අපේ රටේ වටිනාකම රැඳිලා තියෙන්නේ මේ ස්වභාවික ගහකොලත් එක්ක එත් මේ ලස්සන විනාස කරලා තමන්ගේ බද වියත් රැකගන්න ට්‍රයි කරන සෙට් එකක් හැම පළාතකම ඉන්නවා සංවිධානාත්මකව කරන මහ පරිමාණ මැණික් ගැරීමේ ජාවාරමක් හේතුවෙන් කහවත්ත පන්නිල රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බවට වාර්තා වේ.මෙම රක්ෂිතයේ ඇති වටිනා ගස් බිම හෙළමින් කාලයක් තිස්සේ සිදුකරන මෙම මහා පරිමාණ මැණික් ගැරීමේ ජාවාරමෙන් ගස් රැසක් මේ වනවිටත් විනාශ වී ඇත. ජලපෝෂක බහුල රක්ෂිතයක් වන මෙහි ජල උල්පත් රැසක්ද විනාශයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. රක්වාන අඩවි වන කාර්යාලයේ නිලධාරීන් පසුගිය මාසය තුළදී පමණක් මෙම රක්ෂිතයේ වැටලීම් කර පුද්ගලයන් 55 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 25ක දඩයක්ද අය කරගෙන ඇතත් මෙම ජාවාරම් විවිධ ක්‍රම භාවිත කරමින් රාත්‍රි කාලයේදී පවා යහමින් සිදුකරන බව රක්වාන අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ද පැවැසීය.

දිගින් දිගටම වැටලීම් සිදුකර මෙම සංවිධානාත්මක ජාවාරම නැවැත්වීමට හැකිතරම් උත්සාහ කරන බවද ඔවුහු පැවැසූහ. මෙම රක්ෂිතයේ විශාලත්වය හා නිලධාරීන්ගේ අඩුකම නිසාත් මෙම ජාවාරම් සිදුවන්නේ රක්ෂිතයේ කිලෝමීටර් 10ක් පමණ ඇතුළට වන්නට නිසා මෙය පාලනය කිරීමට අපහසු වී ඇති බවද අඩවි වන කාර්යාලයේ නිලධාරියකු පැවැසීය. මෙම ජාවාරම සිදුවන්නේ සංවිධානාත්මකව හා රක්ෂිතයේ කිලෝමීටර් 10ක පමණ ඇතුළත නිසා පොලිසියටද නිතර වැටලීම්වලට සහභාගි වීමට අපහසු තත්ත්වයක් ඇති බවද ප්‍රදේශවාසීහු පවසති. මෙම ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම මැඬපවත්වා මෙම රක්ෂිතයත් ජල සම්පත් ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙසයි. කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක