ලංකාවේ ටීම් එක ගොඩ දන්නා ආපු හතුරු, හතුරු වෙලාම යන්න ගිහින් මිනිහා ජාතික ක්‍රිකට් පුහුණු කරු ධුරයෙන් ඉවත් කළා කියලා මිනිහා වන්දි ඉල්ලනවලු හතුරු ආයේ මිතුරු වෙන්නේ නැතිවෙයි වගේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නෙරපා හරින ලද ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිටිමින් ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික බේරුම්කාර අධිකරණයට පැමිණිලි කර තිබේ. නියමිත කාලයට පෙර තමන් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා මෙම වන්දිය ඉල්ලා තිබේ. ඩොලර් මිලියන 5 ක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 900 ක් හෙවත් කෝටි 90 කට වැඩි මුදලකි. පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා මාර්ගයෙන් එම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළහ. නමුත් සාකච්ඡා අසාර්ථක විය. පසුව හතුරුසිංහට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්විණ.

එහෙත් ක්‍රීඩකයන්ගේ සහ කණ්ඩායම් නිලධාරීන්ගේ සාක්ෂි පදනම් කරගනිමින් විනය පරීක්‍ෂණය පැවැත්විණ. මෙම විනය පරීක්‍ෂණයේ නිගමනය හතුරුසිංහ මහතාට බෙහෙවින් අවාසිදායක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. එබැවින් හතුරුසිංහ මහතා පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට තරම් සාධාරණ කරුණු තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික බේරුම්කාර අධිකරණයට කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවත් දැනගන්නට ඇත. “පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනමකට ලක්වූ ලෝකයේ පළමු වැනි පුහුණුකරුවා ඔහුයි. ඇරත් කණ්ඩායම තුළ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ප්‍රසාදයට පත්වෙන්න බෑ… කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඒ සම්බන්ධයේ සාක්ෂි දීලා තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලද නමුත් හතුරුසිංහ මහතාට දිගින් දිගටම වැටුප් ගෙවනු ලැබිණ. එහෙත් විනය පරීක්‍ෂණයෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඔහුගේ වැටුප් ගෙවීම නතර කරන ලදි. හතුරුසිංහ මහතා තම සේවාදායකයාට අභියෝග කරන්නේ ඉතිරි මාස 18 කාලය සඳහාත් තමන්ට හිඟ වැටුප් ගෙවියයුතු බව කියමිනි. මාසයකට ඇමරිකානු ඩොලර් 60,000 ක් බැගින්, මාස 18 ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක්ද හතුරුසිංහ මහතා ඉල්ලා සීටී. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 20 කට ආසන්න මුලදකි. කෙසේ වෙතත් ඔහු වන්දි වශයෙන් ඉල්ලා සිටින ඩොලර් මිලියන 5 ක මුදලට ඔහුගේ හිඟ වැටුපත් ඇතුළත් වී ඇතැයි කියැවේ. පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට පසුව, ඩොලර් 60,000 ක් බැගින් මාස හයක වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කළ නමුත් හතුරුසිංහ මහතා ඊට එකඟ නොවීය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හය හමාරකට ආසන්න මුදලකි. ලෝක කුසලන තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා පිල ඉවත් වීමෙන් පසුව හතුරුසිංහ මහතාට ගෙවනු ලබන වැටුප නියමිත ප්‍රමාණයට වඩා වැඩි යයි කියමින් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලකරන ලද්දේ හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාය.