ඉකුත් 2 වනදා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් එම රථයේ ගමන් ගත් අයෙක් විසින් අමතක වී තබා ගිය බාහිර දෘඩ තැටියක් මිරිහාන පොලිසියේ නිලධාරියෙක්ට ලබා දී ඇති බව පොලිසිය පවසනවා. එය පරීක්ෂා කිරීමේදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සිදුකරන ලද දුරකථන සංවාද බොහෝ ප්‍රමාණයක් තිබුණු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර රන්ජන් රාමනායක විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , හිරුනිකා ප්‍රේමචන්ද්‍ර , ශානි අබේසේකර සහ පොලිසියේ විවිධ නිලධාරීන් සමග දුරකථන සංවාද ඇති බව සඳහන්.

කෙසේ නමුත් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ මාදිවෙල නිවසේ අවි පුහුණුවක් ලැබූ බවට දුරකථන සංවාදයක ඇති අතර එම හේතුව මත ඔහුගේ නිවස පොලිසිය විසින් සෝදිසි කර ඇත්තේ වරෙන්තුවක්ද සමග බවට පොලිසිය පවසනවා. ඒ අනූව සෝදිසි කිරීම් වලින් විවිධාකාර භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පුහුණුව ලැබූ බවට සැකකරන ගිනි අවියද ඒ සමග තිබූ බව සඳහන්. DVD පට 164ක්, හාර්ඩ් ඩිස්ක් 5ක්, බාහිර දෘඩ තැටි 4ක් ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු භාණ්ඩ අතර ඇතුලත්. මේ අතර සිද්ධිය සම්බන්ධව දුරකථන සංවාද සමාජ මාධ්‍ය ගත වීම සම්බන්ධව පොලිසියට කරන චෝදනා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන බවත් පොලිස් මාධ්‍ය අංශය පවසනවා.