මඩුවන්වෙල වලව්වට ගොහින් තියෙනවා ඇතිනෙ. මම නම් ගියෙ 2017 වාගෙ මතක හැටියට.. රත්තනපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සූරිය කන් ද පාරේ බොහෝම සුන්දර රමණීය උද්‍යානයක තමා මඩුවන්වෙල වලව්ව පිහිටලා තියෙන්නෙ.දස්කොන් ටෙලි නාට්‍යයයේ කොටස් කීපයක රෑගත කිරීම් සිද්ධවුනෙත් ඔය වලව්වෙමයි. වලව්ව අක්කර විස්සක විතර භූමි ප්‍රමාණයක පිහිටලා තියෙනවා. මම දැක්ක සුන්දරම දසුනක් තමා වත්තෙ එක කෙළවරක බිම දිගෙ ගොස් ඇති විශාලතම වෘක්ෂ රාජයා.. අතිශය සුන්දරයි.ඔය වලව්වෙ පවුරු තුනක් තියෙ. ඇතුළු පවුරට පහන් පවුර කියාලා කියනවා. ඒකෙ තමා රාත්‍රී කාලයට පහන් දල්වලා තිබිලා තියෙන්නෙ. ඒකට සකස් කරපු කුඩා පහන් කුටි තියෙනවා දැකලත් ඇති.මැවිලා පේනවානෙ ගහකොළන් පිරි සුන්දර පරිසරයක හඳත් හොඳට පායපු රාත්‍රීන් සහ අමාවක දාටත් කහ පහන් ආලෝක වලින් වලව් ආලින්දත් මැද මිදුලුත් ආලෝකමත් වෙන හැටි..!අනිත් පවුර දොරටුවක් සහිත පවුරක්, දොරටුවෙ උස අඩි හතකට සීමා කොරලා තියෙන්නෙ අසුපිටින් එන උන්දැලා අසුගෙ පිටින් බැහැලාම එන්න සිද්ධ වෙන විදියට කියලා තමා කියන්නෙ.තුන්වෙනි පවුර වලව්වත්ත වටේ කළු ගලින් ශක්තිමත්ව බැඳලා තියෙනවා. ඔතනින් වලව්වට ඇතුල් වන දොරටුව ගම්මු හඳුන්වන්නෙ ගල් උළුවස්ස කියලාලු..ඒ වගේම දැකලා අැති වලව්වට ඇතුළු වූ විට වම් පස ඇති බෝධීන් වහන්සේත්, උඩහ වන රොදේ ඇති වලව්වට ජල පහසුකම් සැපයූ කුඹුක් ගහ යට ළිඳත්. ඔය වලව්වෙ කාමර 121 ක් සහ මැද මිදුල් 21 තිබ්බ බවත් කියනවා, අද වෙද්දි ඒ සේරම කාමර නැතත් වලව්වෙ තිබූ පෞඩත්වයට නම් හානියක් වෙලා නෑ..තවම තේජස්භාවය තියෙ..කෝමහරි මම මේ තනන්නෙ වලව්වෙ විස්තර කියන්ඩම නෙමේ ඉතින්. ඒ ගැන ලිව්වොත් තව බොහෝම ලියන්ඩ තියෙනවා.. බොහෝම.. වැදුම් කාමර, ඔසප් කාල වලදි කාන්තාවන් රැඳි සිටි කාමර, ගබඩා කාමර, නිදන කාමර, නාන කාමර, නැටුම් කාමර, නඩු ශාලාව, බුරුත ලීයෙන් තැනු උඩු මහළ , කෑම කාමර, ඉංගිරිස් රැජිණගෙ රූපය අැඳුණු පිඟන් ගඩොල් සහිත ගෙබිම… ඕවා සේරොම එක්ක ඉතින් වලව්ව හරිම අපූරුවට තියෙන්න ඇති ඒ කාලෙ. හොයා බලන්ඩකො..මඩුවන්වෙල දිසාව ගැනත් අහලා ඇතිනෙ. ඕන් එතුමා ගැන රස කතාවක් දෙකක් තමා මම මේ කියන්ඩ තනන්නෙ. අහලත් ඇති බොහෝවිට.දාසක් ඔන්න මඩුවන්වෙල දිසාව මුල්දොරටුව ගාව විවේක සුවෙන් ඉද්දි කිතුල්මල් මදින්නො දෙන්නෙක් රක්වාන පැත්තට හකුරු අරගෙන යනවලු. මුන්දැලාව දැක්ක දිසාවෙ ඇහුවලු ඔය කදන් වල මොනාදැයි කියලා. මේ ඉන්නෙ දිසාවෙ බව නොදත් මේ වෙළොන්දෝ කොලොප්පමටත් එක්ක කීවාලු මේ “හකුරු බකුරු ” කියලා. ගරුසරු නැතිව ඒ දීපු උත්තරයට ඕන් රටේ මහත්තයාට හොඳටෝම කේන්ති ආවලු.තියාපියව් ඔය බර බිම, පෙන්නපියව් මට දැන් හකුරු බකුරු කියලා රටේ මහතා සැර වුණාලු..හත්තිකෙ මේ නම් රටේ මහත්තයා බව ඒ වෙලාවෙ සිහිකල්පනාවට ආව වෙළොන්දො දෙන්නා දැන් ඉතින් දෙකට තුනට නැමිලා නමස්කාර කොරලා හෙම බයෙන් ගැහි ගැහි ඉන්නෝලු…පෙන්නාපියව් මට හකුරු රටේ මහතා කෑ ගාපි. එක වෙළෙන්ඳෙක් තමන්ගෙ ගෝනිය ලිහලා හකුරු මුලක් පෙන්නුවලු.

හොඳා ඒනම් මට දැන් පෙන්නපියව් බකුරු හුටා.. දැන් මක්ක කොරන්නෙයි.. අනිකා මොකෝ කොරේ අනිත් ගෝනිය ලිහාලා හකුරු කැට අරන් පෙන්නුවලු..හකුරු මුලෙයි හකුරු කැටෙයි තියෙන්නෙ ගුණාත්මක වෙනසක්. ඉතින් තැනට සුදුසු නුවණින් කිරියා කොළ මේ වෙළන්ඳන් ගැන පැහැදුණු මඩුවන්වෙල රටේ මහතා ඔවුන්ට ඒ ගමන යන්ට අවසර දුන්නාලු..ඕන් තව කාලෙක හිටියලු ඔතෙලො කියලා හරි මහ වලත්ත ලන්දේසි දාමරිකයෙක්, ඒ කාලෙ වලව්වෙ උන්නෙ අන්තිමට උන්න මඩුවන්වෙල දිසාවෙගෙ ඒ කීවෙ ජේම්ස් විලියම් මහදිසාවගෙ මුත්තා කෙනෙක් වෙච්ච මඩුවන්වෙල මොහොට්ටාල කියාලා ඇත්තෙක්. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලෙ තමා මේ කියන සැන්තෑන්සිය සිද්ධ වෙන්නෙ.. ඉතින් රජ්ජුරුන් වහන්සේ අණක් නිකුත් කොරාලු ඔය වලත්ත ලන්දේසියාගෙ හිස ගේන එකෙකුට මහා වස්තු සම්භාරයක් දෙනෝ කියලා.ඉතින් ඕන් මොහොට්ටාල දිසාව පිරිසක් එක්ක සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මට අනුව දැන් මොහොට්ටාල තුමා මනාළියක් වාගෙ සැරසිලා හිට දෝලාවක නැගගෙන යනවා. අර පිරිස බෙර ගගහ දැන් මේ මංගල ගමනක් යන්නෙ ඔතෙලොගෙ අවමංගලේට කියලා නොදත් ඒ ස්ත්‍රී දූෂණය සහ මංකොල්ලයට නම් දරා සිටි දාමරිකයා පනාමුර හරහා යන මේ පිරිස මැද්දට ගුගුරගෙන පැන්නාලු. සැලැස්ම අනුව බෙර ගගහ නට නටා ආපු ඇත්තො ටික පැනලා දුවලා ගිහින් පඳුරු වල හැංගුනා, වල් ඔතෙලොවා දෝලාව ගාවට ගිහින් කාමුක සිතින් මනමාළි කියා හිතා උන්නු මනාළි වාගෙ සැරසුණු මොහොට්ටාලව බදාගද්දිම ඉනෙ කඩුව සඟවාගෙන හිටි මොහොට්ටාල තුමා ඔතෙලොගෙ හිස කඳින් වෙන්වෙන පහරක් දීලා ඒ හිස අරන් ගියාලු රජ්ජුරුන් වහන්සේ ගාවට. ඒ සමත්කම වෙනුවෙන්ලු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඒ ඔතෙලෝ හිටි පනාමුර ගොඩගම නින්දගම සන්නසක් ලෙස පවරාලා දුන්නෙ..ආයෙ එක දාසක එතකොට ඔය අන්තිම මඩුවන්වෙල දිසාවෙ හිටි කාලෙ රත්තනපුර දිස්තිරික්කය භාර සුදු ඒජන්ත උන්නැහෙ රාජකාරියකට වලව්වට එන බව දන්නවලා තිබ්බලු හිට. එනවාය කියාපු දවසෙ උන්දැටයි උන්දැගෙ අස්වයාට පවා කෑම සකස් කොරාන දිසාව දැන් මග බලාගෙන ඉන්නවලු. මොන!! මේ සුද්දා කියාපු දවසේ නෑවිදින් ඊට පහුවදා ආවලු හිට. නීතිගරුක මෙන්ම යස අපූරුවට ඉංගිරිස් කතා කොරන මඩුවන්වෙල දිසාවෙට මේකට යස්ස කේන්තියක් ඇවිදින් මොකද කොරේ දන්නවැයි? අර යකා අස්සයාගෙන් බැහැලා ඇවිත් මම ඒජන්ත යැයි කීව ගමන්ම ” උඹ බොරුකාරයෙක්, ඒජන්ත එනවා කියා තිබ්බෙ ඊයෙ..” කියාලා සේවකයින්ට අණ කරා මේකාව ගස් බැඳලා ගහපියව් කියාලා හිට.. ඉතින් අර ඉස්සරහ තියෙන මාර ගසක සුදු ඒජන්තව ගැටගහපු සේවකයො මේකට හොඳටෝම ගුටි තලෝලා හවස් කොරේ තේ වතුර ඩිංගිත්තක් වත් නොදී පන්නලා දැම්මාලු…තරහ ගිය ඒජන්තයා මේකට පළි දරන්න හිතාන ආයුධ සන්නද්ධ මැරවර සුදු ජාතිකයො සැට් එකක් එව්වාලු වලව්ව මංකොල්ල කන්න.. සුද්දන්ගෙ කරුමෙටම මේක ගැන දිසාටවට කලින් තියාම ආරංචි වුණාලු.. උන්දැ මොකද කොරේ වලව්ව ඉස්සරහ තියෙන වලව් කාමරේ බෙහෝම රසවත් ආහාර මේසයක් සූජානම් කොරා. මේ හැම කෑමකටම ගංජා කුඩුත් දැම්මා.. ඒවා එක්කම විස්කි ඇතුළු රට බීම බෝතලුත් තියාලා කාරිය පිරිස ගොහින් වලව්ව පිටිපස්ස වනරොදේ හැංගිලා උන්නාලු. සුද්දෝ එනකම්..” කෝ මඩුවන්වෙල වීරයා” කියාගෙන ආපු සුද්දෝ කෑම දැක්ක පාර, හටන පැත්තක තියාලා කාරිය බඩජාරි කමට බඩ පැලෙන්නම කාලා, හොඳටෝම බීලා ගංජා මතටයි විස්කි සැරටයි මත්වෙලා පෙරෝතයෝ පොළවේ ගැහුවා වාගෙ තැන තැන ඇද වැටුණලු.. එහෙම වැටුණු සුද්දන්ව මඩුවන්වෙල වලව්වෙ සේවක පිරිස විසින් කැරපොත්තො , මීයෝ වාගෙ එක්කාසු කොරගෙන ගොහින් පනන මාල කැලේට විසික්කා කොරාලා ආවලු. පහුවදා වෙරි හිඳුණු සුද්දෝ ඉතින් තම ප්‍රදේසවලට වැනි වැනි ගැහි ගැහි එලෝ මෙලෝ නැතිව පයින්ම ගොයින්ලු.. ඔය සිද්ධිය ආණ්ඩුකාර තුමාට දන්වපුමාව එතුමා කීවලු මඩුවන්වෙල එක්කලා සෙල්ලම් තියාගන්ට එපාය කියලා හිට..තවත් වතාවක් පහතරට පැත්තෙ ඇත්තෙක් කොලොන්න ප්‍රදේසෙ කඩයක් දාගන්න හිතාලා මඩුවන්වෙල දිසාවෙ හම්බෙන්න ආවලු පගාවකුත් අරන්. මේ බඩු කද දැක්ක දිසාවෙ ඇහුවලු මේ මොකක්ද කියලා. ඔබ තුමාට තෑග්ගක් හැටියට කෙසෙල් ගෙඩියි, පැණියි, හකුරුයි ගෙනාවා කියලා ගෙනාපු කෝලිකුට්ටු කෙසෙල් කැනයි හකුරුයි පැණියි පෙන්නුවාලු… එහෙනම් අද හොඳට කන්ඩ ඕනෑ කියාපු දිසාව කුස්සියෙන් අලි හැලියක් ගෙනල්ලා හිට අර මිනිහටම කියලා කෙසෙල් ලෙලි ගස්සවලා ඒ භාජනේට දම්මලා ඒකට පැණිත් හකුරුත් දාලා අර උන්දැ ලවාම ඒක දිය වෙනකම්ම මිස්‍ර කොරවලා කාරිය සේවකයෙක් ලව්වා අර යකාගෙ අමුඩෙ විතරක් ඉතිරි වෙන්ට ඇඳුම් ගලෝලා හිටං, උගේ මුළු සරුවාංගෙම අර මිස්‍රණය තවරලා අව්වෙ හිටින්න කියාලා අණ කරාලු.එහෙම වරුවක් හිටියම අර යකා දැන් පැණි වලට ඇලිලා ගල්වෙලා ඉන්නවලු. පස්සෙ සේවකයන්ට කියලා වතුර ගස්සලා අතපය ලිහිල් වුනාම , ආයෙ මයෙන් වැඩ ගන්ට පගාවල් ගේන්ට ලෑස්ති වෙන්ඩ එපාය කියලා පන්නාගෙන තිබ්බලු…ඔහොම රස කතා තව තියෙ ඉතින්, ඒ කාලෙ දිසාවෙලු ගමේ ඉපදෙන උන්ට නම් තියන්නෙත්. දරුවන්ගෙ දෙමාපියෝ දරුවන්ගෙ උපත් ලියාපදිංචි කොරන්න දිසාවෙ ළඟට ආවම දිසාව නමක් දෙනවලු ඕන් ” බබංචියා, පිලංචියා, කිරිකොටා, බට්ටා, කිරි අංසා, බබානිසා, ලොලන්ඩියා ,බයියා, වාගෙ ඒ නම් භාවිතා කරන අය අදටත් ඒ ගම්වල ඉන්නවලු..ඔය නම් මැරෙනතුරු වෙනස් කරන්ඩත් බෑලු ඕන්. ( මම දාන නම් හොඳයිනෙ, ආ නැද්ද )අහලා ඇතිනෙ වලව්ව ඉස්සරහින් යද්දි ගෑණු පිරිමි දෙගොල්ලම උඩුකය නිරුවත්ව යන්ට ඕනෑය කියාලා තිබ්බ නීතිය ගැන. පිරිමි කමිසෙ ගලවලා අතට ගන්ට ඕනිලු, ගෑණු හැට්ටෙ ගලෝලා උර දෙපැත්තෙ දාගන්ට ඕනිලු.. ඒ නම් මොන හරුපයක්ද මන්දා ඉතිම්. ඒම නීති තියෙන කාලෙක ඔය මොරගොඩ පැත්තෙ මැදි වයසේ ඇත්තියක් දාසක් හැට්ටෙ ගලවන්නෙ නැතිව වලව්ව ඉස්සරහින් ගියාලු.. ඒක දැක්ක දිසාවෙ මේ අැත්තිට සැර වුණාලු කිරි හැට්ටේ ගලෝලා කරේ දාගන පල කියාලා.. ” අනේ හාංදුරුනෙ රෙදි ගලවාලා උපතින් ලැබුණ දේ මම පෙන්වන්නම්, පසුව මට ලැබුණ දේ ඔබතුමාම ගලවා බලාගන්ට ” යැයි ඒ ඇත්ති දිසාවෙට කීවම දිසාවෙට කට උත්තර නැති වුණාලු. එයින් පස්සෙ වලව්ව ඉස්සරහින් උඩුකය වහගෙන යන්න තරම් කාන්තාවෝ නිර්භීත වුණාලු..ඉතින් ඔය වලව්වෙ විස්තර කතා කරනකොට එහෙම කටුවන බලකොටුවෙන් ගෙනා පුංචි බලකොටුවෙ දොර, දිසාවෙගෙ පිංතූරේ ඇතුළු තව බොහෝ දේත් කතා කරන්ඩ තියේ.. හොයා බලන්ඩකො ඈ..ආසා හිතේවි..