දක්ෂ නළුවක් වන රන්ජන් රාමනායක මේ දවස්වල අධි තාත්වික චිත්‍රපටයක රගපානවා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඒගැන මාධ්‍ය සහ වෙබ් අඩවි මඟින් දිගින් දිගටම ප්‍රචාරය වන රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා තවත් අධිකරණ මහෙස්ත්‍රාත්වරුන් දෙදෙනකු සමඟ කළ සාකච්ඡාවේ තව හඬපට දෙකක් ඊයේ (8දා) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළිදරව් කිරීමට ‘සිංහල රාවය’ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පියවර ගත්හ. පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සහ කොළඹ අලුත්කඩේ අංක 1 මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අතරත් රන්ජන් සහ ධම්මික හේමපාල මහෙස්ත්‍රාත්වරයා අතරත් එම සංවාදය සිදුවී ඇති බව ඒ හිමියෝ පැවැසූහ. එහිදී අදාළ හඬපටයේ තෙවැනි පාර්ශ්වයක් ‘මැඩම්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බවත්, එම මැඩම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දැයි සැකයක් මතුවන බවත් සුදත්ත හිමියෝ කීහ.

මාගල්කන්දේ හිමියන් එහිදී ඇසීමට සැලැස්වූ හඬපටයේ රන්ජන් සහ පිලපිටිය විනිසුරු අතර ඇති වූ සංවාදය මෙසේය. රන්ජන් :- කරදරයක් කළා නම් සමාවෙන්න. ෆවුසිගේ වැඩේට මුළු ජනතාවම බලාගෙන ඉන්නවා. ඔබතුමා ගැන. අද පත්තරවලත් දාලා තියෙනවා. විනිසුරු:- මට ඔබතුමා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෑ. අපිට කල් තියෙනවා තව. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි හම්බවුණා නම් වඩා හොඳයි නේද? රන්ජන් :- ආණ්ඩුවම බේරාගන්න පුළුවන් ඔබතුමාට. ඔබතුමාට කියන තැනකට වඳින්නම් ඕනෑ උදව්වක් කරන්නම්. පුළුවන් නම් ආණ්ඩුවම බේරාගන්න පුළුවන් (කවුරුත් නෑ නේද ඔතැන) විනිසුරු:- නෑ… නෑ… මම වාහනේ උසාවියට හරවන ගමන් ඉන්නේ. අපි මෙහෙම කරමු. රන්ජන් :- ඔයා අසරණ වෙනවා. ඒක ඇත්ත.

විනිසුරු:- ඒ හින්දා පැමිණිල්ල ඇප දීමට විරුද්ධයි. එසේ වීමට හේතුව මේකයි කියලා කියන්න ඕනි. එහෙනම් කරන්න ඕනි අපේ මැඩමුයි, ඔබතුමායි මායි චුට්ටක් ෆෝන් එකෙන් කොන්ෆරන්ස් දාලා කතා කරන්න පුළුවන්. රන්ජන් :- ලොක්කිගෙන් අහලා මම ඔයාට කෝල් කරන්නම්. විනිසුරු :- අන්න රයිට්… හොඳම දේ එහෙන් කතා කරලා පොඩි පුෂ් එකක් දෙන්න මට. රන්ජන් :- පැය ගාණකට දැම්මත් ඇති. පැයක් දාන්න. පුළුවන්ද? ප්‍රතිපාදන තියෙනවාද? විනිසුරු:- ප්‍රතිපාදන…. අපේ මැඩම්ට තමයි පුළුවන් කරන්න. පොඩි දෙයක් තියෙනවා ඒකේ. සහතිකයක් දාන්න තියෙනවා. රන්ජන්:- මැඩම්ට කතා කළා මම දැන්. මැඩම් කිව්වා අපේ අතේ තියෙන්නේ කියලා වැඩේ. විනිසුරු:- අන්න හරි… අන්න හරි… එතකොට ඒ අය කියනවා මේකට ඇපදීමට විරුද්ධ නැත කියලා. ඉතින් මගෙන් අහයි ඇප දීමට විරුද්ධ වුණේ ඇයි කියලා. අදාළ හඬපටවල ඇතුළත් සංවාද පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ විශ්වසනීයත්වයට මෙමඟින් බරපතළ හානියක් සිදුවී ඇති බවත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ජනතා විශ්වාසයට බරපතළ හානියක් සිදුවී ඇති බවත් සුදත්ත හිමි කීහ. මහෙස්ත්‍රාත්වරයකු කළ යුත්තේ දේශපාලකයන් සමඟ ගනුදෙනු කර මෙලෙස අසාධාරණ අන්දමින් තීන්දු ලබාදීම දැයි සුදත්ත හිමියෝ ප්‍රශ්න කළහ.

රන්ජන් රාමනායක හා බද්දේගම විනිසුරු ධම්මික හේමපාල අතර සංවාදය රන්ජන් රාමනායක:- ඔබතුමා හිතන්නේ මොකද? දැන් ඇතුළෙන් එන ආරංචි මොනවාද? අපිව හිරකරයිද? විනිසුරු:- එහෙම නම් ඇත්තටම කියන්න බැහැ. රන්ජන්:- මේගොල්ලො අනාගනීද මාව ඇතුළට දාලා. නැත්නම් අවවාදයක් කරලා අයින් කරයිද? විනිසුරු:- ඔව්. එහෙම වෙයි. ප්‍රසිඩන්ට්ට කිව්වානම් හරි නේද? රන්ජන්:- ප්‍රසිඩන්ට්ව මට හම්බවුණා ළහිරු මුදලිගේ ගේ වෙඩින් එකේදි. මට හම්බවුණේ ගිය සුමානේ. එතකොට මම ඇහුවා මොකක්ද කරන්න ඕනෑ කියලා. එතකොට කිව්වා උඹ කිව්වේ ඇත්තනේ. මුන්ගෙන් භාගෙට භාගයක් හොරු. ඒක වෙනස් කරන්න එපා. පස්සට අඩිය තියන්න එපා. අපි ඇඩ් එකක් දැම්මා. එතුමා කිව්වා ඇඩ් එකක් දාන්න කියලා. ඔබට අධිකරණයෙන් යම් අසාධාරණයක් සිදුවුණේ නම් මාව අමතලා තොරතුරු එවන්න කියලා. එතැන රංග කලන්සූරියත් හිටියා. ඔහු කිව්වා එතකොට සර් මෙයාට අපහාස කළා කියලා ඇතුළට දැම්මොත් මොකද වෙන්නේ කියලා. මම කිව්වා හැබැයි උඹ ස්ත්‍රී දූෂණ, කුඩු කේස් දාගන්න එපා. මේකට මං උඹට සපෝට් එක දෙනවා කියලා. විනිසුරු:- ඔව්. සමහර විට එයා කියපු දේ අගවිනිසුරු අහන්නේ නැතිලු. ඒ කියන්නේ ඩෙප් මහත්තය, මටම කිව්වා මම මේ හෙඩ් ඔෆ්ද ජුඩිෂියරි විදිහට මම හරි අන්කන්ෆටබල්. ඕගොල්ලන්ගේ ගොඩක් අයට ඇලිගේෂන්ස් තියෙනවා. මේවා පෘෘව් කරන්න බැරි එක තමයි තියෙන්නේ කියලා.” යනුවෙන්ද එහි සඳහන් ය.