ගසාකෑම කියන වචනේ පගාව කියන වචනේ අපේ මිනිස්සුන්ට හුරු කරන්න දෙයක් නෑ එක ලේවලටම කාවදිලා තියෙන්නේ ලංකා සෝල්ට් ලිමිටඩ් යනු ලංකාවේ වැඩකරන ජනතාවට අයිතිය ඇති ආයතනයකි. එනම් මෙම සමාගමේ කොටස් අයිතියෙන් සියයට 90ක කොටස්වල හිමිකාරිත්වය ඇත්තේ සේවක භාරකාර අරමුදලටය. එම නිසා එවැනි සමාගමකට අයත් මුදල් කිසිවකු විසින් සොරකම් කරයි නම් හෝ අවභාවිතයට ගනී නම් එය නීතියෙන් දඬුවම් කළ යුතු වරදකි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ලුණු ලේවායන් අතරින් විශාලතම ලේවාය වන්නේ ලංකා සෝල්ට් ලිමිටඩ්ය. නමුත් පසුගිය පාලන කාලය තුළ බලපෑ ඇතැම් ක්‍රියා නිසා ලේවායේ පරිපාලන කටයුතු මෙන්ම එහි ක්‍රියාකාරිත්වයද දැඩි අර්බුදයකට ලක්විය. එසේම ලේවාය පාඩු ලබන තැනකට පත්විය. එහි මූල්‍ය කටයුතු මූල්‍ය පරිපාලනය නිසි ක්‍රමවේදයකට සිදුවූයේ නැත. විගණන වාර්තාද නිසි පරිදි සිදු වූයේ නැත. ඊට හේතු වූයේ දේශපාලනික පත්වීම් සහ නුසුදුසු පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත් කිරීම නිසා බවද වාර්තාවේ. මේ නිසා ලංකා සෝල්ට් ලිමිටඩ් පරිපාලන වශයෙන් මෙන්ම මූල්‍ය අතින්ද පරිහානියට ලක්වීම නතර කළ නොහැකි විය.

අතීතයේ සිට ක්‍රමවත්ව ලාභ ලබන මට්ටම දක්වා පැවැති ආයතනයක් යහපාලන සමයේ පැවැති දුර්වල පාලනයෙන් බිඳ වැටුණි. විශේෂයෙන්ම මෙම ලේවායේ විගණන වාර්තා ගැනද බරපතළ ගැටලු රැසක් මතු වී තිබේ. ඒ නිසා ක්‍රමවත්ව පවත්වාගෙන ආ ගිණුම්කරණ ක්‍රියාවලියද බිඳ වැටී ඇත. අතීතයේ සිටම ලේවායේ විගණන වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වනුයේ ඒවායේ කිසිදු ගැටලුවක් හෝ ප්‍රශ්නකාරී කිසිවක් නොමැති බවය. නමුත් 2017 සහ 2018 වසරේදී අදාළ ගිණුම් ගැන ප්‍රශ්න මතුව තිබේ. හොර පාරෙන් ලාභ අපේක්ෂා කොට පරිභෝජනයට නුසුදුසු ලුණු පැකට් වෙළෙඳපොළට දැමීම ආදී දේ කළා මිස 2017-2018 ගිණුම් වාර්තා පවා තවම ඉදිරිපත් කර නැත. ලංකා සෝල්ට් ලිමිටඩ් සතු ධ්ඉර්ණී තත්ත්ව සහතිකයද අවභාවිත කරමින් බාල වර්ගයේ ලුණු වෙළෙඳපොළට නිකුත් කර තිබිණි. මෙම බාල ලුණු ගැන හම්බන්තොට අපි සංවිධානය විසින් පාරිභෝගික සේවා අධිකාරියටත් ප්‍රමිති ආයතනයටත් පැමිණිලි කිරීමෙන් පසු ලුණු පැකට් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන තිබිණි. මේවාට විරුද්ධ වූ සේවකයන්ට තර්ජන ගර්ජන කරමින් ඔවුන්ව රැකියාවෙන් පවා ඉවත් කර තිබිණි. මේ අතර මූල්‍ය වංචා ගැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දී ඇත.

තවද ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයා සිදුකළ මූල්‍ය වංචා රැසක් මේ වන විට සොයාගෙන ඇත. ලංකා සෝල්ට් ලිමිටඩ් අදාළව 2018 වර්ෂය සඳහා නිකුත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ වාර්තාවට අනුව සභාපතිවරයාට සහ අධ්‍යක්ෂවරුන්ට ගෙවීම් හා දීමනා ගෙවිය යුත්තේ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ මත යැයි කියා ඇත. එසේම ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවද තිබිය යුතුය. නමුත් 2018 ජාතික විගණන කාර්යාලයේ වාර්තාවට අනුව ලංකා සෝල්ට් ලිමිටඩ්හි සභාපතිවරයා හා විධායක අධ්‍යක්ෂ මාසික වැටුප් දීමනා ලෙස පිළිවෙළින් රුපියල් 1,25,000 සහ රුපියල් 1,00,000ක දීමනා ලබාගෙන තිබේ. නමුත් ඒ සඳහා කිසිදු නිර්දේශයක් ලබාගෙන නැති බවටද එම විගණන වාර්තාවේ ඇමුණුම් අංක 3:1හි සඳහන් වෙයි. රාජ්‍ය සේවකයකු ලෙසද සිටින අතරතුර ලංකා සෝල්ට් ආයතනයේ සභාපති ධුරයද දැරූ හිටපු සභාපතිවරයා එම ආයතන දෙකෙන්ම වැටුප් දෙකක් ලබා ගැනීම සඳහා කිසිදු අනුමැතියක්ද ලබාගෙන නැත. එම නිසා හිටපු සභාපතිවරයා ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයට බරපතළ මූල්‍ය වංචාවක් කර ඇති බවද කියැවෙයි.

ස්ථීර තනතුරක් දැරූ සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට එම ආයතනයෙන් වෙනත් අමතර මුදල් ලබා ගැනීම නීතියෙන් තහනම්ය. නමුත් මේ දෙදෙනා සංග්‍රහ වියදම් යැයි කියා ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයෙන් මාසිකව රුපියල් 10,000- 20,000 බැගින්ද ලබාගෙන ඇති බව 2018 වසරට අදාළ ජාතික විගණන කාර්යාල වාර්තාවේ සඳහන් වෙයි. එසේම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගිවීමට දීමනා ලබාගැනීම නීතියෙන් තහනම්ය. නමුත් හිටපු සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා මාසිකව ඒ සඳහා රුපියල් 25,000 බැගින් ලබාගෙන ඇත. ඒ බව ජාතික විගණන වාර්තාවේ 3:3 සඳහන් කර ඇත. තවද අධ්‍යක්ෂ මණ්ඩලයට සහභාගි වීමේදී ගෙවනු ලබන මුදලින් බදු මුදල් අඩුකර ගෙවිය යුතු වුවත් ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනය විසින් කිසිදු බදු මුදලක් අඩු නොකර ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාල වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව එම බදු මුදල්ද නොගෙවා රජයට බදු වංචාවක් කිරීමට හිටපු සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයද කටයුතු කර ඇතැයි එම වාර්තාවෙන් කියැවෙයි. ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනය සතුව නිෂ්පාදනය සහ අලෙවිය සඳහා අවශ්‍ය ලුණු තොග තිබියදී ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලුණු මෙටි්‍රක් ටොන් 13,548.28ක ප්‍රමාණයක් රුපියල් 268,637,460.00 ක මුදලක් වැය කොට ලුණු නිෂ්පාදනයට කිසිදු සම්බන්ධතාවක් නැති සිටි ට්‍රාන්ස්පෝට් නමැති ආයතනයෙන් සහ සන්රිෆ් ට්‍රේඩර්ස් ආයතනවලින් මිලදී ගෙන තිබේ.

මේ ආකාරයට මිලදී ගත් ලුණු තොග නිෂ්පාදන කටයුතු සඳහා කිසිදු ප්‍රමිතියක් නැති බවද කියැවෙයි. ඒ අනුව රුපියල් කෝටි 27කට ආසන්න ලුණු තොග මිලදී ගැනීමේ සැබෑ අලාභය තවත් ඉහළ අගයක් ගන්නා බවද ජාතික විගණන වාර්තාවේ සඳහන් කර ඇත. මෙම මුදල ගෙවා ඇත්තේ ලුණු ලබාගැනීමට අත්තිකාරමක් ලෙසිනි. මෙම ගනුදෙනුවේදී සමාගමේ බලධාරීන් විසින් සියලුම නීති රීති මෙන්ම සම්ප්‍රදායන්ද උල්ලංඝනය කර ඇත. ලුණු සම්බන්ධ විශාලතම රසායනාගාරය ඇත්තේ ලංකා සෝල්ට් ලිමිටඩ් සතුවය. නමුත් එසේ තිබියදී ප්‍රමිතියෙන් තොර ලුණු තොග ගෙනැවිත් පරීක්ෂා කොට වාර්තා ලබාගෙන මුදල් ගෙවීම නොකරයි කියා බිය වී අදාළ ලුණු තොග ආයතනය වෙත ගෙන ඒමට පෙර මුදල් ගෙවා තිබේ. මෙම ගනුදෙනුවේදී භාණ්ඩ මිලදී ගැනීමේ ඇණවුම් හා භාණ්ඩ ලැබීමේ පත් නිකුත් කර නැතැයිද වාර්තා වේ. එසේම සමාගම සතුව පැවැති 57-1454 දරන කැබ් රථය විකිණීම සඳහා කිසිදු ටෙන්ඩරයක් කැඳවා නැතැයිද කියැවෙයි. එම කැබ් රථය මිලදී ගෙන ඇත්තේ හිටපු සභාපතිවරයාටය. අදාළ විකුණුම් තක්සේරුව සභාපතිවරයාට වාසි පරිදි ගෙන ඇත. අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවද හිටපු සභාපතිවරයා විසින්ම සකස් කොට ඇත. ඔහු විසින්ම එය අනුමත කරගෙන පැවැරුම් හා පැවැරුම්ලාභියා ලෙස ඔහුම අස්සන් කර ඇත. වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩුවෙන් කැබ් රථය මිලදී ගෙන පිළිගත් ගනුදෙනු සම්ප්‍රදායක් කඩ කිරීමටද හිටපු සභාපතිවරයා කටයුතු කර තිබේ.

හිටපු සභාපතිවරයා ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයට මේසා මූල්‍ය වංචාවන් දිගින් දිගටම සිදුකරන විට ආයතනයට රුපියල් කෝටි 30කට වඩා අලාභයක් කර ඇතැයිද චෝදනා එල්ල වෙයි. 2017 වසරේදී හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන විට පවත්වන ලද උද්ඝෝෂණයේදී මහජනතාවට ස්වාමීන් වහන්සේලාට පහරදීමට මූලික වී ඇත්තේද ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයා යැයි එහි සේවකයෝ කියති. ඒ පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ පට ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇතැයි සේවකයෝද කියති. මේසා මූල්‍ය වංචාවක් කළ හිටපු සභාපතිවරයාට තවම නීතියෙන් දඬුවමක් නැතැයිද ‘හම්බන්තොට අපි’ සංවිධානය පවසයි. ලංකා සෝල්ට් ලිමිටඩ් යනු වැඩකරන ජනතාවගේ ආයතනයකි. එහි සියයට 90ක කොටස් හිමිවන්නේ ජනතාවට නම් සේවක භාරකාර අරමුදලට නම් එය රැකගැනීම වැඩකරන ජනතාවගේද යුතුකමකි. ඒ නිසා ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයේ සිදුවී ඇති බරපතළ මූල්‍ය වංචාවන් සොයා එය කළ අයට නිසි දඬුවම් දෙන ලෙසද හම්බන්තොට අපි සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රගීත් සම්පත් කරුණාතිලක