ලංකාව කියන්නේ සම්පත් අතින් උඩින්ම තියෙන පට්ට රටක් රට ඇතුලේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා තමා ඒවා විසඳගෙන ජාතියක් විදියට එකතු වුනොත් මේ ලෝකෙම අපේ අල්ලේ නටවන්න පුළුවන් ඒ කතා පැත්තක තියලා අපි එමු ප්‍රදාන මාතෘකාවට කරස්නාගල මිනිරන් පතලේ කළමනාකරු සුනිල් ජයසූරිය මහතා පවසන පරිදි ලෝකයේ භයානක රැකියා පහකි. මුහුදු යාම, අතුරේ යාම, අලි බැලීම, රජු ළඟ සේවය කිරීම හා පතල් රැකියාව ඒවාය. මේ වෘත්තීන්වලට අලුත් පරම්පරාව එක් වීමට ද බොහෝ මැළිවෙති. එහෙත් විදේශ විනිමය බහුලව රටට ලබා ගත හැකි මිනිරන් කර්මාන්තය වැනි වෘත්තීන්වල නියැළෙමින් ජීවිත අවදානමක් ද කරමත තබාගෙන සිටින මෙම පිරිස කාගේත් ප්‍රශංසාවට ලක් විය යුතුය. ආරක්ෂික ඇඳුම (ඕවරෝල්) හා ආරක්ෂිත සපත්තු (බූට්ස්) හා අත් ආවරණ පැලඳ අප දැන් සිටින්නේ මිනිරන් පතලට ප්‍රවිශ්ට ​ෙවන උමං කට ළඟය. මේ ගමනට මාගේ මිතුරකු වූ නයනජිත් කොඩිකාර ද එක් විය. ඔහු පතල් ලෝලියෙකි. භූ විද්‍යාඥ හසර ප්‍රභාජිත් මහතා ද අප සමග පතළ තුළට යාමට සූදානම්ය.  උමං කට කොටස් දෙකකට බෙදා තිබුණි. ඉන් එකක් උමඟ ඇතුළත සිට පිටතට කැණීම් ද්‍රව්‍ය එවනු ලබන විශාල බාල්දිය ගමන් කරන කේබල් මාර්ගය සඳහාය. අනෙක් කොටස පතලට බැසීම හා ඉන් පිටතට පැමිණීම සඳහා සවි කරන ලද ඉනිමං මාර්ගයයි. අතරමඟදී පතල් කණ්ඩියෙන් ඇදහැලෙන දිය සීරාවට තෙමිය හැකි බැවින් කැමරා උපකරණ ද පොලිතීන්වලින් ආවරණය කරගෙනම කර වට එල්ලා ගැනීමට සිදුවිය. උමං කටේ පිහිටි උමං කට තුළින් පළමුව කොඩිකාරත්, දෙවනුව මමත්, මටත් පිටුපසින් භූ විද්‍යාඥ හසර ප්‍රභාජිත් මහතාත් ලෙස අපි ගමන් කළෙමු.

තිරස්ව පිහිටි ගල් ​දෙ‌ා්න පළමු ඉනිමඟ අවසන් වූ පසුව යකඩින් ඉදි කළ ආවරණයකි. වෙහෙස මහන්සිය නිවා ගැනීමට අවශ්‍ය නම් එතැන ටික වේලාවක් නතර විය හැකිය. එතනින් අනෙක් ඉනිමඟට මාරුවිය යුතුය. පතුලේ අඩියටම සවි කර ඇති සෑම ඉනිමඟක්ම අවසානයේ මෙවැනි ස්ථානයක් පිහිටීම මහත් අස්වැසිල්ලකි. පතලේ පළමු කොටස කොන්ක්‍රීට්වලින් බිත්ති ආවරණ යොදා තිබිණි. ඒ ඉවුරු කඩා හැලීම නවතා ගැනීමටය. එහෙත් කොන්ක්‍රීට් බිත්ති පිහිටියේ ඉතා කුඩා දුරකට පමණි. ඉන් පහළට වන්නට වැඩි කොටස වූයේ ගලින්ම නිර්මාණය වූ බිත්තිය. මීට වසර සියයකට පමණ පෙර කැණීම් කරන ලදැයි සැලකෙන එම ගල් බිත්ති ඉතා ක්‍රමානුකූලව කඩා ශක්තිමත් කර තිබුණි.  අඩි 120ක් දුරට යන තෙක් ප්‍රධාන උමඟය. දෝනා හමුවන්නේ එතනදීය. උමගේ උතුරු හා දකුණු දිශාවන්හි ගමන් කරන අතුරු මාර්ග දෙකකි. එම සීමාවේ මිනිරන් බහුලව පිහිටා තිබීම නිසා දෙපසට කැණීම් කර තිබේ. අඩි 120 සීමාවේදී මඳ විවේකයක් ලද අපි යළිත් පහළට ගමන් ඇරඹුවෙමු. අඩි 120 දක්වා වූ කොටස තුළට ගමන් කිරීමේදී උමඟ තුළ දැඩි අන්ධකාරයක් දක්නට ලැබෙයි. ඉනිමඟේ සීමාව හා අල්ලාගත යුතු පාදය තැබිය යුතු ස්ථාන අන්ධකාරයේ සීරුවට කළ යුතු බැවින් එම සීමාවේ ගමන අවදානම් සහගතය. ගල් බැම්මෙන් රූරා වැටෙන දිය සීරාවට තෙමෙන්නට ද සිදුවීම එම අවදානම තවත් වැඩි කරයි.

ලද විරාමයේ තේ පානය කරමින් එම සීමාව පසු කරන විට විදුලි ආලෝකය දක්නට ලැබෙයි. දැන් දැන් විදුලි ආලෝකය මත පතල අඩියේ ලහි ලහියේ වැඩ කරන පිරිස් අපට දක්නට හැකි විය. දැන් අපි සිටින්නේ පතලේ ප්‍රධාන මාර්ගයේ පතුල පිහිටි අඩි 153 සීමාවේය. මෙම සීමාවේදී පැති කිහිපයකට විහිදුනු ඩ්‍රයිව් හෙවත් මිනිරන් දෝන කිහිපයක්ම දැකිය හැකිය. අඩි 120 සීමාවේදී උතුරු හා දකුණු දෙසට පිහිටි අතුරු මාර්ග දෙක තරමක් දුරට ගොස් යළි පහළට කණින ලද මාර්ග දෙක ද අඩි 150 සීමාවේදී සම්බන්ධ වේ.  තවත් පැහැදිලිව කියනවා නම් අඩි 120 සීමාවේදී කණින ලද දෙපස මාර්ග දෙකට අඩි 150 සීමාවේ ඇති අතුරු මාර්ග දෙකකින් ගමන් කළ හැකිය.  අප එහි යන විට කැණීම් සේවකයෝ 11ක් පමණ සේවයේ නිරතව සිටියහ. පතලේ දෛනික සේවාව මුර ක්‍රම දෙකකින් ක්‍රියාත්මකය. උදෑසන 8 සිට ප.ව. 2 දක්වා එක් සේවා මුරයක් හා ප.ව. 2.30 සිට රාත්‍රී 8.30 දක්වා තවත් සේවා මුරයකි. සේවා මුරයකට කැණීම් සේවකයෝ 12 දෙනා බැගින් සේවය කරති. මෙහි සේවය කරන සේවකයින් ​බොහෝ දෙනා පතල් කර්මාන්තය පිළිබඳව අත්දැකීම් ඇති අයයි. අලුතෙන් වෘත්තියට පැමිණ අයද නැත්තේ නොවේ.

එහෙත් මෙම වෘත්තියට අලුතින් එක් වන්නන් ඉතා විරලය. සේවයට පැමිණිය ද දින කිහිපයකින් ඔවුන්ට සේවය නීරස වීමට ඉඩ කඩ වැඩිය. කැණීම් කටයුතු භාරව සිටින ප්‍රධානියා වන්නේ අයි.පී. පුෂ්පකුමාර මහතාය. ඔහුට කවුරුත් කතා කරන්නේ ‘ලොකු බාස් උන්නැහේ’ යනුවෙනි. කැණීම් කරන සේවක පිරිසට නායකත්වය දෙන්නේ ඔහුය.  පුෂ්පකුමාර මහතා පතල් කර්මාන්තය පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. ඔහු වසර 19ක් බෝගල පතලේ සේවය කර ඇත. පතල් කර්මාන්තය පිළිබඳව ඔහු අප හා පැවසුවේ අපූරු කතාවකි. “මම අවුරුදු 19ක් බෝගල පතලේ සේවය කළා. මගේ දරුවෝ තුන් දෙනෙක් ​ඉන්නවා. ළමයි මට නිතරම කියනවා පතල බලන්න එක්කගෙන යන්න කියලා. ඒත් මහත්තයෝ මම එකම දවසක්වත් ළමයින්ව එක්කගෙන ගිහින් නෑ. මොකද අපි මේ දරන අවදානම දරුවන්ට පෙන්වන්න අඟවන්න මම කැමැති නැහැ. අපි පැය ගණනක් පතල ඇතුළේ ඉඳලා එළියට යනකොට ඉන්න හැටි දැක්කොත් අපේ ගෑනු පවා අපව දාලා යනවා. ඒත් මේක රටට විශාල සම්පතක්. අපේ රටේ කිසිම පාලකයෙක් තවම තේරුම් අරන් නැහැ මිනිරන්වල තියෙන වටිනාකම. මේවායේ ලාභය ගන්නේ පිටරට අය. බෝගල පතල සුද්දා ආරම්භ කළා. පස්සේ 1972න් පස්සේ ජනසතු වුණා. පසු කලෙක ආයෙත් මේ වටිනා දේපළ පිටරටට වික්කා. දැන් බෝගල පතල පාලනය කරන්නේ විදේශිකයෙක්. ඔහු ඒ රටට මුදලක් උපයලා දෙනවා. අපේ රටේ මෙතෙක් නම් මේ මිනිරන්වල වටිනාකම දැනගෙන කටයුතු කළේ නැහැ. මේ මිනිරන් ටික අලුත් විදියට සකස් කරලා ලෝකයේ ඉල්ලුම අනුව දුන්නොත් මේකම ඇති රට ගොඩනගන්න. අලුත් තාක්ෂණය මේවට අවශ්‍යයි. සේවක හිඟයක් තියෙනවා. අවදානම වැඩියි. රජය මේ ප්‍රශ්න තේරුම් අරගෙන රටේ මිනිරන් කර්මාන්තය දියුණු කළොත් රටේ ලොකුම ආදායම තමා මේක.

මම පතල් කීපයකම වැඩ කරලා තියෙනවා. ඒ හැම පතලකම පතල් කණ්ඩිවල පිහිටි පස් ගැලවෙන සුලු ඒවා. නමුත් කරස්නාගල පතල් කණ්ඩියේ තියෙන්නේ ශක්තිමත් ගලින් වට වෙලා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. අවදානම අඩුයි.” ගල් අතර පිහිටි ඉල්ලම් කීපයක්ද පුෂ්පකුමාර මහතා අපට පෙන්වීය. “මිනිරන් නිධි තියෙන්නේ මේ ගල් අස්සේ ඒවා ක්‍රමානුකූලව කැණීම් කරන්න ඕනේ. මම බෝගල පතලේ වැඩ කරන කාලේ වැඩ කරන කෙනෙක් මේ වගේ ගල් අස්සේ තියෙන මිනිරන් නිධියක සලකුණකට යකඩයකින් ඇන්නා. ගල පැලිලා එතනින් මිනිරන් ටොන් ගණනක් එළියට ආවා. ඒකට යටවෙලා මිනිහා මැරුණා.” පුෂ්පකුමාර මහතා කියයි. කරස්නාගල පතලේ ප්‍රධාන භූ විද්‍යාඥයා ලෙස කටයුතු කරන හසර ප්‍රභාජිත් මහතාගේ කාර්ය භාරය වන්නේ නව තාක්ෂණ ක්‍රම මගින් මිනිරන් ඉල්ලම් ඇති ස්ථාන පිළිබඳව පෙන්වාදීමයි. කැණීම් ඉංජිනේරු හේලින්ද, ප්‍රභාජිත් මහතා විසින් පෙන්වා දෙන අහවල් ස්ථානයේ ඇති බවට දැක්වෙන ඉල්ලම ඉහළ නිෂ්පාදනයක් ලබාගත හැකි ලෙස විවෘත කර ගැනීමයි. මේ සියල්ල සිදුවන්නේ ඔවුන් දෙදෙනාගේ හා ප්‍රධාන බාස් උන්නැහේගේ සාමූහික තීරණය මගිනි.

එම මිනිරන් නිධිය ලබාගැනීම සඳහා ප්‍රධාන ආවාටය තවදුරටත් කණිනවාද? නැතිනම් ගල් දෝනාවක් කණිනවාද? එසේත් නැතිනම් දොරුවක් කණිනවාද? යන්න කැණීම් ඉංජිනේරුවරයා තීරණය කරයි. ඒ සඳහා බොහෝ විට සිදු කරන්නේ පුපුරණ ද්‍රව්‍ය යොදා පිපිරවීමයි. අඩි 3 හා අඩි 5 තරමේ වළවල් විද පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කෙරේ. ගල් දෝනාව ප්‍රධාන ආවාටය හැරීම හා දොරුව යන පිපිරීම්වලදී විදින වළවල් ගණන වෙනස් වේ. නවීන තාක්ෂණයට අනුව පුපුරණ ද්‍රව්‍ය වන වෝටර් ජෙල් හා ඇමෝනියා නයිට්‍රේට් යන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගැනේ. උපරිම අඩි 05ක් දක්වා බෝර දමා සියලු සේවකයින් පතලින් ඉවත් වීමෙන් පසුව පුපුරුවා හැරේ. මීට වසර සියයකට පමණ පෙර කරන ලද කැණීම්වලදී ගල් කුට්ටි අතර සිර කරන ලද මාර සහ කුඹුක් ගස්වලින් කපා ගන්නා ලද කොටන් දක්නට ලැබිණි. ජලයට ඔරොත්තු දෙන ඒවා සිර කර තිබුණේ එම ගල් කුට්ටි යළි සමීප නොවීමටය. අප මේ පිළිබඳ පරීක්ෂා කරමින් පතලේ අඩිය තුළ ගමන් කරමින් සිටියදී පතල තුළට සම්බන්ධ කර තිබූ විදුලිය එකවරම විසන්ධි විය. මුළු පතලම දැඩි අන්ධකාරයකින් වැසී ගියේය. “කරන්ට් ගිහින් ඇති.” පුෂ්පකුමාර මහතා කීවේය.

විදුලිජනන යන්ත්‍ර තිබුණ ද ඒවා ක්‍රියාත්මක වීම ද තරමක් ප්‍රමාද වූයෙන් අපගේ සිත්වලට තරමක බියක් ගෙන දුන්නේය. ඉහළින් පහළට ලැබෙන ඔක්සිජන් හා පහළ වාතය ඉහළට රැගෙන යන ක්‍රමවේදය ද ක්‍රියාත්මක වූයේ විදුලිය උපකාරයෙන් නිසා අපගේ බිය තවත් වැඩි විය. එහෙත් භූ විද්‍යාඥ හසර ප්‍රභාජිත් මහතා ද පුෂ්පකුමාර මහතා ද ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකළෙන් අපට තිබූ බිය ද ක්‍රමයෙන් පහව ගියේය. කෙසේ වෙතත් ප්‍රධාන බාස් උන්නැහේ වන පුෂ්පකුමාර මහතාගේ හිස් වැසුම තුළ රැඳි විදුලි පන්දමත්, සේවක පිරිසේ විදුලි පන්දම් ද ලබා දුන් ආලෝකය යම් සහනයක් ලබා දුන්නේය. හිසට උඩින් ගල් පර්වතත්, පහළින් කැණීම් කර ඇති සිදුරුවලිනුත් ප්‍රවේශම් වීමට අපි සිට ගත් තැනම නොසෙල් වී සිටියෙමු. විදුලිය යථා තත්ත්වයට පත්වීමට විනාඩි 10-12ක් පමණ කාලයක් ගත විය. පසුව පතළ තුළ සිට සාදන ලද තේ කෝප්පයක රස විඳගැනීමට අපට අවස්ථාව උදා විය. විදුලියෙන් නටවා ගන්නා ලද උණු වතුරින් හැදූ තේ සියලු සේවක පිරිස දකින විට නිතැතින්ම සිහියට නැගෙන පතල් කවියකි.

‘ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට කන්නෙත් කරවලයි රට හාලේ බතට බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට යන්නේ කවදාද මව්පියො දකින්නට’ පතල පතුලේ සිට ඉහළ දිවෙන බට වර්ග කිහිපයකි. ඉන් විශාලතම බටය වන්නේ ඔක්සිජන් බටය. පතුලේ එකතු වන ජලය ඉවත් කිරීමට තවත් බට කීපයකි. ඉහළ මතුපිට සිටින අයෙකුට කතා කිරීමට ද බටයක් සවි කර තිබේ. එහි එක් කෙළවරක් පොළොව මතු පිටටත්, අනෙක පතලේ පතුලටත් සවි කර ඇත. විදුලි ස්විචයක් ඔබා ‘ක්රීන්’ ගා ශබ්ද වූ පසුව දෙකෙළවර සිටින දෙදෙනා බටයට මුඛය තබා අවශ්‍ය පණිවිඩ හුවමාරු කර ගනිති. අඩි 155 සීමාවේ දැන් අප සිටියත් භූ විද්‍යාඥ හසර ප්‍රභාජිත් මහතා සහ ප්‍රධාන බාස් උන්නැහේ වන පුෂ්පකුමාර මහතාත් එතැනින් පසෙකට කැණ ඇති තවත් ස්ථානයක් කරා අපව රැගෙන ගියෝය. එතැනින් තවත් කැණීමක් යටට ඇති අතර එය අඩි 220ක් තරම් වූ යටට කැණීම් කර ඇත. ප්‍රභාජිත් මහතා පවසන පරිදි මෙම පතලේ ඇති විශාලතම මිනිරන් නිධිය පිහිටියේ ද මෙම මාර්ගයේ පිහිටි අඩි 165ක් වූ ගැඹුරු කොටසෙහිය. මෙහි ඇතුළු වීම යම්තාක් දුරට වැඩි අවදානමක් ගත යුතු කාර්යයකි. කෙසේ නමුත් දැනටමත් අඩි 155ක් යටට පැමිණි අපට තවත් අඩි 65ක් පමණ යාම කිසිසේත් බැහැර කළ නොහැකිය. අපි වඩාත් ආරක්ෂිතව දැන් සූදානම් වන්නේ අඩි 165 පිහිටි දෑසින්ම දැකගත හැකි මිනිරන් නිධය ද නරඹා අඩි 220ක් වූ උපරිම ගැඹුරට යන්නටය. ලබන සතියේ පතලේ පිහිටි විශාලතම මිනිරන් නිධිය සොයා ගිය හැටි. සටහන ඡායාරූප :  දොම්පේ අජිත් මදුරප්පෙරුම