අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.අම්බපාන-ජම්බුපාන -චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.

  • භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
  • දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,
  • ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
  • අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා
  • න මෙ පියවියොගො’ත්ථි තස්ස නිස්සන්දතො මම

(අපදාන පාළි)ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.ගිලන්පස පුජා කල බුද්ධවර්ම මුදලාලිගේ කථාව-දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය – ජම්බුපානය – චෝචපානය – මෝචපානය – ඵාරුසකපානය – මධුපානය – මුද්දිකපානය – සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.

වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.