කළා. ඔබ ගායන කටයුතුවලින් නිහැඩියාව බිඳින්න කල් ගන්නවාද? කිසිසේත්ම නෑ රසික රසිකාවියන්ට මගේ නිහඬතාවක් දැනෙන එකක් නෑ මොකද මේ වන විටත් ගීත සෑහෙන ප්‍රමාණයක් කරලා අවසන් මම ඒ විවේක ගන්නා මාස 3 තුළ ගීත එළිදක්වනවා දැනට ප්‍රසංගවලට සහභාගි නොවුණත් සුව වූ සැණින් මම නැවතත් අනිවාර්යයෙන්ම ප්‍රසංගවලට සහභාගි වෙනවා මේ මාසයේදී පසන් ලියනගේ සංගීතවත් කළ උමා අසේනි විසින් පද රචනය කළ හිරුශි ජයසේන යුග ගායනයට සම්බන්ධ වූ මගේ අලුත්ම ආදරබර ගීතයක් වන කිරුළ. එයින් ඔබට වෙනස්ම ආකාරයේ රසවින්දනයක් ලබා දේ යැයි මම විශ්වාස කරනවා මෙතෙක් කාලයක් මට ගීත නිර්මාණය කළ, පදරචනයන් කළ, රූපරචනා නිර්මාණය කළ නන් අයුරින් සහාය දුන් සියලු දෙනාටම ස්තුති කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

නොහිතපු මොහොතක සිද්ධ වෙච්ච දේ නිසා භාරගත්ත වැඩවලට මොකද වුණේ? ඇත්තටම දෙසැම්බර් මාසයේ අග භාගයේ ගත්ත වැඩ සෑහෙන ප්‍රමාණයක් අතපසු වුණා. සමහර සංවිධායකවරුන් මට ඒ අවස්ථාවේදී සෑහෙන සහයෝගයක් ලබාදුන්නා ඒ හැම දෙනාම මගේ අසනීප තත්ත්වය ගැන අහලා ඒ සිද්ධිය සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරලා මොනවද අවශ්‍ය යන්න පමණයි මගේ කළමනාකාරිත්වයෙන් අහලා තිබ්බේ ඒ වගේම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සිට නව පරපුර නියෝජනය කරන සංගීතවේදීන් විසින් මා හට දැක්වූ විශේෂ අවධානය පිළිබඳවද මා බෙහෙවින් සතුටට පත් වෙනවා මගේ විශේෂ ගෞරවයත් ඔවුන්ට පුද කරනවා. ඔබට ඕනෑම වෙලාවේ ළඟ ඉන්න අය ගැන මොකද හිතෙන්නේ? මේ සිදුවීමත් සමඟ ළඟ හිටිය අය, දුර හිටිය අය සහ මා නොදන්නා අය පවා දැඩි සේ මා ගැන සොයා බැලුවා. මිනිස්සු මට කොච්චර ආදරෙයිද ළෙන්ගතුද යන්න මේ සිදුවීමත් සමඟ මම ගොඩක් තේරුම් ගත්තා මගේ ජීවිතේ වටිනාකම ඔවුන් මට තව තවත් තේරුම් කළා ජීවිතයේ තේරුම් ගැනීමට අපහසු වී තිබූ බොහෝ දේ මේ සිදුවීම සමඟ තේරුම් ගියා. මා ළඟ සිටි මා ගැන හොයා බැලූ මට ආදරේ කරන සියලුම දෙනාට මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙනවා.

2020 අලුත් අවුරුද්දේ ඔබේ විශේෂ පැතුම් ඇති? පහුගිය කාලවකවානුවේදී මේ රටේ මේ ලෝකෙ අහන්න ලැබිච්ච සමහර සිදුවීම් ඒ තරම් සුන්දර නෑ. නමුත් 2020 අලුත් අවුරුද්දේ මිනිසුන්ගේ සිතිවිලිවල වෙනසක් සිදුවෙයි කියලා මං විශ්වාස කරනවා එය දේශපාලනිකව හා ආගමික හා සමාජීය වශයෙන් සිදුවේ යැයි මං හිතනවා මේ වෙද්දි තාරුණ්‍යයේ හැඟීම් සහ සිතිවිලිවල මධ්‍යස්ථ බවක් මට දැනෙනවා ඉතින් මම හිතනවා යහපත් දේ දකින්න, යහපත් සිතිවිලි ගැන හිතන්න පුළුවන් කාලයක් රටට ඇති වුණොත් තවත් අපේ රට සහ ලෝකය ලස්සන වෙයි කියලා. මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම්, මම බර්ගර් නෙමෙයි අපි ඔක්කොම මනුෂ්‍යයෝ අපි ඒ විධියට හිතමු වාසි තකා කෙනෙක්ව තළන්න, පෙළන්න, අපහාස කරන්න හිත් රිද්දන්න අපි නොයා ඉමු. කොටින්ම කිව්වොත් අපි මානුෂිකව හිතන්න පටන් ගමු අපේ අධ්‍යාත්මය වැඩි කරගමු. අපි එකිනෙකාට ආදරය කරමු. එදාට අපේ රටත් මුළු ලෝකයත් දියුණු වෙයි තවත් ලස්සන වෙයි. අපි ඒ ආරම්භය 2020න් ගමු විශේෂයෙන් මේ ලෝකේ උතුම් සත්ත්වයා හෙවත් මනුසත්ත්වයා වන අපි කිසිසේත් එකිනෙකාට සමාන සිතිවිලි නොමැති නිසා කිසිම කෙනකුට අපහස නොකර එකිනෙකාගේ මතවලට ගරු කිරීම, ඇහුම්කන් දීම හා ආදරය කිරීම තුළින් අපේ රට සහ මුළුමහත් ලෝකයම යහපත්ව වෙනස් කර ගත හැකිවෙයි කියලා මා විශ්වාස කරනවා ඉතිරි කාලයේදී මම වෙනස්ම නිර්මාණ සහ වෙනස්ම මුහුණුවරකින් ඔබ ඉදිරියට පැමිණීමට පොරොන්දු වෙනවා යහපත් සිතිවිලි සහ මානුෂික හැඟීම්වලින් පිරි සුන්දර සමාජයක් බිහිවේවා ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. තිළිණි කෞශල්‍යා විජේසිංහ