නුවර යක්කු කෘතිය රචනා කළ එච්.ඇස්.ඇස්. නිශ්ශංක මහතා නාගලවැව ගමේ මිනිසුන්ගේ දිළිඳුකම කියා ඇත්තේ සංවේගයක් මතුවන අයුරිනි. එම කරුණු ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා උපුටාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම කියා පෑමටය. මීට දශක කිහිපයකට පෙරින් එච්.ඇස්.ඇස්. නිශ්ශංක මහතා දුටු දිළිඳුකම එතරම් දුරට දැන්නම් මේ ගමේ නැත. නමුත් ඔහුගේ කෘතියෙන් කියා තිබූ එක් කරුණක් අදටත් මේ මිනිසුන්ට නම් උරුමය. ඒ ගමේ පාරම්පරික ඉඩම් අයිතිය අහිමි වීමය. 1927 වර්ෂයේ මාතලේ උප ඒජන්ත ධුරය දැරූ ඩබ්ලිව්.ජේ.එල්. රොජසන් සමයේ රජවරු පිරිනැමූ සන්නස් රැසක් කච්චේරියට රැගෙන යන්නේ ඉඩම් ලේඛනයක් පිළියෙල කොට ආපසු දීමේ පොරොන්දුව පිටය. පසුව එම පොරොන්දුව නිලධාරීහු කඩකරති. ගම්මු මාතලේ කච්චේරියට ගොස් කන්නලව් කරයි. එම සෑම අවස්ථාවේදීම නිලධාරීන් කළේ ඔවුන් රවටා ආපසු හරවා එවීමය. ඉංගී්‍රසි ආණ්ඩුව සමයේ රැගෙන ගිය සන්නස්වල වටිනාකම දැනුණේ මේ සිද්ධිය සිදුවී වසර 33ක් ඉක්ම ගිය පසුවය. ඒ 1960.07.28 දින ගමට අදාළව ඉඩම් නිරවුල් කිරීමේ ආඥාව නිකුත් කිරීමෙනි. නිරවුල් කිරීමේ ආඥාව යටතේ උරුම අයිතිවාසිකම් විභාගයක් පැවැත්විය. එහිදී ගමේ ඉඩම් තමන් සතු බැව් ඔප්පු කිරීමට කිසිදු ලියවිල්ලක් ඔවුන් සතු නොවීය. ගමට අදාළ අවසන් ගැසට් පත්‍රය නිකුත් වුණේ 1990.04.24 දිනය. පෙර සිටම ගමේ ඉඩම් රැසකට උරුම අයිතිවාසිකම් කීව මේ මිනිසුන්ට සින්නක්කර ඉඩම් කියා ඉතිරි වුණේ ගම්මණ්ඩිය හා තවත් ඉඩම් කොටසක් පමණි. එම ගැසට් පත්‍රයෙන් ගමේ වැඩි ඉඩම් කොටසක් රජය සතුවිය.

ඉංග්‍රීසි පාලන සමයේ මහනුවර දිසා විනිසුරු වශයෙන් සේවය කළ ආච්බෝල් කැම්ප්බෙල් ලෝරි මාතලේ ප්‍රදේශයේ කලා ශිල්ප ගම්මාන ගැන 1887දී සමීක්ෂණයක් කර ඇත. එම සමීක්ෂණයේදී නාගලවැව ගම ශිල්ප ගම්මානයක් ලෙස හදුනාගෙන අංක 68ඒ, ලෙසින් දක්වා ඇත. නූතන කැරැලිකරුවන්ගේ සමාජ පසුබිම කෘතියේ මේ ගම හදුන්වා ඇත්තේ නැකැති කුලයේ’ ජනයා වෙසෙන ගමක් ලෙසිනි. නුවර යක්කු කෘතියේ දක්වා ඇත්තේ ඔවුන්ගේ ජීවන වෘත්තිය බෙර වැයීම හා නැටීම බවය. යම් ජන කොට්ඨාසයක් එකමුතු කරන බලය, ලේ උරුමය හා ඉඩම් හිමිකම මත රඳා පවතී. ලංකා ජනතාව, (නන්දසේව විජේසේකර) මහනුවර යුගයේ පැවැති සරල රාජාණ්ඩු ක්‍රමයකි. එම ක්‍රමය යුරෝපයේ වැඩවසම් ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් වූ මෙරට ආවේණික ශ්‍රම විභජන ක්‍රමයකි. ඒ සමාජ ක්‍රමයේ නාගලවැව ගම්මුන්ගේ සේවාව සුවිශේෂී විය. සේවාව ඉටුකිරීම වෙනුවෙන් ඉඩකඩම් රැසක් ඔවුන්ට හිමිවිය. සිංහල රජ සමයේ රජුගෙන් ඉඩම්වලට සන්නස් හිමිවිය. පිදුරංගල රජමහා විහාරයේ රාජකාරි පැවරී තිබුණේ නාගලවැවේ ගමේ ඥාති ගම්මානවලටය. ඉතා ප්‍රසිද්ධ ගල්ළිඳේ පිහිටි මහසෙන් දේවාලයේ හේවිසි රාජකාරි පැවැරී තිබුණේද මේ පරපුරටය. ඒ රාජකාරි වෙනුවෙන් රජ සමයේ ගල්ළිඳපොතාන කොටසින් ඉඩම් කොටස් ලැබී ඇත.

නාගලවැවේ ගම්මු සැලකෙන්නේ කාශ්‍යප රජ සමයේ සිට පැවතගෙන එන ජන කොටසක් ලෙසය. සීගිරියට නුදුරුව පිහිටි මෙවැනි ගම්මාන රැසක ජනයා රජුට මෙහෙවර කළවුන් සිටි බැව් සිහිගිරි කෘතිය ලියූ චන්ද්‍රසේන තැන්නේ මහතා පවසයි. ඉතිහාසයේ සඳහන් කාශ්‍යප හා මුගලන් යුද්ධය සිදුවී ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි සොයා දෙන්නේද මේ නාගලවැවේ ගම්මුන්ය. ඒ ගමේ පිහිටි කුඩා නිකකටුව වැවෙන්ය. සාගිනි නිවීමේ ව්‍යාපාරය යටතේ වැවේ කට්ටි වළවල් කපද්දී තුඩ නැමූ කඩු මිටියක් ගම්මුන්ට හමුවෙයි. මේ කඩු මිටිය ආරක්ෂිතව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට භාරදෙයි. එම කඩු පරීක්ෂාවට ලක්කරන එම අරමුදලේ ජේ‍යෂ්ඨ කෞතුකාගාර පාලක කුසුම්සිරි කොඩිතුවක්කු මහතාගේ අදහස වන්නේ අතීතයේ යුද්ධයකින් පැරදුණු පසුව කඩු නැවීමේ චාරිත්‍රයක් පැවැති බවයි. මේ හමුවුණු කඩු 12හේ තුඩ නවා තිබීමෙන් මේ ප්‍රදේශය අවට යුද්ධයක් තිබී ඇති බැව් සිතිය හැකි බවයි. සීගිරිය නව තොරතුරු මැයෙන් සිදුකළ දේශනය 2017.11.24

සීගිරිය ප්‍රදේශයේ ස්වදේශීය ගම්මුන්ගේ ඉඩම් අහිමිවීම ඇරඹෙන්නේ ඉංගී්‍රසි පාලන සමයේදීය. ඒ 1887.09.09 දින ගැසට් පත්‍රයකින් ප්‍රදේශයේ ඉඩම් රක්ෂිත වනාන්තර ලෙස පවරා ගැනීමෙනි. ඉන් පසුව ඉංග්‍රිීසි පාලන සමයේ ‘රාජකීය ගුවන් හමුඳා කඳවුරක්’ ස්ථාපිත කරන්නේද ගමේ ඉඩම් කොටසකය. එම ඉඩම් කොටසේ අහස් යානා ධාවන පථය ඉදිකරයි. ගුවන් පථයට අක්කර 05 රූ. 03 පර්.08ක් වෙන්කරයි. ඉංග්‍රීසි පාලනයෙන් පසුව ගුවන් හමුදා කඳවුර පුළුල් කිරීම යටතේ ඉඩම් අත්කර ගැනීම් 1985.12.15 දින ආරම්භ වෙයි. මෙහිදී ගම්මුන් ඉදිරියේ නිලධාරීන් ලිඛිතව පොරොන්දු වන්නේ කඳවුරට අත්කර ගන්නා ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබාදෙන බවයි. පසුව විකල්ප ඉඩම් ලබාදීමේ පොරොන්දුව නිලධාරීන් කඩකරයි. ඉඩම් අත්කර ගැනීමේ වන්දි මුදල් ගෙවන්නේ වසර 13කින් පසුවය. ඒ 1998.02.09 දිනය. ගම් පිඹුරු අංක 519 යටතේ කැබලි අංක 291, 292, 293, 295, 296, 297, 298, 299, 300, 301, 302, 303, 304 ඉඩම් රජයට අත්කර ගනියි. වන්දි මුදල් ලෙසින් ඔවුන්ට හිමිවන්නේ සැලකිය යුතු සුළු මුදලකි.

අවසන් නිරවුල් කිරීමේ ගැසට් නිවේදනයක් යනු ඉඩමක අයිතිය පෙන්වන රජයේ සහතිකයකි. එම අයිතිය පවා නාගලවැව ගම්මුන්ට අහිමිය. ගමට අදාළ අවසන් ගැසට් පත්‍රය ප්‍රසිද්ධියට පත්කළ පසුව එම ගමේ ඇතැමුන්ගේ උරුම අයිතිවාසිකම් අවලංගු කර ඇත. මේ උරුම අයිතිවාසිකම් පවා නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව පසුව අවලංගු කර දමන්නේ ඉඩම් කොටස සීගිරිය ගුවන් හමුදා කඳවුරට අත්කර ඇති බැව් ප්‍රකාශ කරමිනි. (නි.දැ. 3912 මාතලේ 2016/03/02 නිරවුල් කිරීමේ සහකාර නිලධාරිවරයාගේ ලිපිය) නිරවුල් කරීම් කටයුතු අවසන් වූ පසු ගමට ඊළඟ පැමිණෙන්නේ (බිම්සවිය) වැඩසටහනය. දඹුල්ල ප්‍රාදේශීය මිනින්‍දා්රු නිලධාරීන් ගම්මණ්ඩිය අවට ඉඩම් කොටස්වලට මායිම් ගල් දමන්නේ 2014 වර්ෂයේය. මේ ගම්මණ්ඩියේ අතීතයේ ගෙවල් පිහිටා තිබුණේ එක යටලීයේ දිග් ගැස්සෙන අයුරිනි. එම ගෙවල් කන්ගැට්ටේ ලෙසින් හදුන්වයි. ගමේ සියලුමදෙනාට මේ ඉඩම් අයිතිය. එම ඉඩම් කොටසක අයිතිකරුවෙක් වුණු ඒ.ජී. සිරියා මහතා ඒ වනවිට දරුණු පිළිකා රෝගය වැලඳී කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 20 ප්‍රතිකාර ලබමින් සිට ඇත. රෝගය සුව වී නිවෙසට පැමිණි පසු මායිම් ගල් දමා තිබෙන අයුරු සිරියා මහතා දකියි. බිම් සවිය වැඩසටහන ගැන අවබෝධයක් ඔහුට ඇත. ඔහු එම වැඩසටහන යටතේ (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරිමේ පනත) නාගලවැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයට පත්කර ඇති සමඟි මණ්ඩලයේ සාමාජිකයෙකි.

මේ මායිම් ගල් දැමීම ගැන දඹුල්ල බිම් සවිය කාර්යාලයෙන් විමසීමක් කරයි. දඹුල්ල ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ (බිම් සවිය) නියෝජ්‍ය කොමසාරිස් ඒ.බී. හේරත් මහතා පවසා ඇත්තේ ‘බිම් සවිය’ වැඩසටහන යටතේ මැනුම්කර නොමැති බවයි. නියෝජ්‍ය කොමසාරිස්වරයා එසේ පවසා ඇත්තේ මගේ අංකය ඉතිදෙ/දඹු/ යටතේ 2017.03. මස දින රහිත ලිපියකින් වීම විශේෂ කරුණකි. එක් පැත්තකින් ගුවන් හමුඳා කඳවුරට ඉඩම් අත්කර ගන්නා විට අනෙක් පැත්තෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩම් අත්කර ගැනීම අරඹයි. ඒ ඉඩම්වල යුක්කැලිප්ටස් වන වගාව අරඹයි. එම වගා අතරින් අක්කර හැටක (අක්කර 60) ඉඩම් ප්‍රමාණයක් ගම්මු අල්ලාගෙන වගා කටයුතු අරඹති. ඔවුන් එම ඉඩම් කොටස්වල ඉතා සාර්ථකව ලොකු ලූනු වගාව අරඹයි. රජයේ මූල්‍යාධාර ඇතිව විශාල වගා ළිං ඉදිකරයි. ලොකු ලූනු වගාවෙන් හොඳ ආදායමක් ලබා ගනියි. වනසංරක්ෂණ නිලධාරීන් එම ඉඩම් කොටස්වලින් ගම්මුන් ඉවත් කරන්නේ 2015 වර්ෂයේ නව ආණ්ඩුවක් බලයට පත්වීමත් සමඟය. දීර්ඝ කාලයක් වගා කටයුතු කළ එම ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලීම් කළ විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්නේ අපූරු පිළිතුරකි. ඒ ඉඩම් දුම්කොළ වගා කිරීමට යොදාගෙන ඇති නිසාවෙන් ලබාදිය නොහැකි බැව් පැවැසීමෙනි. දිසා වන නිලධාරි එම වාර්තාව ලබා දී තිබුණේ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාටය. (මගේ අංකය 1/14/5/2 දිනය 2019.01.09) හරි හැටි ජීවන මාර්ගයක් නොමැති විට මේ ගොවීන් දුම්කොළ වගාවට හුරුවිය. වන සංරක්ෂණ ඉඩම් ලබාදීම නොකර සිටීමට නිලධාරි භාවිත මේ දුම්කොළ වගාවය.

මේ ගමේ පිහිටි මානාව වැව හා මහ නිකකටුව වැවේ ජල පෝෂක ප්‍රදේශය පිහිටා ඇත්තේ වන සංරක්ෂණ ඉඩම් කොටසේය. මේ ඉඩමේ වගාකර තිබුණේ තේක්කය. එම ගස් සියල්ල ඩෝසර් කර බිම හෙළා කොට පටවාගෙන ගොස් ඇත. එම ගස්වල උගුල්ලා දැමූ මුල් හා පස් මහ වැස්සට ගසාගෙන පැමිණ මේ වනවිට මහ නිකකටුව වැව ගොඩ වී අවසන්ය. එම වැවෙන් වගා කරමින් පවතින රජය සතු ඉඩම් අක්කර 215 අස්වැද්දීමට තරම් ප්‍රමාණවත් ජලයක් වැවේ රැස්කර ගැනීමට නොහැකිව වී ගොවිතැන අවදානමට පත් වී ඇත. මේ ගමේ වැඩි කොටසක් ඇත්තේ රජය සතු ඉඩම්ය. ඉඩම් කච්චේරි ඔස්සේ රජයේ ඉඩම් බෙදාදිය හැකිය. ගමේ ඉඩම් කච්චේරියක් පවත්වන්නේ 1997.09.20 දිනය. මෙයින් රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් නියමානුකූල කිරීම් සිදුවිය. එහිදී අනවසර පදිංචිකරුවන් 75ක් තෝරාගැනිණි. තෝරාගත් වාර්ෂික බලපත්‍රලාභීන් ගණන 83කි. දීර්ඝකාලීන බලපත්‍ර ලබාදීමට තුන්දෙනෙක් තෝරා ගැනෙති. එම ඉඩම් ලේඛනය නමට පමණක් සීමා විය. එම ලේඛනයේ කිසිදු ගම්වැසියකුට මේ දක්වා ඉඩමක හිමිකමක් ලැබී නැත. එහි ප්‍රතිඵලක් වුණේ රජයේ නිවාස ණය යෝජනා ක්‍රමයකින් හෝ නිවෙසක් ඉදිකර ගැනීමට ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාව අහිම් වී යෑමය.

ඉංග්‍රීසි පාලන සමයේ ගම්මුන්ගේ වටිනා සන්නස් මාතලේ උප ඒජන්ත රැගෙන ගියා මෙන් මේ මිනිසුන්ගේ ඉඩම් බලපත්‍ර ඇතැම් ග්‍රාම නිලධාරීන් රැගෙන යන්නේ ස්ථිර ඔප්පුවක් ලබාදෙන බැව් පවසාය. ඉන්පසු එම මුල් බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුන් බව පැවැසුවද එම බලපත්‍රය ආපසු ලබාගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තකි. මුල් බලපත්‍රය නොමැති විට රජයේ ඉඩමේ අයිතිවාසිකම් පෙන්වීමට ලියවිල්ලක් මොවුන්ට නැත. එවැනි සිද්ධියකට මුහුණ දීමට එම ගමේ සිරියාට සිදුවිය. ඔහුගේ බලපත්‍රය ග්‍රාම නිලධාරි රැගෙන යෑම ගැන සීගිරිය පොලිසියට පැමිණිලි කරන්නේ 2014.04.21 දිනය. ඉන් ප්‍රතිඵලයක් නොලැබිණි. ඉන්පසු 2018.08.14 දින පැමිණිලි කරන්නේ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙතය. දීර්ඝ කාලයක් වෙහෙස වී අවසානයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරියගේ බලපත්‍රයේ සහතික පිටපතක් 2019.04.23 නිකුත් කරයි.

ඊ 453 බී/ එල්.එල්.44 මුල් බලපත්‍රය සිරියාගේ අතට පත්වන විටත් අක්කර දෙකක (02) රජයේ ගොඩ ඉඩම ඔහුගේ අනුදැනුමක් නොමැතිව වෙන්කර තිබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් මගේ අංකය 5/3/3/11/2/1 යටතේ 2015.06.24 දින දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ සිරියාගේ කැමැත්ත මත ඉඩම බෙදා ඇති බැව් ග්‍රාම නිලධාරි වාර්තා කර ඇති බවයි. නමුත් එම ලිපියේ රජයේ ඉඩම බෙදූ සිරියාගේ දරුවන් තිදෙනාගේ නම් සඳහන් කර ඇත්තේ වෙනත් පුද්ගලයකුගේ නමක් යටතේය. එම ලිපියේම මාතලේ දිසාපති නොමඟ යවා ඇත්තේ ඉඩම් කොටස පිහිටි ප්‍රදේශයේ වනජීවි කලාපය නිර්ණය කර නොමැති බැවින් පසුව ඉඩම් කච්චේරි පවත්වන බවයි. එම කරුණ අසත්‍ය වන්නේ සීගිරිය ප්‍රදේශයේ වනජීවී කලාපය 1990.01.26 දින අංක 14/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර තිබීමෙනි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්ගේ මගේ අංකය 77/4/4/2/37 යටතේ 1997.09.20 දින ඉඩම් කච්චේරි පවත්වා තිබිණි. ඉඩම් හිමිකම ලබාගැනීමට යෑමේදී මේ පැරණි කලා ශිල්ප ගම්වල ගම්වැසියන් පත් වි ඇති ඉරණම ශෝකජනකය. 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනතින් බලය විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය ලේකම්වරු පත්කළේ රාජ්‍ය පරිපාලනයේදී සමානාත්මතාව පවත්වාගෙන යෑමටය. නමුත් ඉඩම් හිමිකම් හමුවේ නාගලවැවේ ගම්මුන්ට නම් ඒ සමානාත්මතාව අදටත් හිමි වී නැත. ඉනාමළුවේ තිලක විජයසූරිය