වර්තමාන සමාජයේ පවතින වැරදි ආහාර පුරුදු නිසාවෙන් බාල, මහලු, තරුණ බොහෝදෙනකු ගැස්ට්‍රයිටීස් රෝගයට ගොදුරු වී සිටිනවා. අද වන විට ගැස්ට්‍රයිටීස් රෝගය වැලඳීම ඉතා සුලබ කාරණාවක් වී තිබෙනවා. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නියමිත වේලාවට ආහාර නොගැනීමයි. ගැස්ට්‍රයිටීස් රෝගයේ මූලික රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒවා නම් බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්කුම, බඩ පපුව දැවිල්ල ආම්ලික ගතියක් උගුරට ඒම, ඇඹුල් රසයක් දැනීම, ඔක්කාරය ආදියයි. ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වන්නේ ආමාශයේ ඉතා සුළුවෙන් හටගන්න තුවාල හේතුවෙනුයි. අප ගන්නා මිරිස් තෙල්, කුළුබඩු ආදී සැර අධික කැම වර්ග මඟින් සුළුවෙන් හටගන්නා තුවාල ක්‍රමයෙන් වර්ධන වී කල්ගතවන විටදී මාරාන්තික රෝගී තත්ත්වයක් බවට පවා වර්ධනය විය හැකිය අද වන විට බොහෝදෙනා ගත කරන අධික කාර්යබහුල ජීවන රටාව හමුවේ නිසි පරිදි නියමිත වේලාවට ආහාර නොගැනීම නිසාත්, බොහෝ වේලාවක් කුසගින්න දරා සිටීම නිසාත් ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මේ කුමන ආකාරයෙන් ගැස්ට්‍රයිටීස් රෝගය හට ගත්තද එයට නිසි ප්‍රතිකාර නොකර මෙම තත්ත්වය ගණන් නොගෙන සිටීම අනුවණ එමෙන්ම එමඟින් තත්ත්වය බරපතළ විය හැකියි. තවද අද බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාරයන් වන පිටි කෑම, බේකරි නිෂ්පාදන ක්ෂණික ආහාර, කෘත්‍රිම ආහාර, තෙල් අධික, මිරිස් අධික, කුළුබඩු අධික ආහාර ගැඹුරු තෙලේ බඳින ලද ආහාර ආදිය හැකිතාක් අවම කළ යුතුය.

එමෙන්ම උදෑසන අවදි වූ විගස පිටිකිරි පානය කිරීම පාන් ආදිය, ෂෝට් ඊස්ට් ආදිය උදෑසන ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් ඇතිවිය හැකිය. එනිසා උදෑසන ආහාරය සඳහා ඉතා සුදුසුයි දියබත් (හීල් බත්) දියබත් ආහාරයට ගැනීම තුළින් උදරයේ ආම්ලිකතාව මැඬපැවැත්වීමක් සිදුකළ හැකි අතර කල්ගත වන විට ගැස්ට්‍රයිටීස් රෝගය නැවත මතුවීමද වෙනවා. ඊට අමතරව ධාන්‍ය වර්ගද උදෑසන ආහාරයට ඉතාම සුදුසුයි. දහවල් ආහාරය සඳහා ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ බලමාළු, බලකරවල තක්කාලි, සැමන්, මුරුංගා, හුරුල්ලෝ ආදිය සමඟ බත් අනුභව නොකළ යුතුයි. ඒ වෙනුවට ශරීරය ආම්ලිකතාව අඩුකෙඳි සහිත ආහාර පිපිඤ්ඤා, කැකිරි, පුහුල්, වැටකොළු, පතෝල, බණ්ඩක්කා ආදී ආහාර ඉතාම සුදුසුයි. මිරිස්, කුරුඳු, ගම්මිරිස්, අබ, කරාබු නැටි ආදී කුළුබඩු යොදා ආහාර පිසිනවාට වඩා සැර අඩුවෙන් සුදට හුරු ලෙසින් ආහාර ගැනීම ඉතාම වැදගත්. ගැස්ට්‍රයිටීස් වැලඳුණු පුද්ගලයන් සඳහා ප්‍රතිකර්ම රාශියක් ආයුර්වේදය තුළ හඳුන්වා දී තිබෙනවා. ඒවා නම්,

කොත්තමල්ලි ඇට ලී වංගෙඩියක දමා කැබලි සිටින ලෙසත් තළා වතුර වීදුරුවකට දමා රැයක් පෙඟෙන්නට තබා උදේට පානය කරන්න. එමඟින් ශරීරය සිසිල් වීමක් සිදුවෙනවා. වියළි නෙල්ලි ගෙඩි 4/5ක් පමණ වතුර වීදුරුවකට දමා රැයක් පෙඟෙන්නට තබා උදෑසනට පෙර පානය කරන්න. එමඟින් උදරයේ දැවිල්ල අඩුවෙනවා. හැකිතාක් කොමඩු පානය කිරීම හා ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. මුංඇට තම්බා හෝ උයා ආහාරයට ගැනීමෙන් ආම්ලිකතාව අවම වීමක් සිදුවෙනවා. හාතාවාරිය කොළ කැඳ පානය කිරීම, හාතාවාරිය අල පෙති (ඔෟෂධ වෙළෙඳසල්වලින් මිලදී ගත හැකිය. ආහාරයට එක්කර ගැනීම සුදුසුය. කසකසා ඇට මේස හැඳි 2ක් වතුර වීදුරුවකට දමා උදෑසන හිස් බඩ පානය කිරීම සුදුසුය. පිපිඤ්ඤා පෙති 2-3ක් කපා ඔබ පානය කරන වතුර වීදුරුවට හෝ වතුර බෝතලයකට දමා ජලය පානය කරන්න.

අළු පුහුල් යුෂ පානය හා අළු පුහුල් ආහාරයට එක්කර ගැනීම ඉතා සුදුසුයි. කැකිරි එළවළුවක් ලෙසින් මිරිස් හා කුළුබඩු අඩුවෙන් යොදා ආහාර ගැනීම සුදුසුයි. තැඹිලි ගෙඩියක ඇස්ස කපා සුදු හඳුන් කුඩු මේස හැඳි 2ක් දමා රැයක් පින්නේ තබා උදෑසනට පානය කිරීමෙන් අම්ලපිත්ත රෝගය පාලනය කළ හැකියි. උදෑසනට ඇඹුල් රසයට උගුරට ඒම සිදුවෙනවානම් ඒ සඳහා බාෂ්කර ලවණ චූර්ණය කුඩු තේ හැඳි 2ක් සෝඩා වතුර අඬුකෝප්පයකට දමා පානය කිරීම ඉතාම සුදුසුයි. එමඟින් ආම්ලිකතාව, උගුරට ඒම වළක්වා ගත හැකියි. මී කිරි, යෝගට්, එළකිරි (නැවුම් කිරි) පානය කරනවා නම් ගැස්ට්‍රයිටීස් රෝගය අතිවීම අවම වනවා. මේ ආකාරයට සැර අධික ආහාර තෙල්, සීනි අධික ආහාර, පිෂ්ඨය, අධික කෝපි ආදී කැෆේන් අධික ආහාර, ඇල්කොහොල් ක්ෂණික ආහාර වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර උෂ්ණාධික ආහාරවලින් හැකිතාක් අවම කරමින් නිසි වේලාවට ආහාර ලබාගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගය නිට්ටාවටම සුව කරගත හැකිය. දිනූෂා මනෝරි නිශ්ශංක