සිරුරේ අස්ථි පද්ධතියේ වෙනස් වීමක් හේතුවෙන් සදාකාලිකව රෝගියෙකු බවට පත් වූ වරුණී වීරක්කොඩි මෙනෙවිය තිස්එක් වියේ පසු වන්නීය ඇය වෙසෙන්නේ කොත්මලේ තවලන්තැන්න ප්‍රදේශයේය බැලූ බැල්මට ඉතා සිහින් හා අසාමාන්‍ය සිරුරකින් යුතු වුවද ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි පූඬළුඔය ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාරවරියක ලෙස සේවය කරන්නීය. වයස අවුරුදු නවයේ දී පමණ ඇයට ඇවිදීමට නොහැකි වූ අතර අදටත් ඇය රෝද පුටුවක් ආධාරයෙන් සිය කටයුතු කරගන්නීය අස්ථි ශක්තිමත් මදිකම හේතුවෙන් වරුණි මෙනෙවියගේ ශරීරය ඉතා කෙට්ටුබවින් යුක්තය ඇඟිලි පවා වකුටු වී ඇත. ඇයට සහෝදරයන් දෙදෙනෙකු සිට ඇති අතර ඇයගේ අසනීප තත්ත්වයට සමානව රෝගී ව සිටි ගයාන් ඉන්දුල කොඩිතුවක්කු මහතා අනපේක්ෂිත ලෙස රෝගාතුරව මීට සති කිහිපයකට මත්තෙන් මෙලොව හැර දා ගියේය ඔහු වයස අවුරුදු දහයේදී පමණ වරුණී මෙනෙවිය හා සමානව රෝගී වී ඇති අතර ඔහුට ද ඇවිදීමට නොහැකිව සිටියේය මියයන තුරුම ඔහුද රෝද පුටුවක ආධාරයෙන් සිය කටයුතු කරගෙන ගොස් තිබේ.

කයට වාරු නැති වුවද සිතට ඇති වාරුව තුළින් ජීවිතය ජයගත් වරුණී මෙනෙවිය මේ සමස්ත සමාජයට කෙතරම් නම් පූර්වාදර්ශ සපයන්නේද යන්න විවරණය කරන්නට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවන්නේ ඇයම තුළින් දක්නට ඇති විශේෂ ලක්ෂණ හේතුවෙනි. වරුණි කොඩිතුවක්කු මෙනෙවිය සිය ජීවන ගමනේ අපූර්වත්වය ලංකාදීපයට කීවේ මෙලෙසිනි. මට දැන් අවුරුදු තිස් එකක් වෙනවා අවුරුදු නවයක් විතර වෙනකම් මා සාමාන්‍ය ළමයෙක් විදිහට හිටියා ඒත් මම ගෙදරදී වගේම ඉස්කෝලේදීත් කිහිප අවස්ථාවක ඇදවැටුණා ඉන් පස්සේ මගේ අස්ථි බිඳෙන්න ගත්තා අස්ථි බිඳුණට පස්සේ ඒ අස්ථි ආයෙම වැඩෙන්න ගත්තේ නැහැ ඊට පස්සේ මට ඇවිදින්න බැරිවුණා ඒ වෙනකොට මගේ දෙවෙනි අයියත් මේ විදිහටම ලෙඩ වුණා ඉන් පස්සේ අපි දෙන්නම නුවර, පේරාදෙණිය, කොළඹ ජාතික රෝහල වගේ ඉස්පිරිතාලවලින් බෙහෙත් ගත්තා ඒත් අපිට සුව වුණේ නැහැ.  එතැන් පටන් ඔවුන්ගේ හොඳම යහළුවා වූයේ රෝද පුටුවයි ඔවුන් සිය ජීවන මඟ අසනීප නිසා කිසිවිටෙක අහුරා ගන්නට සිතුවේ නැත ඔවුන් කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අධ්‍යාපනය ලැබීමට යන්නේ කායික අපහසුතා කිසිවිටෙකත් බාධා ලෙස නොසිතමින් ය ඒ හේතුව නිසාම වරුණීත් ගයානුත් සිය පාසල් ජීවිතය රසමුසු මතකයෙන් පුරවා ගත්තා මිස කොයිම මොහොතක හෝ සිය ජීවිතය නීරස කරගන්නට නම් කටයුතු කර නොගත්හ වරුණී මෙසේද කීවාය.

මම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වුණා ඒ සාමාර්ථ හයක්, බී සාමාර්ථ දෙකක් හා සී සාමාර්ථ දෙකක් එක්ක මම විභාගේ පාස්වුණා ඉන් පස්සේ මම කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා උසස් පෙළ විභාගයෙන් මම ඒ සාමාර්ථ දෙකක් හා බී සාමාර්ථ එකක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලබාගත්තා 2013 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරිනියක ලෙස පිටවුණා. “නසෝ ඨානේසු සබ්බේසු පුරිසා හෝති පණ්ඩිතා, ඉත්තිපි පණ්ඩිතා හෝති තත්ථ තත්ථ විචක්ඛනා” එලෙස සඳහන් කළේ බුදුරජාණන් වහන්සේය කෙසඟ සිරුරක් හිමිව සිටි හෙයින් කිසා ගෝතමී ලෙස ප්‍රසිද්ධියට පත් ගෝතමී හෙවත් කිසා ගෝතමියගේ විචක්ෂණ නුවණ පිළිබඳව පැහැදුණු බුදුරජාණන් වහන්සේ වදාළේ, පුරුෂ පාර්ශ්වයට හා සමානව ස්ත්‍රී පාර්ශ්වයටත් විචක්ෂණ නුවණ ඇති බවය උන් වහන්සේගේ උතුම් වූ ඒ දහම් පණිවිඩය එදාට පමණක් නොව අදටත් ගැළපෙන අයුරු වරුණී මෙනෙවිය තුළින් ඉස්මතු නොවන්නේද? වරුණී මෙනෙවිය යළිත් හඬ අවදි කළාය මම උසස් පෙළ ඉගෙන ගන්න යනකොට මගේ අම්මා වැඩකළේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් සහකාර විඳිහට කටයුතු කරපු නාලනී ලියනාරච්චි මහත්මියයි මගේ අම්මයි තාත්තයි අයියලා දෙන්නා තමයි මගේ ජිවිතය ආලෝකමත් කරපු හිරු සඳු වගේම පහන් තාරකා ඒ හතර දෙනා නොහිටින්න මගේ ජීවිතය තවත් අඳුරුයි අම්මා මගේ අනාගතය දැක්කා ඒ හින්දාම අම්මා ඇය කරපු රස්සාවටත් සමුදුන්නා පූර්ණ කාලීනව ඇය මගේ උදව්වට ආවා උදේ, දවල්, රෑ, අව්ව, වැස්ස කියලා ඇයට වෙනසක් වුණේ නැහැ ඒ හින්දාම මම මගේ අසනීප තත්ත්වය ගැන කොයිම වෙලාවකවත් හිතුවේ වත් මට දැනුණේවත් නැහැ මම හිතන්නේ අපි වගේ අසරණයන් ගෙදරින් ප්‍රතික්ෂේප කරන්නේ නැත්තං සමාජය කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ ජීවිතය අභියෝගයක් තමයි හැබැයි ඒ අභියෝග ජීවිතය මම ජයගත්තා කියලා මම විශ්වාස කරනවා.

මගේ අම්මාට අමතරව මටයි අයියාටයි මහා ශක්තියක් වෙච්ච තවත් අයෙක් අපේ ජීවිතවල හිටියා ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ මගේ ආච්චි අම්මා ඇයගේ සෙවණ හරිම නිසංසලයි ආච්චි අම්මා තමයි මායි අයියාවයි රැකබලා ගත්තේ මොකද අපිට තව කාගේ හරි පිහිටක් අනිවාර්යයෙන්ම අවශ්‍යයයි ඉතින් ඒ අවශ්‍යතාව ආච්චි අම්මා හොඳටම තේරුම් ගත්තා මගේ ජීවිතේත් අයියාගේ ජීවිතේත් පවුරු පදනම් බඳින්න මහා ශක්තියක් වෙච්ච ආච්චි අම්මා පහුගිය අවුරුද්දේ අපිව හැරදමා ගියා. වරුණී කොඩිතුවක්කු නම් ඇය යකඩ ගැහැනියක් යැයි පැවසුවහොත් එය වඩාත් නිවැරදිය ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන්න සාවද්‍ය බව ඔප්පු කළ වරුණී සිය කුඩා ඇඟිලි සහිත අතෙන් තවත් දස්කමක් දක්වන්නියකි ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි ඇයගේ දක්ෂතාව කෙතරම් ද යන්න ඔප්පු කරන්නට ඇති තවත් එක් දෙයක් වන්නේ ඇය පාසල් අවදියේදීම ජාතික යෞවන සම්මානයෙන් පිදුම් ලැබීමය.

කුඩා ඇඟිලි තුඩුවලින් අල්ලාගත් පැන්සලෙන් ඇඳෙන සිතුවම් නෙක රටා මවයි එලෙසින් මැවෙන රටා තුළින් නිමැවෙන සිතුවම පෙන්වන අපූරු බව ඉරිතළා ගිය ජීවිතයකට මහා අස්වැසිල්ලකි කඨෝර සිතක් පහන් කරන්නට තවත් අපූරු මෙවලමකි ඇය අඳින සිතුවම හැල්මේ දුවන්නෙකුට නිසි මගක් පෙන්වන බව නම් නොරහසකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබීමට ඉගෙන ගන්න සමයේ වරුණී සිය ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ තවත් මිනිස්සුන්ට සිතන්නට යමක් ඉතිරි කරමින් ය වරුණී කොඩිතුවක්කු පිළිබඳව කරුණු කීමේදී ඇයට බද්ධ වුණු ඇගේ මි1යගිය සොයුරු පිළිබඳව ද යමක් නොකිව්වහොත් එය අඩුවක් වන්නේ ඔහුද මේ සමාජයට සුවිශේෂී චරිතයක් වූ බැවිනි. වරුණීගේ අසනීප තත්ත්වයම තිබූ ගයාන් ඉන්දුල ද අපූරු ගේය පද රචකයෙකි, කවියෙකි ඔහු විසින් ලියන ලද “විරාමයකට පසුව හමුවෙමු, මටසිලිටි සිහින ඉණි” කවි පොත් දෙක කා අතරත් ජනප්‍රිය වී තිබේ ගයාන් ඉන්දුල මහතා විසින් රචනා කරන ලද “මටසිලිටි සිහින ඉණි” කවි පොත එළිදැක්වීම පසුගිය අගෝස්තු මස 01, 02 කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වා ඇති අතර ඊට සමගාමීව වරුණිගේ දෙවෙනි චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ මට සිලිටි සිත්වලටද පහන් සංවේගයක් ඇති කරමින් ය. මි1යගිය ගයාන් ඉන්දුල කොඩිතුවක්කු මහතා පිළිබඳව කරුණු කියන හැම මොහොතකම වරුණී මෙනෙවිය ගේ දෑස් කඳුළින් තෙමුණේ අපේ හදවත්වලටද ඒ සංවේගය දන්වමින් ය වරුණීගේ සහෝදර ප්‍රේමය සංසාරගත බැඳීමක් ​ෙවන්නට ඇතැයි බලන දකින ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකිය.

තමන්ගේ ජීවිතය තුළින් යමෙකු යම් දෙයක් ආදර්ශයට ගෙන සිය ජීවිතය ජය ගැන්මට යත්න දරන්නේ නම් එය තමන් ලබන අහිංසක සතුටක් බව සඳහන් කරන වරුණී මෙනෙවිය සිය ජීවිතයට දැනුණු අභියෝග සියල්ලටම තමන් උපේක්ෂා සහගතව මුහුණදුන් බවත් තමන්ට ඉදිරියේදී පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි මානසික ශක්තියක් තමන් සතු බවත් පැවසුවාය. තවත් අයෙකුගේ අනුකම්පාවට ලක්වීමට හෝ තවත් කෙනෙකුගේ උදව් බලාපොරොත්තු ​ෙවන අවධියක වරුණී නම් අාබාධිත රාජ්‍ය නිලධාරිනිය කිසිදු විටෙක එවන් දෙයක් සිහිනෙකුදු නොපතන බව පවසයි ඇය පවසන්නේ වෙනයම් කරුණක් නොවේ ජීවිතය යනු සැබෑවට කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගත යුතුය එය නිවැරදිව කළමනාකරණය කරගැනීම කාගේත් වගකීමකි එය මනාවට ඔප්පු කරන්නට වරුණී කොඩිතුවක්කු මෙනෙවිය සමත්ව තිබේ. සටහන – ඡායාරූප නාවලපිටිය සිසිර ලලිත් කුමාර