මෑතක් වනතුරුම පිටිසර ගම්වල ගොවිතැන් කටයුතු වලදී, ගමේ ඇවිදින විට දී බෝගාව භාවිතා වුනා. ප්‍රමාණයෙන් දණහිසෙන් පහළට මදක් දිග මෙය හැඩයෙන් කුල්ලක හැඩයක් ගනු ලබනවා.බෝගාවක් නිර්මාණය කිරීමට අමතර ලෙස වල් දෙල් කොළ, ගොඩපර කොළ හා බටපොතු ආදී ශාක කොටස් එකතු කරගත්තත් මෙය නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ ගස් ගල් මත වැඩෙන මීමන ශාක (ferns) කුලයට අයත් බේඳුරු කියන කොළ වර්ගයයි. මෙහි කොළ පැහැ සහ දුඹුරු පැහැ ලෙස කොළ වර්ග 02 ක් ඇති අතර දුඹුරු පැහැ කොළ මෙම බෝගාව සෑදීම සඳහා යොදාගනු ලබනවා. මෙම බේඳුරු කොළ අනෙක් කොළ වලට සාපේක්ෂව හිරු එළියට ඉතා හොඳින් ඔරොත්තු දෙන අතර මේවා මතුපිට ඉටි වැනි ගතියක් ස්වභාවයෙන්ම පිහිටා ඇති නිසා ජල බිඳු වැටෙන විට ලිස්සා යාම ද ඉතා හොඳින් සිදුවනවා.බෝගාවක් සෑදීමේදී බේඳුරු කොළ හැර මෙයට යොදාගන්නා වල්දෙල් හා ගොඩපර වැනි අනෙකුත් ශාක පත්‍ර පළමුව උණු වතුරෙන් තම්බා පදමට අව්වේ වේළා ගනියි. ඉන් පසුව මෙම ශාක පත්‍ර නිදා ගන්නා ඇඳ ලෑලි මත හෝ පැඳුර යට එලා දින කීපයක් තබා ඒවා හොඳින් දිග හැර ගන්නා අතර ඉන්පසුව මෙම තම්බාගත් ශාක පත්‍ර කුල්ලක හැඩය සිටිනසේ ගලපා ගැනීම සිදුකරයි.බෝගාවේ පිට පැත්තට වියළී ගිය බේඳුරු කොළ ද ඇතුළු පැත්තට වියළා පදම් කරගත් වල් දෙල් හා ගොඩපර කොළ තබා බටපොතුවලින් බැඳ ශක්තිමත් කර ගනියි. බෝගාව දැන් කුල්ලක හැඩය හා ප‍්‍රමාණයට ඇත. එය නිකට යටට තබා බැඳ ගැනීමට අවශ්‍ය නම් කැලෑ වල් පටක් බැඳ ගනියි. ඒ නැතත් එහි බොකුටු බව නිසා හිස පැළඳ ගත් විට අත්වලින් අල්ලා ගැනීමක් අවශ්‍ය නැත. බෝගාව හිස පැළඳ ගෙන තද වර්ෂාවක වුවත් කුඹුරේ වැඩ කළ හැකිය. කුඹුරේ විවිධ වැඩට ගමේ ඇවිදීමට වර්ෂාවේ දී බෝගාව ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. නියමිත ලෙස පදම් කර ගත් බෝගාවක් අවුරුදු තිහ හතළිහක් පමණ භාවිතා කළ හැකියි.