ඔයාගේ කුලේ මොකද්ද…? මේ ප්‍රශ්නේ අපෙන් නිතර දෙවේලේ ඇහුනේ නැතිවුනාට කසාදයක් බඳින්න ගියාමනම් අනිවා අහනවා අපේ හැමෝගෙම රතු ලේ එත් මේ පිටින් හදාගත්ත කුල නිසා ප්‍රශ්න හදාගෙන ඇත්තටම කොහොමද මේ කුල හැදුනේ රජු සනෙවිරද්, ඈපා, මාපා, මහලේනා මහ රැටිනා අනුනා සභාපතිනා සිටුනා සිරිත් ලේනා දුලේනා වියන්නා මහ වෙදනා මහ නැකතිනා දහම් පසක්නා යන ඉහළ නිලධාරීන් ද ගම්ලදු දස ගම් ඇත්තන් රටලදු භාණ්ඩාර පොතුන් සම්දරු කුඩසලා වැනි පහළ නිලධාරීන් ද තෝරාගනු ලබන්නේ ජන සම්මතයෙනි රජතුමා යන තේරුම දීමට පරුමක මහ රජ ආදී නම් භාවිතා වී ඇත ඈපා යනු රටේ රජකම ඊළඟට හිමි කුමාරයාය මාපා හා යුවරජ යන නම් ද ඊට නොවෙනස්ව යෙදී ඇත රජතුමාගේ පුතුන්ට සහෝදරයන්ට හෝ බෑණාවරුන්ට යුවරජ පදවිය හිමි විය රජුට පුතුන් කීප දෙනෙකු සිටින විට වැඩිමල් පුතුට මාපා තනතුර හිමි විය ප්ලීනි නම් රෝම ගතුවරයා සඳන් කරන පරිදි, වාල්ලු කියා කොටසක්වත් වහල් වෙළඳාමක්වත් මෙහි නොමැතිය වැසියන් අතරින් තෝරා ගන්නා තිස් දෙනෙකුගෙන් යුත් මන්ත්‍රණ සභාවක් රජුට තිබේ පොළොන්නරුව කාලිංග පරාක්‍රමබාහු හෙවත් කීර්ති ශ්‍රී නිශ්සංකමල්ල රජුගේ නිශ්සංකමල්ල රාජ සභාවේ නටබුන් වර්තාමානයේ දී දැක ගන්නට හැකිය එහි මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් හට ආසන පනවා තිබූ ආකාරය පැහැදිලිව දක්වා තිබේ.

ගම් ලද්දන් ගැන බදුලු ටැම් ලිපියේ සඳහන් වෙයි. ගම්ලත් නායකයා වෙළෙඳපොළට පැමිණි විට මීට පෙර මඟට ගොස් පඬුරු විසි පහ ඔහුට දිය යුතු බව එහි සඳහන් වෙයි ගම් ලදු පසු කාලයේදී ගමරාළ බවට පත් විය ගම් දහයක ගම්ලදුවන් අතුරින් තෝරාගත් නායකයා දස ගම් ඇත්තා ලෙස ඳුන්වන ලදී. නූතන පළාත් සභා නගර සභා මෙන් පාලනය ගෙන ගිය පුද්ගලයින් දස ගම් ඇත්තන් විය. පස් ගම, දසගම, අටබාගේ, දොළෙස්බාගේ යනු ග්‍රාම නාම සෑදී ඇත්තේ එසේ ගමක් පාලනය කළ නිලධාරී සංඛ්‍යාව අනුවය වේවැල්කැටිය සෙල්ලිපියෙන් දස ගම් ඇත්තන්ගේ බලතල ගැන සඳහන් වෙයි ගම් මුත්තන් නමින් ද හැඳින්වෙන මොවුන් අතුරින් රට ලද්දන් තෝරා ගැනුණු අතර රට ලද්දන් අතුරින් ඇමැතිවරු තෝරා ගන්නා ලදී සම්දරු යනු රාජ්‍ය නියමයෙන් ගම් දහනව්වලට ගොස් නඩු ඇසීම, නීතිය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතුවල නියුක්ත වූ විධායක බලයක් හිමි රාජ වංශික නිලධාරීන්ය කුඩසලා යනු රජයේ නිවේදන මහජනතාවට ප්‍රදර්ශනය වන පරිදි ස්ථාන ගත කිරීමේ නිලධාරීන් අතර සිටි සුළු මුලාදෑනිවරුය පොදු ජනයාගේ සේවය අවශ්‍යවන විශාල ඉදිකිරීම් ආදියේදී දස දහස් ගණන් වූ කම්කරුවන්ට වැටුප් ආහාර පාන සහ වස්ත්‍රාභරණ ආදිය දෙන ලද බව ලෝවාමහාපාය, රුවන්වැලි සෑය ආදී ඉදිකිරීම් පිළිබඳ විස්තරවලින් පැහැදිලි වෙයි රුවන්වැලි සෑය ඉදිකිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් පන්සීයක් අතුරන් තෝරා ගත් ප්‍රධාන ශිල්පියාට කහවණු 12,000 ක් ද කහවණු දහසක් වටිනා පිළි සඟලක්ද, එතරම්ම වටිනා මිරිවැඩි සඟලක් ද රජතුමා විසින් දෙන ලද බව සඳහන්වී තිබීමෙන් පැහැදිලි වන්නේ මහජනයාට රෙදිපිළි ඇඳීම පාවහන් පැළඳීම ආදිය පිළිබඳව කුල තහංචි නොතිබුණු බවයි.

ක්‍රි.ව. පළමු වැනි ශත වර්ෂයට අයත් ඉළුක්වැව සෙල්ලිපියේ සඳහන මෙසේය දසී අනුල දිනි දස කුලා (ශී.සං IV – 135) දාසයෙකු සහ දාසියෙකු විසින් සඟ රුවන වෙත ලෙනක් පූජා කිරීමක් එයින් කියැවේ මෙහි දැසි දස් යනු උපස්ථායක සහ සාත්තු සේවිකා යන පිරිස් වෙති පිදුරංගල සෙල්ලිපියකින් ද දාසි ස්ත්‍රියක් ලෙනක් පූජා කිරීම ගැන සඳහන් වෙයි එහි ඇගේ ස්වාමි පුරුෂයාගේ මෙන්ම පියාගේ නම ද සඳහන් කර ඇත මෙයින් පැහැදිලි වන්නේ පැරණි කාලයේ සිටම මෙරට දැසි දස්සන්ට මෙන්ම ස්ත්‍රීන්ට ද දේපොලවලට මෙන්ම මුදල් වලට ද ස්වාධීන අයිතියක් තිබූ බවයි සැස්සේරුව ශිලා ලිපි දෙකක නැට්ටුවන් හෙවත් නාට්‍ය ශිල්පීන් ලෙන් පූජා කිරීමක් පිළිබඳව සඳහන් වෙයි.

  • ගපති නට වුඩහ ගසනික සොනුදය
  • නට වලුය. ජිත
  • අනෙක් සෙල්ලිපිය,
  • නට වලහ ජිත නට සමුදාය
  • සොබිතෙ නගදින මරුමකනෙ
  • නට වුලහ ලෙණෙ
  • අගත අනගත චතුදිස සගස

මෙහි සඳහන් නාට්‍ය ශිල්පීන් ගෘහපතියන් හෙවත් කෙළඹි පුත්‍රයන්වීම ද විශේෂයත්වයකි. මහනුවර යුගයේදී ගෘහපතියන් වූයේ වඩුගයන් පමණි. අනුරාධපුර මුල් යුගයට අයත් හිත්තරගම හින්නේ සෙල්ලිපියක සඳහන් වන්නේ වියන්නෙකු විසින් ලෙනක් පිදීම පිළිබඳවය. මිහින්තලේ පටහමල්ල ක්‍රි.ව. පළමු ශත වර්ෂයට අයත් සෙල්ලිපි දෙකක සඳහන් වන්නේ කුඹලුන් ලෙන් පූජා කිරීමක් පිළිබඳවය. මිහින්තලේ සෙල්ලිපියේ. ‘‘කුබල නිසහ ලෙනෙ සගස යන්න සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ ආර්ය සමාජයේ දී කුඹලා ද නැට්ටුවා ද වියන්නා ද දැසි දස්සෝද සමාන පුද්ගලයින් බවය. වගා කළ ඉඩමෙන් බද්දක් ගෙවූ ඔවුහු නිදහස් පුද්ගලයෝ වූහ ඔවුහු සියලු දෙනාම ඉඩම් වගා කළ ගොවීන් ද වූහ ලංකාවේ මධ්‍යකාලීන යුගයේදී රාජ්‍ය සභාවේ ඉහළ නිලධාරීන් අතර සෙට්ඨිනාහ හෙවත් වෙළෙඳ මණ්ඩලයේ සභාපතිවරයෙකු පිළිබඳව ඳහන් වෙයි වෙළෙඳුන්ගෙන් බදු අය කළ පුද්ගලයා මහපාලුලද්දා විය. මහා ග්‍රාමන් යනු ගම් පාලක මණ්ඩලයයි වණික් ග්‍රාමන් යනු වාණිජ මණ්ඩලයයි ලංකාවේ බටහිරට සහ නැගෙනහිරට විදේශ වෙළෙඳ නැව් පැමිණි අතර ෆාහියන් නම් චීන භික්ෂූන් වහන්සේ සඳහන් කර ඇත්තේ බටහිර වෙරළට පැමිණියේ ග්‍රීක්, රෝම පාර්සියන් සහ අරාබි නැව්ය. ඒවා යේමනයේ සිට පැමිණි අතර චීන නැව් පැමිණියේ නැගෙනහිර වෙරළටය. ඔවුන් ලංකාවෙන් කපුරෙදි රන් රිදී භාණ්ඩ මුතු මැණික් බුදු පිළිම ආදිය ​ගෙන ගියා පමණක් නොව ධර්ම දේශනා සඳහා මෙරටින් භික්ෂූන් වහන්සේලා ද ​රැගෙන ගිය බව සඳහන් කරයි.

ග්‍රීක වෙළෙඳුන් සඳහන් කර ඇත්තේ ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අතර මුතු මැණික් සියුම් කපුරෙදි කැස්බෑලෙලි රන් රිදී ආභරණ විශේෂ තැනක් ගත් බවයි. සුරියකාන්ත හා දාස්පෙතියා යැයි සැලකිය හැකි මලක් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ගෙන ඉතා උසස් වර්ගයේ කෘත්‍රීම රන් සෑදීමට ලාංකිකයින් දන්නා බව ද ඔවුන් සඳහන් කරයි ග්‍රීක ජාතික නාවික වෙළෙන්දෙකු විසින් ලියන ලද ක්‍රිස්තියානු ප්‍රදේශ විස්තර නමැති ග්‍රන්ථය අනුව ඔහු සඳහන් කරන්නේ ලංකාවේ ඇති සාරවත් බව හා පොහොසත් බවද, බටහිර ලෝකයට එහි ඇති වැදගත්කමය. එහෙත් එක් කරුණක් පිළිබඳව ඔහු දුක් වෙයි එනම් එරට ජනතාව සැම දෙනාම බුදුන්ට වඳින මිත්‍යා දෘෂ්ටිකයින් වීම පිළිබඳවය ඔහු සඳහන් කරන පරිදි ලාංකික නැව් ලොව සෑම ප්‍රධාන වරායකටම ගමන් කරන බවත් තමා ඒවා දැක ඇති බවත් පවසයි. මෙම සශ්‍රීක තත්ත්වය සහ උසස් සංස්කෘතිය පැවතුණේ දහවන හා දොළොස්වන ශත වර්ෂය දක්වා පමණි. ඉන් පසු රට ගමන් කළ ආකාරය උඩරට විත්ති ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ මෙසේය.

පොළොන්නරු සමයේ පටන් සිංහලයින්ගේ රාජ ශක්තිය හා ශ්‍රී සමෘද්ධියත් ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය ජාතික සංස්කෘතිය හා සාහිත්‍යයේ සංවර්ධනයත් එසේම දුබල විය චෝලිය ආන්ද්‍රා පාණ්ඩය කේරළ ආදී ද්‍රවිඩ ජාතිකයින්ගේ සංස්කෘතිය සිංහලද්වීපයෙහි පැතිරෙන්නට වන හෙළ බසට චෝලිය, කේරළ අාන්ද්‍රා වචන රාශියක් මිශ්‍ර වීමෙන් සිංහල වචන රැසක්ම අතුරුදන් විය සිංහල සමාජයේ ව්‍යවහාරයට ගනු ලබන ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ආදියට භාවිතා වූ සිංහල නාමයන් වෙනුවට දකුණු ඉන්දී යට කී භාෂානුගත ව්‍යවහාරයට සැලසුණේය මීට හේතු වූයේ චෝලිය ජාතීන් අතට සිංහල රාජ බලය වරින් වර පත් වීමෙන් චෝලිය ප්‍රධානීන්ගේ උපදෙස් අනුව රාජ චක්‍රය ක්‍රියාශීලී වීමත්ය එසේම නොයෙක් තරාතිරම්වල චෝලිය ජනයා රාජානුග්‍රහයෙන් සිංහල ස්ත්‍රීන් පාවාගෙන සිංහලයන්වීම නිසා ඇති වූ විපර්යාසයන් ද ඊට හේතුවුණි සිංහල ජාතියේ මේ අනිවාරණීය වූ වෙනස්වීම වළකාලන්නට කිසිම උපායක් නැති විය ලක්දිව සොලී බලය තහවුරු වූයේය මේ නිසා අමුතුම සිංහල ජාතියක් ඇතිවිණැයි කිව හැකි විය.

ශ්‍රී මහා බෝධිය සමග පැමිණි පිරිස් අතර පට්ටි කුල අටක්ද, බ්‍රාහ්මණ කුල අටක්ද, මල්කරුවන් උද්‍යාන පාලකයින් ඕසදවටු (සුවඳ විලවුන් නිෂ්පාදකයින්) වැනි විවිධ පිරිස් උත්තර භාරතයේ සිට මෙරටට පැමිණියාහ. කුල භේද ක්‍රමයක් සහ පංති රාමුවක් දක්වා වූ වැඩ වසම් ක්‍රමයක් නොතිබුණු යුගයක පැමිණි මෙම පිරිස් හඳුන්වන ලද්දේ ශිල්ප ශ්‍රේණි වශයෙනි ආර්යයන් වූ මොවුන්ගෙන් බිහිවූ විශාල පිරිසක් පසු කාලීනව ගොවි කුලයට අන්තර් ග්‍රහණය වූවාහුය. සැබැවින්ම සිංහල ගොවි කුලයක් ලෙස හැඳින්විය හැක්කේ මොවුන්ය එහෙත් මහා වංසය සහ සිංහල බෝධි වංසයෙහි මෙම පිරිස් කුල වශයෙන් දක්වා ඇත්තේ සැබැවින්ම වැඩවසම්වාදී කුලයක් ලෙස නොව පවුල් සංඛ්‍යාවන් වශයෙනි. කෝට්ටේ යුගය වන විට ලියැවුණු බුද්ධ රක්ෂිත හිමිගේ ජන වංශයෙහි. ඔවුන් කුලයක් ලෙස දක්වා ඇත්තේ මෙසේය. කුඹුරුවලට දිය කපාගෙන එන දිය සළුවෝය ගවයන් රක්ෂා කරන්නෝය. උයන් පාලයෝය. මල් වවා දෙන්නෝය ජීවිත රක්ෂාව උදෙසා කෙත මුල් කරගෙන ගොයම් කරන්නෝ හෙවත් කස්සකයෝ යන මොවුන්ගේ විශේෂයෙන් ගොවීහු. යනුවෙනි.

ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමට පසුව සකස් වු නීති නිඝණ්ඩුව ප්‍රසිද්ධ කරන ලද්දේ ක්‍රි.ව. 1879 දීය. එය ප්‍රසිද්ධ කරන ලද ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා සඳහන් කරන්නේ කර්තෘ කෙනෙකුන් අඥාන ලෙස සඳහන් එය තමාට ලැබුණේ සිය බාප්පා විසින් එක්තරා නීති පොතකින් පිටපත් කර ගන්නා ලද පිටපතක් ඇසුරෙන් බවයි එහෙත් එම මුල්පොත තමාට දක්නට නොලැබුණ බව ද ඔහු සඳහන් කරයි. නීති නිඝණ්ඩුවට අනුව ගොවි කුලය හඳුන්වා ඇත්තේ මෙසේය ‘ගජබාහු මහරජාණන් දවස එම මහා රජාණෝ සොලී රටට වැඩමවා පළමු මේ ලංකාවෙන් සොලී රටට ගෙන ගිය දොළොස් දසසක් හිරවලට විසි හතර දහසක් හිර ගෙනා බව ද එම පිරිසෙහි නොයකේ කුල වලින් ස්ත්‍රීන් මෙම ලංකාවට ගෙනා බව දත යුතුයි. තවද රජ බමුණු වෙළෙඳ යන වංශත්‍රයෙහි අය වල් කලින් කලට මෙම සිංහලේ රටට පැමිණ විසුයේ ද ඔවුන් බොහෝ ගණන් සංඛ්‍යාව ඔවුන්ගේ ගෝත්‍ර වෙන් වශයෙන් නොපවත්වා ගොවි වංශයට අන්තර්ගතව ඒකාබද්ධ වූ හෙයින් මෙම රාජ්‍යයෙහි ගොවි වංශ්‍ය උත්තම ස්ථානයෙහි පිහිට වූ බව දත යුතු.’

එහෙත් මෙම ප්‍රකාශනය වංලගු වන්නේ දහ අටවැනි ශත වර්ෂයේදී ඇතිවූ ගොවි කුලයට විනා පැරණි සිංහල ගොවි වංශයට නොවේ. උඩරට වඩුග පාලන යුගයේදී දේශීය ගොවි කුලයට දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් එකතුවීම නිසා එම කුලය මිශ්‍ර එකක් බවට පත්විය. මොවුන් පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් කළ මහාචාර්ය ශ්‍රීමති දේවරාජ පවසන්නේ මෙවැන්නකි. දහ අටවැනි ශත වර්ෂයේදී අපට දක්නට ලැබෙන ගොවි කුලය පැරණි කුලවතුන්ගේ දරු මුණුබුරන්ගෙන් පැවතෙන සජානීය පිරිසක් නොවේ. දේශීය හා විදේශීය යන දෙපක්ෂයටම අයත් විවිධ කොටස් එයට සම්මිශ්‍රණය විය. උත්තර භාරතීය කුල ක්‍රමය අනුව සමාජය සකස්වී ඇත්තේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර වශයෙනි එයින් පිටස්තරව පංචමයෝ නමින් තවත් පිරිසක් ද වෙති එහෙත් දකුණු ඉන්දියානු කුල ක්‍රමයට අනුව බ්‍රාහ්මණ ශුද්‍ර සහ චණ්ඩාල නමින් ප්‍රධාන කුල තුනකි. එම කුල තුන තුළ උප කුලයන් රාශියකි ක්ෂත්‍රීය හා වෛශ්‍ය නමින් කුලයන් එහි නොමැත වෙල්ලාලන් නමින් හැඳින්වෙන ගොවි කුලය ශුද්‍ර වංශිකයින්ය ලංකාවේ පුරාණයේ පැවති ආර්ය සමාජයේ දී කුලයන් විනා කුල භේදයක් නොතිබුණි. එහි සමාජය සැකසුණේ ක්ෂත්‍රීය, පූජක සහ පොදු ජනයා වශයෙනි.

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානි ඊ.ආර්. ලීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් පිරිසක් විසින් දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වයඹදිග පාකිස්ථානයේ පවතින කුල පිළිබඳව කරන ලද පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයක් Aspects of Caste in South India, Ceylon and North – wast Pakistan නමින් ප්‍රකාශයට පත් කර ඇත. 1960,1962, 1969 සහ 1971 දී මුද්‍රණය කර ඇති එම ග්‍රන්ථයේ 1971 මුද්‍රණයට අනුව දකුණු ඉන්දීය කුල ක්‍රමයේ ලක්ෂණයන් පහත සඳහන් පරිදි වේ ශුද්ධ කාවේර නදියට උතුරු දෙසින් පිහිටි ගම්මාන සියල්ලම ද්‍රවිඩ බ්‍රාහ්මණ ගම්මාන වේ. මෙම බ්‍රාහ්මණ පිරිස් ජාති ලෙස හැඳින්වේ. චෝළ රජවරුන්ගෙන් ඉඩකඩම්, දේපොළ හා තනතුරු ලබාගත් මෙම පිරිස් තන්ජෝරයේ මුළු ජනගහනයෙන් සියයට 20 කි ඔවුන් සතු භූමි ප්‍රමාණය සියයට 37.5 කි. මෙම බ්‍රාහ්මණයින්ගේ දැසි දස්සන් විවිධ හීන කුල ජනයාගෙන් (සංකරයන්ගෙන්) සමන්විත වේ බ්‍රාහ්මණයින්ගෙන් බහුතරය ශෛවවාදීන් හෝ මාතෘදේව වාදීන්ය මොවුන් ශිව මෙන්ම විෂ්ණුද අදහති. බ්‍රාහ්මණ පවුල්වල ආවාහ විවාහ කටයුතු මෙන්ම ඔවුන්ගේ ආගමික කටයුතුවල නියුක්තවන බ්‍රාහ්මණ පූජකයෝ සතරවේදයට අනුව ප්‍රධාන උපකුල හතරකින් සමන්විත වේ. ඔවුන් නම්,

  1. බ්‍රශ්චර්නාම්ස් (Brahacharuams)
  2. අස්ථසහාස්රාම්ස් (Asthasahasrams)
  3. වඩමාස් (Vadamas)
  4. වාතිමාස් (Vathimas) ලෙස හැඳින්වේ.

මෙම එක් එක් කුලය දහයේ සිට විස්ස දක්වා වූ උපකුලයන්ට අයත් ජනයා වාසය කරන ගම්මාන ප්‍රාදේශීය වශයෙන් විහිදී ඇත. විෂ්ණු පමණක් අදහන ද්‍රවිඩ බ්‍රාහ්මණයින්ගෙන් ඉතා සුළු තරයක් වසන ගම්මානයක් ද ඇත. අයියන්ගාර්වරු ලෙස හැඳින්වෙන්නේ ඔවුන්ය. දොළොස්වන ශත වර්ෂයෙන් පසුව මොවුන්ගෙන් කොටසක් රාමාණුජ හෙවත් රාමවාදීහූ වූහ. රාමා යනු විෂ්ණුගේ අවතාරයක් ලෙස සැලකේ. මෙම අයියන්ගාර්වරු සහ බ්‍රාහ්මණ නොවන පිරිස් ජීවත්වන සෑම ගම්මානයකම ශිව හෝ විෂ්ණුට වෙන්වූ දේවාල එකක් හෝ දෙකක් ඇත. මෙවැනි ගම්මානවල පිහිටි ශිව දේවාලවල පූජකයින් කුරුක්කල්වරු ලෙසට ද, විෂ්ණු දේවාලවල භාරකරුවන් භට්ටාචාර්යවරු ලෙසට ද හැඳින්වේ. විජයනගර් අධිරාජයා යටතේ ඉඩ කඩම් සහ දේපොළ ලබා ගත්තවුන්ගෙන් පැවතෙන තෙළිඟු ශෛවාස්තිවාදී බ්‍රාහ්මණයින් ලෙස සැලකෙන පිරිසක් ද ඉතා සුළු වශයෙන් දකුණු ඉන්දියාව තුළ දක්නට ලැබේ. මරාන, කොන්කන් සහ ගුජරාටි යන ප්‍රදේශ වලින් පැමිණ දකුණු ඉන්දියාවේ නගර තුළ ධනවත් ව්‍යෘපාරිකයින් ලෙස වෙළෙඳ කටයුතු කරන පිරිස්ද දක්නට ලැබේ. පිරිස් වසයෙන් සුළු වුව ද ධන බලයෙන් ඉතා ඉහළ මට්ටමක සිටින මොවුන් වෛශ්‍ය කුලයක් ලෙස හැඳින්වෙන්නේ නැත. වංශාධිපතීන් ලෙස පෙනී සිටින මොවුන්හට ද බ්‍රාහ්මණයින්ට මෙන්ම වතුපිටි දේපොළ මෙන්ම දැසිදස්සෝද සිටිති. මෙම ව්‍යාපාරික පවුල් අතරම ආවාහ විවාහ කටයුතු සිදු කෙරේ.

එම කටයුතු සහ ආගමික වතාවත් සිදු කිරීම පිණිස ඔවුන් විසින්ම ඉදි කරන ලද ​කෝවිල් ද ඇත  ඒවායේ කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයින් පැමිණි පෙදෙස් වලින්ම පූජකයින් ගෙන්වා එම කෝවිල් භාර දී ඇත. මෙම කෝවිල්වල සේවය කරන පූජකයින් බ්‍රාහ්මණයින් නොවුණද බ්‍රාහ්මණයින් විසින් සිදු කරන පූජා විධි එලෙසම සිදු කරති. ඒ අනුව ඔවුන් පැමිණි ප්‍රදේශ අනුව මරාන බ්‍රාහ්මණයින්, කොන්කන් බ්‍රාහ්මණයින් සහ ගුජරාටි බ්‍රාහ්මණයින් ලෙස ඔවුන් ප්‍රභේදනය වී ඇත දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මණ නොවන ජනයා අතුරින් කුලීනයන් ලෙස සැලකෙන්නේ වෙල්ලාල, නායිදු (නයිදෙලා) සහ කල්ලා යන ජන කොටස්ය. මොවුන් බ්‍රාහ්මණ නොවන ගම්වල වාසය කරන කුලීනයන් ලෙස සැලකේ. මොවුන් සාම්ප්‍රදායික ඉඩ කඩම් හිමියන්ගෙන් පැවතෙන්නන් ග්‍රාම පාලක තනතුරු දරන්නන් විවිධ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දරන්නන් වැනි පිරිස් වලින් පැවතෙන්නෝ වෙති. සොලී දේශයේදී මෙවැන්නෝ වෙල්ලාලයින් ලෙස සැලකේ. ආන්ද්‍රා දේශයේදී මෙවැනි පිරිස් නායිදු ලෙස හැඳින්වේ. ලංකාවට පැමිණි මෙම පිරිස් හඳුන්වන ලද්දේ නයිදෝරු ලෙසටය. නයිදේවරු පැරණි ආන්ද්‍රා පාලකයින් යටතේ සොල්දාදුවන් සහ රාජ්‍ය නිලධාරීන් ලෙස සේවයකොට දේපොළ හිමියන් බවට පත් වූවන්ගෙන් පැවතෙන්නෝය. ඔවුන්ගේ පිරිස් බහුල ලෙස වෙසෙන්නේ තන්නිලාවි, සහ නාගපට්ටනම් වැනි පෙදෙස්වල ය.
දෙමළ කල්ලාවරු දකුණු සහ වයඹ උස්බිම් පෙදෙස්වල වාසය කරති. සුළු පිරිසක් තන්ජෝරයේ ද වෙසෙති. කනිෂ්ක විසින් උත්තර භාරතයෙන් ශාක්‍යයන් පළවා හරින ලද බව අපි දනිමු. මොවුන්ගෙන් බහුතරය පැමිණියේ ආන්ද්‍රා පෙදෙසටය. ශාක්‍යයන් හෙවත් පල්ලවයන් ආන්ද්‍රා පෙදෙස යටත් කර ගත් පසු එය පල්ලව දේශය බවට පත් විය.

පල්ලවයන් සිය දේශ සීමා දකුණු දෙසට සහ අසල්වැසි රාජ්‍යයන් දෙසට ව්‍යාප්ත කිරීමේදී ඒ සඳහා එකල මං පහරන ගෝත්‍ර ලෙස ප්‍රසිද්ධව සිටි කුරුම්බ මාරව සහ කල්ලා වැනි පිරිස් එකතු කර ගති. එම නිසා කල්ලාවරු පැරණි නායක් හා මරාථ යුගවලදී යුද සේවය නිසා ලද ඉඩ කඩම් හා දේපොළ (බොහෝ විට කොල්ල කා ගත්) හිමි මී මුත්තන්ගේ දරු මුණුපුරන්ගෙන් පැවතෙන්නෝය. දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මණ නොවන ජන වුණු කණ්ඩායම්වලට අයත් බොහෝ පිරිස් ග්‍රාමීය අංශයේ විශේෂිත කර්මාන්ත කරුවන්ගෙන් සමන්විත වේ. බහුතරය ස්වදේශකයින් වූ මෙම පිරිස් අතර කම්මලාන්වරු රන්රිදීකරුවන්, ගල්ලද්දන් සහ වඩුවන් එකම ශ්‍රේණියකට අයත් වූවන්ය. ඔවුන් අතර අාවාහ විවාහ කටයුතු සිදු වෙයි. මීට අමතරව අම්බලක්කාරන්වරු (ධීවරයෝ) නඩාන්ස් යන නායක්කන්ඩරු (රා මදින්නන්) වන්නියාන්ස් එනම් වන්නියාර්වරු අම්බවාන්ස් (ඇම්බැට්ටයෝ) එනම් දැලි රැවුල් කපන පණික්කි, දේවාලවල වාදකයින් සහ රැඟුම් දක්වන්නන් එනම් මේලක්කාරන්වරු කුම්භකාර හෙවත් කුපාවාන්ස් මෙන්ම අඩු කුල ජනයා සඳහා වූ දේවාලවල පූජකයින් වූ පූසාරිවරු ආදීන්ද මෙම කොටසට අයත් වූවෝ වෙති. බ්‍රාහ්මණ නොවන ජන කණ්ඩායම්වලින් විශාල පිරිසක් සමන්විත වන්නේ ඉහළ පෙළේ බ්‍රාහ්මණයින් සහ බ්‍රාහ්මණ නොවන කුල වල වංශාධිපතිවරු යටතේ සේවය කරන සේවකයන්ගෙනි. බ්‍රාහ්මණ සහ වංශාධිපතිවරුන්ගේ ඉඩකඩම්වල ගොවියන් හා ගොවි කුලීකරුවන් ද ඔවුන්ගේ දැසිදස් මෙන්ම ගෘහ සේවකයින් ද මොවුන්ගේ එඬේරුන් ද මේ ගණයට අයත් වේ. කුඹුරු හා වතු පිටිවල සේවය කරන අඳ ගොවින් හා ගොවි කුළීකරුවන් මූඩියන් වරු වන අතර ඔවුන්ගේ ප්‍රධානීන් අගමුඩියන්වරු ලෙස හැඳින්වේ.

වහලුන් ලෙස ලංකාවට ගෙන ආ මෙම මුඩියන්වරු මුලදී මුඩියෝ ලෙසට ද පසුව මුදියන්නැහැ ලෙසට ද වඩුග යුගයේදී මුදියන්සේවරු බවට ද පත් වූහ. ජනප්‍රවාදයට අනුව මෙන්ම පිළිගත් මතය වන්නේ මොවුන්ගේ මුතුන් මිත්තෝ සොලී රජවරුන්ගේ රාජ මාළිගාවල සිටි ගෘහ සේවකයින්ය. (දැසිදස්සන්ය.) ආක්‍රමණික සොලී (චෝල) රජවරු සමග මොවුන් දකුණු ඉන්දියාවට පැමිණ ඇත. මෙවැනිම ආක්‍රමණික පල්ලව රජෙකු යටතේ සොල්දාදුවන් ලෙස දකුණු ඉන්දියාවට පැමිණි ගෘහ වහලුන් පඩත්තලයින් හෙවත් පඩයින් ලෙස හැඳින්වේ. ආක්‍රමණිකයින් සමග පැමිණි තවත් පිරිසක් වන්නේ මුඩිත්තවරුය. සහ කෝණාරවරුය. මොවුන් ඉහළ පෙළේ කුලීනයන් යටතේ මෙන්ම පහළ පෙළේ කුලීනයන් වන නයිදේවරු සහ කල්ලාවරුන්ගේ එඬේරුන් ලෙස කටයුතු කරති. බ්‍රාහ්මණයින් සහ වංශාධිපතීන් සතුව වෙ​ෙළඳාම පිණිස සතුන් ඇති කරන විශාල තණබිම් තන්ජෝරයේ දකුණු ඊසාන දිග කඳුකර පළාත්වල ද රාමනාද් සහ මදුරා යන පෙදෙස්වල ද දක්නට ලැබේ. කෝනාර්වරුන්ගන් සමහරු මෙවැනි තණ බිම් ආශ්‍රිතව මෙම වංශාධිපතිවරු යටතේ නිදහස් එඬේරුන් ලෙස කටයුතු කරති. කෝණාර්වරුන්ගෙන් තවත් කොටසක් සොලී හා පල්ලව ආක්‍රමණිකයින් සමග දකුණු ඉන්දියාවට පැමිණ එසේම නයිදේවරු සහ කල්ලාවරුන්ට වඩා පහත් උපකුලවලට අයත්ව සිට පසුව වංශාධිපතීන් බවට පත්වුවන් යටතේ නිදහස් අඳ ගොවින් ලෙසට ද කටයුතු කරති.

බ්‍රාහ්මණ නොවන ජන කණ්ඩායම් අතුරින් ඊළඟට අයත් වන පිරිස වන්නේ නාගරික ශිල්පකරුවන්, වෙළෙන්දන්, විවිධ කුල වලට අයත් හෙට්ටි හෙවත් වෙ​ෙළඳ අතරමැදියන් ද්‍රවිඩ, කර්ණාටක, තෙළිඟු හා ගුජරාටි ප්‍රදේශවලට අයත් පේෂකරුවන් (වියන්නන්) දක්ෂ ලී කැටයම් කරුවන් හා මූර්ති නෙළන්නන් ගල් කැටයම් කරුවන්, රන් රිදී හා පිත්තල ඇසුරින් මූර්ති හා භාණ්ඩ සාදන්නන් ආදීන්ය. පහළම ශ්‍රේණිය ලෙස සැලකෙන්නේ ද්‍රවිඩ පෙදෙස්වල මුල් පදිංචිකරුවන් වූ ආදිකාලීන ද්‍රවිඩයෝය. සැබැවින්ම ද්‍රවිඩයින් නොවූ ඉන්දියානු ජන හා සංඛ්‍යා ලේඛනයෙහි හරි ජනයා ලෙස වර්ගකර ඇත්තේ මොවුන්ය. සංඛ්‍යාත්මකව ගත් කල මෙම පිරිස මුළු ජනගහනයෙන් තුනෙන් එකකි. කුලහීනයන් ලෙස සැලකෙන මොවුන්ගේ ප්‍රධාන උපකුල තුනකි. පල්ලා මොවුහු 1843 ට පෙර පරවේණි ඉඩම් හිමි කෘෂිකාර්මික නිත්‍ය දාසයින් වූහ. එහෙත් 1843 ට පසු ඉඩම් අහිමි කුලීකරුවෝ වෙති.

පෙරවර හෙවත් පෙරෙයියාර්වරු කෘෂිකාර්මික කම්කරුවන් වූ මොවුන්ගේ ඇතැම් පිරිස් බ්‍රාහ්මණ නොවන ජනයාගේ අවමඟුල් පෙරහරවල දවුල් හා තම්මැට්ටම් ගසන්නෝය. තවත් සමහරු ආදාහනාගාරය සහ සොහොන් පිට්ටනිවල මුරකරුවන් සහ සොහොන්පල්ලන් ලෙස කටයුතු කරති. සක්කිලි පරවරයින්ගේ ඇතැම් පිරිස් මහ මග හා වීදිවල මැරී වැටෙන එළු, බැටළු හා ගව ආදී සතුන්ගේ මළ කුණු ඉවත් කර ඒවා සක්කිලියන්ට බාර දෙයි. සක්කිලියන් එම සතුන් හමගසා උන්ගේ හම්වලින් පාවහන් ආදිය සාදනු ලැබේ. වර්තමානයේදී බ්‍රාහ්මණ නොවන ජනයා සහ හරි ජනයාගේ විවිධ කුලයන් එක් කේවල ජන කණ්ඩායමක් ලෙස සංවිධානය වී ඇත. බ්‍රාහ්මණයන් මෙන්ම මෙම පිරිස් ද දකුණු ඉන්දියාවේ ප්‍රාදේශීය වශයෙන් විවිධ උපකුල ගණනාවකින් සමන්විත වේ. පානබොක්කේ මහතා විසින් සංස්කරණය කරන ලද නීති නිඝණ්ඩුවට අනුව දකුණු ඉන්දියාවේ සිට එසේ බමුණු වැනි පිරිස් මෙරටට පැමිණි බව විශ්වාස කිරීම අපහසුය. විශාල ඉඩම් හා දේපොළ මෙන්ම සිය දැසි දස්සන් ද අත හැර මෙරටට පැමිණ ශුද්‍ර වංශයන්ට අන්තර්ග්‍රහණය වූයේය යන්න ද පිළිගත නොහැක. ගජබා රජතුමා විසින් ගෙන එන ලද සොළී පිරිස් තුන්පනේ හාරිස්පත්තුව, උඩසිය පත්තුව, මැදසිය පත්තුව, ගලසිය පත්තුව, පන්සිය පත්තුවට මෙන්ම මාතලේට විශාල පිරිසක් ද, (මහතලයක්) කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගමට විශාල රංචුවක් ද වශයෙන් පදිංචි කරවන ලදි. එම ප්‍රදේශවල වැව් පොකුණු බැන්දවීම, ඇළවේළි නඩත්තු කිරීම, වෙහෙර විහාර පිළිසකර කිරීම වැනි කටයුතු සඳහා ඒ ඒ ප්‍රදේශ භාරව සිටි සිංහල රාජපුරුෂයින් යටතේ යොදවන ලදි. මෙම ද්‍රවිඩයින්ගෙන් 4000 ක් ජාඇල සිට දඬුගම් ඔය දක්වා ඇති සැතපුම් දෙකක් පමණ දිගින් යුත් පුරාණයේ දී කිඳිගොඩ නමින් ප්‍රසිද්ධ වූ ප්‍රදේශයේ පදිංචි කරවා මුතුරාජවෙලේ රාජ මෙහෙවරෙහි යොදවන ලදහ. මතු සම්බන්ධයි. එම්.කේ. ජයසේන විශ්‍රාමික ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය