අන්තර්ජාලයෙන් සිදු කෙරෙන අපරාධ පිළිබඳ විමර්ශනයක නියැලෙන පොලිස් කාන්තාවක් අන්තර්ජාලයේ කතා කුටිවලින් සිදු වන අනතුරු දැක බලාගැනීමට පිබිදෙව්! වාර්තාකරුට ආරාධනා කළා. වයස අවුරුදු 14ක ගැහැනු ළමයෙකු ලෙස මවාපාමින් ඈ කතා කුටියකට ඇතුල් වුණා. තත්පර කීපයක් තුළදී පුද්ගලයන් කීපදෙනෙක්ම කතා කුටිය හරහා ඇගෙන් ප්‍රශ්න වැලක් අහන්න පටන්ගත්තා. එම අමුත්තන් ඇහැව්වේ මෙවැනි ප්‍රශ්නයි. “ඔයා ඉන්නේ කොයි රටේද?” “ඔයා ගෑනු ළමයෙක්ද නැත්නම් පිරිමි ළමයෙක්ද?” “අපි ටිකක් කතා කරමුද?” පොලිසිය මගින් සොයමින් සිටි කාමාතුරයන් බවට සැක කළ පුද්ගලයන් කීපදෙනෙක් ඒ අතරේ සිටියා. මෙයින් පෙන්වන්නේ දරුවන්ව ලිංගික අතවරයට ලක් කරන්නන්ට මෙලෙස ඔබේ දරුවා සමඟ එකම කතා කුටියකට ඇතුල් වීම කෙතරම් පහසුද කියායි!කතා කුටියක් තුළ සිදු වන සංවාදයක් සැමට දැකගත හැකි බැවින් තම දරුවන් කතා කුටිවලට පිවිසීම ඔවුන්ට ආරක්ෂාවක් බවයි ඇතැම් දෙමාපියන් සිතන්නේ. කෙසේවෙතත්, කතා කුටියක් තුළ සිටියදී දෙදෙනෙකු අතර පමණක් සිදු වන සංවාදයකට ඔබට ආරාධනාවක් ලැබිය හැකියි. එක්සත් රාජධානියේ ළමා ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාල කාර්ය බලකාය මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි. “මේ වගේ දෙයක් හරියට සෙනඟගෙන් පිරුණු සාදයක් පැවැත්වෙන අතරතුරේදී එහි සිටින කෙනෙකුව තවත් නාඳුනන කෙනෙක් පෞද්ගලිකව කාමරයකට කැඳවාගෙන ගොස් සංවාදයක නියැලෙනවා හා සමානයි.”දරුවන්ව ලිගික අතවරයට ලක් කරන්නන්ගෙන් වැඩිදෙනෙකුට වුවමනා වන්නේ දරුවෙකු සමඟ පොඩි කතා බහක යෙදෙනවාට වඩා වැඩි දෙයක් කරන්න බව දෙමාපියන් තේරුම්ගැනීමත් වැදගත්. අන්තර්ජාලයේ අපරාධ විමර්ශන කණ්ඩායම විසින් සූදානම් කළ ලියවිල්ලක මෙසේ වාර්තා වෙයි. “ඔවුන් විසින් කතා කුටි හරහා දරුවෙකු සමඟ පටන්ගැනෙන කතා බහ, ඊ-මේල් සහ (ජංගම) දුරකථන වැනි වෙනත් මාධ්‍යයන් මගින් කතා බහ කිරීම දක්වා දුරදිග යන්න පුළුවන්.” අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මෙසේ පවසයි. “දරුවෙකුව අන්තර්ජාලය මගින් ගොදුරක් කරගැනීම පරිගණකය හරහා පිවිසෙන කාමාතුරයෙකුට ප්‍රීතියක් වන අතර එය දරුවාට නම් කරදර රාශියකට අත වැනීමක් විය හැකියි. දරුවන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට වුවමනා වෙයි. දරුවන්ගේ ලිංගික හැඟීම් අවුස්සන ආකාරයෙන් ඔවුන් බොහෝවිට දුරකථනයෙන් කතා කරන්නේ පුද්ගලිකව හමු වී ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේ යටි අරමුණ ඇතුවයි.මෙම අභිප්‍රාය ඉටු කරගැනීමේ අදහසින් පරිගණකය හරහා පිවිසෙන කාමාතුරයන් තම දුරකථන අංකය දෙනවා. ඔබේ දරුවා ඔවුන්ව ඇමතුවොත් ඔවුන්ගේ දුරකථනයේ ඔබේ දරුවාගේ දුරකථන අංකය සටහන් වෙනවා. වෙනත් කාමාතුරයන්ට නොමිලේ දුරකථන ඇමතුම් ගත හැකියි. එහෙමත් නැත්නම් ඔවුන් දරුවාගේ බිල ගෙවීමට ඉදිරිපත් වෙනවා. සමහරු දරුවාට ජංගම දුරකථනයක් පවා දී තිබෙනවා. ඔවුන් දරුවන්ට ලිපි, ඡායාරූප සහ තෑගි පවා එවිය හැකියි.කතා කුටි හරහා අනතුරට ලක් වන්නේ ළමයින් පමණක්ම නොවෙයි. කාන්තාවන් ඇසීමට ප්‍රිය කරන මිහිරි වචන යොදාගනිමින් එක් තැනැත්තෙක් මෑතකදී, එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවන් හයදෙනෙක් එක්ක එකම වෙලාවේ පෙම් සබඳතා පවත්වලා තියෙනවා. ඔහුට ගොදුරු වූ 27-හැවිරිදි උපාධිධාරිණියක් වන ෂෙරිල් මෙහෙම කිව්වා. “මට තේරෙන්නේ නෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා. එයාගේ ලෝකේ තනි වුණ මට වෙන ජීවිතයක් තිබුණේ නැහැ.”“තමන්ගේ පෙනුමෙන් තමන්ව මනින්න නොලැබෙන නිසා පරිගණකය හරහා සබඳතා ඇති කරගැනීම කාන්තාවන්ට සැනසීමක්. ඒ වුණත් කතා කුටි හරහා තමන් ගැන සියල්ල හෙළි කිරීමට ඔවුන් නැඹුරු වෙන හින්දා ඔවුන්ව ආත්මාර්ථකාමී ලෙස යොදාගැනීමට තිබෙන ඉඩ කඩත් වැඩියි” කියා මේ විෂය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන සංවිධානයක පුරෝගාමියක වන ජෙනී මැඩන් පැවසුවා.“මට කරන්න තියෙන්නේ පරිගණකයේ බොත්තම ඔබන එක විතරයි. මගේ හිතේ හැටියට තෝරගන්න කාන්තාවන් දහස් ගණනක් ඉන්නවා” කියා එක් තැනැත්තෙක් පැවසුවා. ඔහුගෙන් ප්‍රශ්න කළේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල පර්යේෂණ අධ්‍යයනයක් සඳහා බියාට්‍රිස් ආවීලා මයිලෑම් විසින්. ඇය මෙසේ පැවසුවා. “වැඩි කල් යන්න ඉස්සෙල්ලා විවාහක කලත්‍රයාට ද්‍රෝහිවීම වැඩියෙන්ම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා වේවි.” එක් පොතක සංස්කාරක ආචාර්ය ඇල් කූපර් මෙවැන්නක් පැවසුවා. “රට පුරා ඇති වී තිබෙන විවාහ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන උපදේශකයන් වාර්තා කරන්නේ, ඒවාවලට ප්‍රධානතම හේතු සාධකය වී තිබෙන්නේ පරිගණකයෙන් සිදු වන ලිගික ක්‍රියාවන් කියලයි