ලංකාවේ ක්‍රිකට් නම් දැන් ගන්නම දෙයක් නෑ ගහන ගහන මැච් එක පරාදයි, කණ්ඩායම ගොඩක් ක්‍රීඩකයන් ෆේල්, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පෙරේදා (7දා) නිමාවට පත් වූයේ ඉන්දීය පිලට කඩුලු 7ක පහසු ජයක් හිමිකර දෙමිනි. දෙරට අතර පසුගියදා පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවද මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා සිටියේ ශ්‍රී ලංකා පිලට නිසි මඟපෙන්වීමක් සහ නිසි නායකත්වයක් අත්‍යවශ්‍ය බවය.

ඉන්දියාව සමඟ පැවැති දෙවැනි විස්සයි – 20 තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් මෙම අදහස් පළ කළ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා “ශ්‍රී ලංකා කණ්ඩායමට නිසි නායකත්වයක් සහ නිසි මඟපෙන්වීමක් අත්‍යවශ්‍යයි. එමෙන්ම පුහුණුකරුවකු ලෙස මම ලබා ඇති අත්දැකීම් සම්භාරයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය නිසි මඟපෙන්වීම ලබා දිය හැකි බව මා විශ්වාස කරනවා. එහිදී ඉතා වෙහෙසවී පුහුණුවීම්වල යෙදීමට සිදුවන නිසා ක්‍රීඩකයන්ට යම් තරමක අසීරුතාවන්ටත් මුහුණදීමට සිදුවිය හැකියි. නමුත් අවසානයේ අපට හොඳින් දක්ෂතා අතරට පැමිණිය හැකි බව මට විශ්වාසයි. වාසනාවකට ශ්‍රී ලංකාව සතුව අතිදක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. ඔවුන්ගේ දක්ෂතාවයේ කිසිදු අඩුපාඩුවක් මම දකින්නේ නැහැ. එය උලුප්පා ගැනීමට නිසි ලෙස සංවිධානය කරගත යුතුයි. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල කීර්ති නාමයත් තිබෙන රටක්. එම නිසා අප කළ යුත්තේ එහි සිටින විශිෂ්ට ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නංවා ගැනීමයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා විශිෂ්ට පුහුණු කාර්ය මණ්ඩලයකුත් අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපට අනාගතයේදී විශිෂ්ට කණ්ඩායමක් සාදාගත හැකි වන බවට මට විශාල විශ්වාසයක් තිබෙනවා.” යනුවෙන් පැවැසීය.

මේ අතර ඉන්දියාව සමඟ පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ පරාජයට හේතුව පිළිබඳ පැහැදිලි කළ මිකී ආතර් “ඇත්ත වශයෙන්ම අපි ගත්ත ලකුණු ප්‍රමාණය මදි. තරගයේ පෙර පුහුණුවීම්වලදී අපගේ ප්‍රධානම තුරුම්පුවක් වන වේගපන්දු යවන්නකුගේ සේවය මෙම තරගයේදී අපට අහිමි වුණා. කෙසේ නමුත් අපට තවත් ලකුණු 20ක හෝ 25ක අඩුවක් තිබුණා. එම ලකුණු සංඛ්‍යාව ලබා ගත හැකි වූවා නම් ඉන්දියාව යම් පීඩනයකට නතු කිරීමේ හැකියාව අපට තිබුණා. මෙම තරගයේදී අපගේ පිතිකරුවන් කිහිපදෙනකු හොඳ ඉනිම් ස¼දහා ආරම්භය ලබා ගත්තත් එය පවත්වා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණේ නැහැ. මෙවැනි තරගයකදී ඉදිරිපෙළ පිතිකරුවෙක් ලකුණු 60ක් හෝ 70 සීමාවට ළඟා වීම එහි තීරණය සඳහා සෘජු බලපෑමක් එල්ල කරනවා. කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ පිතිකරණ අංශය යම්තාක් දුරට නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමත් ඊට හේතුව වෙන්න පුළුවන්. එම නිසා ඉදිරියේදී අපට හොඳ තරග සැලැස්මක් සහ විවිධාකාර පුහුණු උපක්‍රම යොදා ගනිමින් කටයුතු කළ යුතු වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා නොගත් පන්දු 49ක් වාර්තා වුණා. එය ඉතා බරපතළ තත්ත්වයක්.

ලොව ඉතා හොඳ විස්සයි-20 කණ්ඩායමක එම අගය 20ට අඩු සංඛ්‍යාවක්. එම නිසා ඉදිරියට යෑමට නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා. මෙම තරගයේදී පිතිකරුවන් සෑම පන්දුවකටම ලකුණු ලබා ගනිමින් පැති මාරු කිරීම ගැන අවධානය යොමු නොකොට සෑම විටම විශාල පහරවල් කරා යෑමට උත්සාහ කිරීම ඊට හේතුවූ බව මා දකිනවා. ලකුණු ලබා නොගත් පන්දු සංඛ්‍යාව 20කට ආසන්න සංඛ්‍යාවකට රැගෙන ඒමට අපට හැකි වූවා නම් එම ලකුණු ප්‍රමාණය නිසා මෙම තරගයේ තීරණය යම් වෙනසක් සිදු කිරීමේ හැකියාව තිබූ බව පැහැදිලියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.