රන්ජන් ලීක් වුන හඩපට ගැන මේ දවස්වල හැමෝම කතාවෙනවා මිනිහා එසේමෙසේ කෙනෙක් නෙවෙයි ගන්න හැම කෝල් එකක්ම රෙකෝඩ් කරලා රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හඬ පටවල අධිකරණ විනිසුරුවරුන්ට, රහස් පොලිසියේ ප්‍රධානීන් ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීන්ට දුරකථනය මඟින් අධිකරණ ක්‍රියාදාමයන් හා විනිසුරුවරුන්ගේ උසස්වීම්වලට අදාළ සංවාද රැසක් අනාවරණය වී ඇති බව ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අනාවරණය විය එක්තරා මහාධිකරණ විනිසුරුවරියක් තමාට අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උස්සවීමක් ලබා ගැනීම සඳහා කරන ආයාචනයන් පවා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ දුරකථන සංවාද හඬ පටවල තිබෙන බවත් අධිකරණයේ නඩු තිබෙන පුද්ගලයකු සමඟ මහාධිකරණ විනිසුරුවරියක මෙලෙස ගනුදෙනු කිරීම පවා ලැජ්ජා සහගත බවත් ‘සිංහල රාවය’ සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඊයේ ප්‍රකාශ කළහ.

මහාධිකරණ විනිසුරුවරියන් හා උසස් පොලිස් නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා කළ සංවාද ඇතුළත් හඬපට මාධ්‍යවේදීන් හමුවේ මුදා හරිමින් උන්වහන්සේ ඊයේ එසේ ප්‍රකාශ කළහ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ. “එක්තරා මහාධිකරණ විනිසුරුවරියක් තමාට අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලබා ගැනීම සඳහා රන්ජන් රාමනායක හමුවේ කරන බැගෑපත් ආයාචනා කිරීම් මේ හඬපටවල තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධව අධිකරණයේ නඩු තිබෙන පුද්ගලයකු සමඟ මහාධිකරණ විනිසුරුවරියක මෙලෙස ගනුදෙනු කිරීම ලැජ්ජා සහගතයි. පුද්ගලයන් අත්අඩංගුවට ගන්න, නඩු පවරන්න, හිරේ දමන්න සහ මරණීය දණ්ඩනය නියම කරන්නත් රන්ජන් රාමනායක පොලිස් නිලධාරීන්ට හා විනිසුරුවරුන්ට උපදෙස් දෙනවා.

තමන් ඒ උපදෙස් අනුව කටයුතු කළ බව පවසමින් මහාධිකරණ විනිසුරුවරියක් ඒ වෙනුවට උසස්වීම් ලබාදෙන ලෙස රන්ජන් රාමනායකට ආයාචනා කරනවා. මේ අනුව අධිකරණයේ ස්වාධීනත්වය ගිලිහී ගොස් තිබෙනවා. විනිසුරුවරුන් රන්ජන් රාමනායක ඉදිරියේ තම ආත්මය පාවාදී තිබෙනවා. උසස් වීම් වෙනුවෙන් ඉහළ මැති ඇමැතිවරුන් හා නිලධාරීන් සමඟ රන්ජන් රාමනායක සාකච්ඡා කිරීමට පොරොන්දු වන සංවාද අප ළඟ තිබෙනවා. එසේ නම් මෙම විනිසුරුවරියන් මීට පෙර දුන් නඩු තීන්දු නැවත සලකා බැලිය යුතුයි. සමහරුන්ට දුන් මරණ දඬුවම් දේශපාලන තීන්දුවක් ලෙස අපට හැඟෙනවා. එසේ නම් ජනාධිපති සමාව ලබාදී දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. සමහර පුද්ගලයන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීම සඳහා මන්ත්‍රිවරයා රහස් පොලිසියේ එවකට සිටි ජේ‍යෂ්ඨ නිලධාරීන් සහ පොලිස් ප්‍රධානීන් සමඟ කරන ලද සංවාද පවා එහි තිබෙනවා” යැයිද සුදත්ත හිමියෝ පැවැසූහ.

පසුගිය රජය සමයේ විනිසුරුවරුන්ට පොලිස් නිලධාරීන්ට සහ තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා කටයුතු කළ ආකාරය මේ වනවිට අපූරුවට හෙළි වී ඇති බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය. බලපත්‍ර රහිත ගිනි අවියක් තබා ගැනීම සහ නිල් චිත්‍රපට ළඟ තබාගැනීම වැනි සිල්ලර චෝදනාවලට මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව ඇතැම් පිරිස් පැවැසුවද පොලිසිය මෙම සිදුවීමට අදාළ කරුණු නිසි ලෙස වාර්තා නොකිරීම හේතුවෙන් එවැනි වැරැදි මතයක් සමාජගත වූ බවත් ගම්මන්පිල මන්ත්‍රිවරයා පැවැසීය. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී ඔහුගේ ජංගම දුරකථනයක් හමුවූ බවත් ඔහුගේ ජංගම දුරකථනයට පැමිණෙන ඇමතුම් ස්වයංක්‍රියව පටිගත වන ‘ඇප්’ එකක් එහි තිබූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය. එම ‘ඇප්’ එක මඟින් පටිගත කළ දුරකථන සංවාද පරීක්ෂා කිරීමේදී පසුගිය රජය සමයේ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විනිශ්චයකාරවරුන්ට, පොලිසියේ උසස් නිලධාරීන්ට සහ තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට බලපෑම් කළ ආකාරය සටහන් වී ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රිවරයා කීවේය.

මෙම දුරකථන සංවාදවලට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට අමතරව පසුගිය රජයේ තවත් ප්‍රබලයන් රැසක් මෙලෙසින්ම අධිකරණයට සහ පොලිස් ප්‍රධානීන්ට සිදුකළ බලපෑම් පිළිබඳ හඬ පට ඇතුළත් බවද මන්ත්‍රිවරයා මෙහිදී අනාවරණය කළේය. රන්ජන් රාමනායක මහතාගේ සමීපතම මිත්‍රයකු පවසා ඇත්තේ ඔහු මෙලෙස දුරකථන ඇමතුම් පටිගත කරමින් දුරකථනයේ මතක ගබඩාව පිරී ගියපසු එම සංවාද සීඩී තැටිවල පිටපත් කර ඒවා ළඟ තබාගෙන සිටිනා බවයි. ඔහු උසස් පොලිස් නිලධාරියකුට මේ පිළිබඳ තොරතුරු සපයා ඇති බවද මන්ත්‍රිවරයා කීවේය. පසුගිය රජය සමයේ රජයට මිලියන ගණනක් පාඩු සිදුකරමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (06දා) කොළඹ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදී ඉන් පිටතට පැමිණි මන්ත්‍රිවරයා මේ බව පැවැසීය. බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් කර ඇති දුරකථන සංවාදය ගැනද සඳහන් කළේය. එහිදී රන්ජන් එවක සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයාට කියන්නේ “අපි හොඳ යාළුවෝ කියලා. ඒ වගේම රණවක මිස්ට කතා කරන්න එපා කියලත් රන්ජන් රාමනායක මහතාට කියනවා. ශානි අබේසේකර, පත්මිණි රණවක මහත්මියට කිසි දෙයක් නොකියන ලෙසත් ඒ හඬ පටයේ ශානි අබේසේකර කියනවා. ඒ වගේම වඳින්නම් කියලත් කියනවා. ශානි අබේසේකර රණවක මිස්ට කිසිවක් නොකියන්න කියල එහිදී රන්ජන් රාමනායකට කියනවා. මෙහෙම දුරකථන සංවාදයක හඬ පටයක කොටසක් ඉදිරිපත් කරමින් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා – දැන් ශානි මායි ඔයයි යාළුවෝ. අපි කාලෙක ඉඳන් දන්නවා. මගෙන් මොනවා හරි මිස්ෆයර් එකක් වෙලා තියෙනවද? මගෙන් මොකක්ද වෙලා තියෙන්නේ මේ නඩුවට.

ශානි අබේසේකර – ඔව්… ඔව්… සර් රණවක මැඩම්ට කතා කරපු එක ලොකු ප්‍රශ්නයක්. සර් කතා කළා මෙහෙම මෙහෙම කියලා. ඕවා අනිත් ජජ්ට එහෙම පත්තු වුණොත් එහෙම. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා – නෑ… නෑ…. එතන ඉන්නේ පද්මිණි රණවක ගුණතිලකයි, අනිත් ඔය මෙයාගේ නම් ටික කිව්වා. ඔව් මොරායසුයි මෙයයි. උන් උන් ජෙනුයින් අය එහෙම වෙනවා කියලා නම් ආරංචියක් නැහැ. දුමින්දට කෙළවෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ කියලා කිව්වා. එයාගෙන් ආව එක වෙනයි, මේ ආපු එක වෙනයි හින්දා මම එතන නිකං සද්ද වහලා හිටියා. ශානි අබේසේකර – දැන් නම් කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා. “සර්ගේ ගෙදර ඇවිල්ලා කුලී වැඩ කරන්නම්, මේ නඩුව ඉවර කරගන්න ඕනි.

රන්ජන් රාමනායක – අපි දෙන්නාගේම ඉලක්කය අරයව යවන එකනේ. ශානි අබේසේකර – එකම අරමුණ සර්… ශානි අබේසේකර – දැන් බලන්න සර් හිරු එකේ ප්‍රවෘත්තියක් යනකොට එක්නැලිගොඩ හරි මොකක් හරි නඩුවක. කාටද ගහන්නේ කියලා. ශානි අබේසේකර- සර්. රණවක මිස්ට කතා කරන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම කතා කරන එක හොඳ නැහැ. රන්ජන් රාමනායක – එතන ඉන්න මිස්ට මං නම් ටික කිව්වා. ඒ වගේම දුමින්දට කෙළවෙන එක ගැන කිව්වා. එච්චරයි. ශානි අබේසේකර – දැන් කිසිම කෙනෙක් ගැන කතා කරන්න එපා. සර්ගේ ගෙදර කුලී වැඩ කරන්නම්. රන්ජන් රාමනායක- අපි දෙන්නගෙම ඉලක්කය අරයව හිරේ දාන එකනේ.

ශානි අබේසේකර සී.අයි.ඩී අධ්‍යක්ෂ ඔවුන් දෙගොල්ලන්ගේම අරමුණ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම කියලත් කියනවා. එහිදී බොහොම පැහැදිලිව පේනවා නීතිය කුඩු පට්ටම් කරලා කියලා. ඒ වගේම විනිසුරුවරුන්ට රන්ජන් රාමනායක දුරකථන ඇමතුම් දීලා බලපෑම් කරන ඒවා වෙනවා. ඒ වගේම විභාග වන නඩුවල සැකකරුවන් හිරගෙදර යවන්න මෙම හඬපටවල සාකච්ඡා කරනවා. වැරදි නොකරපු මිනිසුන් හිර ගෙදර යවන එක තමයි කරල තියෙන්නේ මේ පසුගිය ආණ්ඩුවම. ශානි අබේසේකර අදත් පොලිස් දෙපාර්තමේන්තුවේ. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් ඔවුන්ට ඒ අයට අවශ්‍ය අය රිමාන්ඩ් කළා. ඒ බව මේ හඬ පටවලින් හෙළිවෙනවා. යහපාලනයේ කෙරුවාව මේ හඬ පටවලින් පේනවා. ඉතිං බොහෝම පැහැදිලිව අපි කියනවා මේ හඬපට ගැන බොහෝම පැහැදිලිව පරීක්ෂණ කරන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා” ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ඊයේ තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේද සඳහන් කළේය.

“රන්ජන් රාමනායක කියන්නේ එක්තරා ආකාරයකින් මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්. ඒ ව්‍යාධිය තමයි ඔහු බලගතු පුද්ගලයන්ට කතා කරනවා. විනිසුරුවරුන්ට, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කතා කරනවා. පොලිසියේ, සීඅයිඩී එකේ ඉහළ නිලධාරීන්ට කතා කරනවා. දේශපාලනඥයන්ට කතා කරනවා. ඔහු මේ කතා සියල්ල පටිගත කරලා සීඩීවලට ඇතුළත් කරලා තමන් ළඟ තියාගෙන ඉන්නවා. මට ලැබුණා රන්ජන් රාමනායක සහ සීඅයිඩී එකේ ශානි අබේසේකර අතර හඬ පටයක්.

(හඬ පටය විකාශය කරමින්….) රන්ජන්: මගේ ප්‍රශ්නේ ශානි මේකයි. ඔයාගෙත් ටාගට් එක දුමින්ද යවන එක. මගෙත් ටාගට් එක දුමින්ද යවන එක. භාරතගේ වයිෆ්ගේ ටාගට් එක දුමින්ද යවන එක. හිරුණිකාගේ ටාගට් එකත් දුමින්ද යවන එක. එතකොට අපේ පාර්ශ්ව සියල්ලගේම ටාගට් එක දුමින්ද යවන එක වෙලා. ඇයි අපි, අපි මේ හැප්පෙන්නේ. ඒ කියන්නේ රන්ජන් ඉන්නේ දුමින්දගේ පැත්තෙද? ශානි අබේසේකර: දෙයි හාමුදුරුවනේ එයත් එක්ක තමයි. අර ගෑනි රන්ජන්ට මගේ නොම්බරේ දීලා. රන්ජන් මට කතා කරන්නේ.” “දුමින්ද සිල්වාගේ නඩු විභාගයේ තීන්දුව එන්නට පෙර තමයි මේ දෙබස වී ඇත්තේ. එහෙම නම් ඇයි රන්ජන් රාමනායක ගැන තවත් වද වෙන්නේ..” තමා ප්‍රශ්න කරන බවද අජිත් ප්‍රසන්න කීවේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාසය තුළ තිබී හමු වූ හඬපට, සැකකටයුතු ලිපි ලේඛන සහ පිස්තෝලයට අදාළව සිදු කෙරෙන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (06දා) භාර කර තිබේ. මීට අදාළ විමර්ශනය කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මීට පෙර සිදු කරනු ලැබීය. අධිකරණය මඟින් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් මන්ත්‍රිවරයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අල්ලස් කොමිසමේ විමර්ශනවලට අදාළ සංවාද ඇතුළත් බවට සැක කෙරෙන දෘඪාංග තැටි, සංයුක්ත තැටි, ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝලයක් සහ ජීව පතොරම් 127ක්, සැකකටයුතු ලේඛන කිහිපයක් සොයා ගනු ලැබිණි. මන්ත්‍රිවරයා විසින් පොලිස් සහ අල්ලස් කොමිෂන් සභාවේ වැදගත් විමර්ශන සඳහා මැදිහත්වීමත් සිදු කර ඇතිද යන්න සහ ආණ්ඩුව කෙරෙහි අනාදරය හැඟීම් ඇවිස්සීම හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදුකිරීම සඳහා එම රජයේ නිලධාරීන් සමඟ කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සිදුකර ඇතිද යන්න කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කිරීමට නියමිතව ඇත. තවද බලපත්‍ර නොමැති ස්වයංක්‍රිය ගිනි අවියෙන් කිසියම් අපරාධයක් කර ඇද්ද යන්නද මෙහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබේ.