ලංකාව කියන පුංචි රටේ ලස්සන්න සෙට් එකක් ගැන මේ කතාව බැලුවට පස්සේ ඔයාටත් පුදුම හිතේවි ඇත්තටම මෙහෙම අය ඉන්නවා නේද කියලා බලන්නකෝ මේ කතාව සීෂෙල්ස්හි මුළු ජනගහනය 98,000කි. විශාලතම දූපත මහේය. එහි පිහිටි වික්ටෝරියා නගරය සීෂෙල්ස්හි අගනගරය වන අතර එය සියවස් එකහමාරකට පෙර පිහිටුවන ලද්දකි. මුළු ජනගහනයෙන් සියයට 86ක් පමණ වාසය කරන්නේ මහේ දූපතේය. දූපත් 115න් දූපත් 5ක පමණ සෙසු ජනගහනය ජීවත්වන අතර තවත් දූපත් කිහිපයකම සංචාරක හෝටල් ඉදිකර ඇත. ඒ්වා සංචාරක පාරාදීසයන්ය. කුරුලු දූපත මෙන්ම ඩෙනිස් දූපත සහ ඩෙරොෂ් දූපත ඇතුළු සෑම දූපතක්ම ආශ්චර්යවත් ස්ථානයන්ය. වැලි සහිතව වෙරළ තීරයේ පිහිටීම සිත් ඇදගන්නා සුලුය. උද්භිද උද්‍යාන සහ මුහුදේ කොරල් නරඹමින් ඔබමොබ සැරිසරන සංචාරකයන් දහස් ගණනක් දැකගත හැකිය. අන්තර් දූපත් රැසක් බෝට්ටු සහ කුඩා ගුවන්යානා මඟින් සංචාරය කිරීම බොහෝ සංචාරකයන් විසින් සිදුකරනු ලබන්නකි. සීෂෙල්ස් යනු ලොවක් තුළ තවත් ලොවකි. ලොව විශාලතම හිරිගල් දිවයිනත් ඇත්තේද සීෂෙල්ස්හිදීය. විශාල මත්ස්‍ය විවිධත්වයක් මෙන්ම විශාල ඉබ්බන්ද දැකිය හැකිවීම මෙහි විශේෂයකි. ලොව හොඳම වෙරළ තීරයන් අතරටද එය එක්ව ඇත. දිය යට කිමිඳීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ලොව වටා සංචාරකයන්ගේ නෙත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇති සීෂෙල්ස්හි ප්‍රධාන ආදායම සංචාරක කර්මාන්තය වේ. එය ආර්ථිකයෙන් සියයට 90ක පමණ දායකත්වයකි. එමෙන්ම මත්ස්‍ය කර්මාන්තයටද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඇමෙරිකන් ඩොලර් 1ක් සීෂෙල්ස් රුපියල් 15කි.

බි්‍රතාන්‍යයෙන් සීෂෙල්ස් රාජ්‍යය නිදහස ලැබුවේ 1976දීය. වසර 1812 බි්‍රතාන්‍ය යටත් විජිතයක් බවට සීෂෙල්ස් පත්වීමට පෙර එහි පාලනය 1756 සිට ප්‍රංශය සතුව පැවැතිණි. සීෂෙල්ස් රාජ්‍යයේ වර්තමානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2,200ක් පමණ වේ. එය මුළු ජනගහනයෙන් සියයට 2.5ක් පමණ වේ. එහෙත් නිල වාර්තා අනුව සීෂෙල්ස්හි ජීවත්වන සහ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 1,827කි. වාර්තා වන අන්දමට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 75ක් පමණ සිංහලය. සියයට 20ක් පමණ දෙමළය. සෙසු පිරිස මුස්ලිම් ඇතුළු විවිධ ජනවර්ගයන්ට අයත්ය. සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට 2019 වාර්තා වී ඇති දරු උපත් සංඛ්‍යාව 12කි. එමෙන්ම ඉකුත් වසර 4 තුළ සීෂෙල්ස් මහ කොමසාරිස් කාර්යාලයට ඔවුනගේ බල ප්‍රදේශය වන සීෂෙල්ස් ඇතුළු අසල්වැසි රටවල් වන මැඩගස්කරය, මුරුසු දිවයින සහ කොමරෝස් යන රටවලින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 8කි. සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ආරම්භ කරන ලද්දේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2014 ජූනි 28 වැනිදාය. එම අවස්ථාවට සීෂෙල්ස්හි ජනාධිපති ජේමිස් ඒ. මිචෙල් සහභාගි වූ අතර වර්තමානයේදී දෙරට අතර ඇත්තේ සමීප සබඳතාවකි.

ප්‍රථම ශ්‍රී ලාංකික පිරිස සීෂෙල්ස් දිවයිනට පැමිණ ඇති බව කියනු ලබන්නේ 1967දීය. ශ්‍රී ලංකාවේ කළුතර පයාගල ධීවරයන් 6 දෙනකු එසේ පැමිණ ඇත්තේ රුවල් නැවකිනි. ඉන් දෙදෙනකු වර්තමානයේද සීෂෙල්ස්හි ජීවත් වේ. එක් අයකු ඩග්ලස් ඉමදුවය. සීෂෙල්ස් ජාතික කාන්තාවක් සමඟ විවාහ වූ ඩග්ලස් තිදරු පියෙකි. ඔහුගේ එක් පුත්‍රයකු ගුවන් නියමුවෙකි. දියණිය ගණකාධිකාරිවරියකි. වර්තමානයේ සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් පසුව රැකියා සහ ව්‍යාපාර කටයුතු සඳහා මෙන්ම ඥති සබඳතා මතද පැමිණි අයවේ. ඔවුහු දෙවැනි සහ තෙවැනි පරම්පරාවට අයත්ය. රැකියා ක්ෂේත්‍රයේ නිරත අයගෙන් බහුතරය අධිකරණ, වෛද්‍ය, අධ්‍යාපන, සංචාරක, ව්‍යාපාරික, ඉන්ජිනේරු, බැංකු, සෞඛ්‍ය වැනි විවිධ විද්වත් ක්ෂේත්‍රයන්ට අයත්ය. එම පිරිස 450ක් පමණ වේ. අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිසුරුවන් ඇතුළු පිරිස 10 දෙනෙකි. ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වැනි විෂයයන් උගන්වන විද්වත් ගුරුවරුන් සංඛ්‍යාව 42කි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවයේ යෙදෙන සංඛ්‍යාව දහසක් පමණය. කළමනාකරුගේ සිට කාමර පිරිසුදු කරන්නන් දක්වා එයට අයත්ය. එම සැමට වෘත්තියට සරිලන ඉහළ වැටුපකි.

මහනුවර මැදවෙල උපන් අජිත් බණ්ඩාර (50) ලේඛකයා හමුවූයේ සීෂෙල්ස්හි එකම සරසවිය පිහිටි අන්සේ රෝයල්හිදීය. නුවර සිල්වෙස්ටර් විදුහලේ අධ්‍යාපනය ලත් අජිත් සීෂෙල්ස් සරසවියේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන අංශයේ ප්‍රධානියාය. ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරි රසිකා බස්නායක සමඟ වසර 2004දී විවාහ වූ අජිත් සීෂෙල්ස් පැමිණියේ 2006 මාර්තුය. සිය දියණියන් වන ඉමායා (14) සහ ඔරලි (07) සමඟ සීෂෙල්ස්හි ජීවත්වන ශ්‍රී ලාංකික පවුල් පිළිබඳව කතා කළේ මහත් අභිමානයකිනි. එමෙන්ම ධීවර කර්මාන්තය ආශ්‍රිතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවද සුළුපටු නොවේ. ඔවුහු එම ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවන අතර බහුදින ධීවර යාත්‍රාවන්හි සේවය කරති. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ බහුදින ධීවර යාත්‍රාවන් 40ක් පමණ එහි ඇත. එමෙන්ම තවත් ධීවර යාත්‍රා 15ක් පමණ ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. එක් යාත්‍රාවක මිල රුපියල් කෝටි 5කට ආසන්නය. අශ්වබල 325ක ධාරිතාවකින් යුත් එවැනි යාත්‍රාවක ටොන් 15,000කට ආසන්න නෙළාගත් මත්ස්‍ය සම්පත ගබඩා කළ හැකි බව කියති.

සීෂෙල්ස් දිවයිනට 1996දී අන්තර්ජාලය හදුන්වා දුන්නේද ශ්‍රී ලාංකිකයෙකි. ඒ වර්තමානයේ මුල්පෙළේ ව්‍යාපාරික මුදිත ගුණතිලකය (44). කළුතර උපන් මුදිත එරටට පැමිණියේ 1988දීය. ඒ ගුරුවරියක් වූ සිය මව රූපා, කෑගල්ල ග්‍රාමීය සංවර්ධන අධ්‍යක්ෂකවරයකු වූ පියා ෂාන් සහ නැඟණිය ජීවනී සමඟය. බි්‍රතාන්‍යයේදී ඉන්ජිනේරු උපාධිය හැදෑරූ මුදිත පසු කලෙක ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තෙකි. සිය කාර්යාලයේදී ලේඛකයා සමඟ සිය දිවි ගමනේ සාර්ථකත්වය පිළිබඳව ඔහු ආවර්ජනය කළේ නිහතමානීවය. ඔහු සතුව සමූහ ව්‍යාපාර රැසකි. ඒ්වායේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායකද ඔහුය. සීෂෙල්ස්හි ධීවර කර්මාන්තයේ නිරත වන ප්‍රමුඛ ව්‍යාපාරිකයකු ලෙස මුදිත ගුණතිලක ප්‍රචලිතය. දෙරටේම ධීවර ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් රැසක් සංවර්ධනයට අතහිත දෙන ඔහුගේ ව්‍යාපාරයට සේවකයන් 123ක් එක්ව සිටින අතර ඉන් 71ක් ශ්‍රී ලාංකිකයන්ය. ඔහුට අයත් බහුදින යාත්‍රාවල පමණක් සේවය කරන සංඛ්‍යාව 250කට ආසන්නය. ඔහුගේ ව්‍යාපාරය යටතේ නෙළාගන්නා මත්ස්‍ය සම්පතට ඇමෙරිකාව, යුරෝපය සහ මැදපෙරදිග රටවල ඇත්තේ ඉහළ වෙළෙඳපොළකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ටිකිරි බණ්ඩාර හේරත්ය. මහ කොමසාරිස් කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරිනි තරුෂි ගුණතිලක වන අතර සීෂෙල්ස්හි ලාංකිකයන්ගේ දුක සැප මෙන්ම අයිතීන් පිළිබඳව ඔවුන්ගේ මැදිහත්වීම ඉහළය. මහේ දූපතේ ලාංකිකයන් අති බහුතරය ජීවත් වන අතර 200ක් පමණ දෙනා ප්‍රාලේන් සහ ලඩෙක් දූපත්වල ජීවත් වෙති. සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පරිපාලනයට මැඩගස්කරය සහ මුරුසියද අයත් වේ. මැඩගස්කරයේ සිටින ලාංකිකයන් සංඛ්‍යාව 10,000ක් වන අතර ඔවුහු මැණික් කර්මාන්තය සහ ඒ ආශ්‍රිතව නිරත වේ. ඉන් සියයට 90ක් පමණ මුස්ලිම් ජාතිකයන්ය. මුරුසියේ සිටින ලාංකිකයන් සංඛ්‍යාව 5,000කි. සියයට 80ක් සිංහල ජාතිකයන්ය. ඉන් සියයට 90ක් ඇඟලුම් කර්මාන්තයේ සේවකයන්ය. බහුතරය කතුන්ය, සීෂෙල්ස්හි සිට මැඩගස්කරයට හෝ මුරුසියට ගුවන් ගමන් කාලය පැය දෙක හමාරකි.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් ඉදිකිරීම සඳහා එරට රජය මඟින් අක්කර තුන්කාලක භූමිභාගයක් පාර්ලිමේන්තුව ඉදිරිපිටින් නොමිලේ ලබාදීමට කටයුතු කරගෙන යයි. වසර 2020 මුල්ගල් තැබීමට යෝජිත එම මූලස්ථානය සඳහා ඇස්තමේන්තු මුදල සීෂෙල්ස් රුපියල් කෝටි 10කි. දැනට මහ කොමසාරිස් කාර්යාලයද තානාපති නිවෙසද තානාපති කාර්යාල නිලධාරිනියගේ නිවෙසද කුලී පදනමක් මත ලබාගෙන ඇති අතර ඒ සඳහා මාසිකව වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් 14,000කි. වසර 4ක් වැය වන කුලී මුදලින් තානාපති කාර්යාලයේ අපේක්ෂිත වියදම ප්‍රතිපූර්ණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. සීෂෙල්ස්හි සමාරම්භක ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසළ වීරකෝන්ගේ මඟපෙන්වීම අනුව 2015 පිහිටු වූ සීෂෙල්ස් බෞද්ධ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව වර්තමානයේ 500ක් පමණ වේ. එමඟින් මෙහෙයවන ආගමික වැඩසටහන් රැසකි. සීෂෙල්ස්හි ශ්‍රී ලංකා දහම් පාසලේ විශාල සිසු පිරිසක් අධ්‍යාපනය ලබන අතර එහි ආචාර්ය මණ්ඩලයට අනෝමා මුතුකුඩ, නදීෂ් පෙරේරා සහ ඉමාලි ඇතුළු කිහිපදෙනෙක් අයත්ය. ඔවුහු ස්වේච්ඡාවෙන් එම කටයුත්තට උරදී ඇති අතර ශාලා පහසුකම් සඳහා අනුග්‍රහය ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරික මුදිත ගුණතිලකගෙනි.

සීෂෙල්ස්හි රැකියා ලබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ක්‍රම 2කි. එකක් ඒජන්සිකරුවන් හරහාය. අනෙක දැනහැඳුනුම්කම් මතය. ඒජන්සිකරුවන් නිල නොවන අන්දමින් රැකියාලාභීන්ගෙන් ලබාගන්නා මුදල රුපියල් ලක්ෂ 2 සිට 5 දක්වාය. එහෙත් රජයේ නියමිත ගාස්තුව රුපියල් 115,000කි. එවැනි නීති විරෝධීව මුදල් අයකරගත් කඩවත ඒ්ජන්සියක් ඉකුත් වසරේ තහනමට ලක්කළ අතර තවත් ඒ්ජන්සි 2ක් ක්‍රියාත්මකය. සීෂෙල්ස්හි මහ කොමසාරිස් කාර්යාලයට වසරකට ශ්‍රී ලාංකිකයන්ගෙන් පැමිණිලි 20ක් පමණ ලැබෙන අතර එම කම්කරු ආරවුල් දෙපිරිසේම සහයෝගය මත විසඳනු ලැබීය. මහනුවර උපන් විපුල් සී. කණුමලේ (48) ලේඛකයා හමුවූයේ වික්ටෝරියාවේහිදී ඔහුගේ කාර්යාලයේදීය. හෙතෙම වර්තමානයේ සීෂෙල්ස්හි ප්‍රවීණ ව්‍යාපාර කළමනාකරුවෙකි. දෙදරු පියකු වන විපුල් එරටට හෝටල් කළමනාකරුවකු ලෙස පැමිණියේ 1999 ජනවාරි 1 වැනිදාය. මාලදිවයින් ජාතික අහමඩ් ඩිඩ් සතු සීෂෙල්ස්හි සමූහ ව්‍යාපාර රැසක ප්‍රවීණ කළමනාකරු ඔහුය. අහමඩ් ඩිඩ් සතුව තරු පහේ පන්තියේ හෝටල් 2ක්ද, තරු 4 පන්තියේ හෝටලයක් ඇතුළු ව්‍යාපාර රැසකි. ඒ්වායේ සේවය කරන ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 200ක් වන අතර ඉන් 30ක් ඉහළ නිලධාරීන්ය. ශ්‍රී ලංකාවේ ලංකා හොස්පිටල්ස් වෙත හෘදරෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සීෂෙල්ස්හි වැසියන් 600ක් පමණ වාර්ෂිකව පැමිණෙන අතර ඒ්වා සම්බන්ධීකරණය කරන්නේද අහමඩ් ඩිඩ් සතු සමාගමක් මඟිනි.

සීෂෙල්ස් මුහුදු සීමාවේ අනවසරයෙන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදුණු ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු 22ක් ඉකුත් සිවු වසර තුළ එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් අතර ඉන් බෝට්ටු 2ක් තවමත් අත්අඩංගුවේ පසුවේ. ගැටලු නොමැතිවීම නිසා යළි ශ්‍රී ලංකාවට නිදහස් කළ බෝට්ටු සංඛ්‍යාව 3කි. සෙසු බෝට්ටු රාජසන්තක කර තිබිණි. අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකික ධීවරයන්ගෙන් 11 දෙනකු බඩිරෝස්හි රැඳවුම් කඳවුරේ දැනටමත් සිටිති. ඔවුහු බේරුවලින් පැමිණි ධීවරයන්ය. සිරදඬුවමට ලක්වූ එක් අයකු වසරක සිරදඬුවමකින් පසු යළි ශ්‍රී ලංකාවට පිටත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සිට සීෂෙල්ස් දූපතට අනවසරයෙන් මසුන් ඇල්ලීමට එන්නේ කෙළවල්ලා, මෝරු වැනි මත්ස්‍යයන් එම ඉන්දියන් සාගර කලාපයේ බහුල බැවිනි. ශ්‍රී ලංකාවේ සිට සීෂෙල්ස් මුහුදු සීමාවට ළඟාවීමට බෝට්ටුවකට දින 14ක් පමණ ගත වේ. කලාපය තුළ බෝට්ටු මඟින් මත්ද්‍රව්‍ය සහ ආයුධ ප්‍රවාහනයද, මිනිස් ජාවාරමද නිසා අනවසර බෝට්ටු පිළිබඳව සීෂෙල්ස් රජය නිරන්තර අවධානයෙන් පසුවේ.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා සංසදයේ හිටපු ලේකම්වරයකු වූ තුසිත සේරසිංහ වැලිමඩ උපන් අයෙකි. කඩුවෙල උපන් ඔහුගේ බිරිය අප්සරා සහ පුතුන් දෙදෙනා සමඟ සීෂෙල්ස් දිවයිනට ඔහු පැමිණියේ 2003 ජුනි 20 වැනිදාය. හෝටල් තාක්ෂණය පිළිබඳව අධ්‍යක්ෂවරයකු වන තුසිත ලක්ස් ස්ටාර් ක්‍රීඩා සමාජයේද සභාපතිය. ඔහුගේ බිරිය අප්සරා මෘදුකාංග ගුරුවරියකි. ඒම දෙපළගේ පුත්‍රයකු වූ තනුවන ආදිත් ලොව ළාබාලතම ගත්කතුවරයා වශයෙන් ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළත් වූ අයෙකි. ඒ් ආදිත් විසින් වයස අවුරුදු 3දී ප්‍රකාශයට පත්කරන ලද පිටු 30ක ග්‍රන්ථයක් හේතු කොටගෙනය. සීෂෙල්ස්හි ජාතික ක්‍රිකට් පුහුණු සංචිතයේ 15 දෙනාගෙන් 6 දෙනකු ශ්‍රී ලාංකිකයන්ය. ඔවුහු ලක්ස් ස්ටාර් ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් වන අතර එය 2014 රජයේ ලියාපදිංචිය. වාර්ෂිකව ලක්ස් ස්ටාර් ක්‍රීඩා සමාජය මඟින් ක්‍රියාත්මක වන වැඩසටහන් ගණනාවකි. එහි ලේකම්වරයා දහම් පාසල් ගුරුවරයකුද වන නදීෂ ගමගේය. සීෂෙල්ස්හි 2014 සිට පිහිටා ඇති ලංකා බැංකුවද ශ්‍රී ලාංකිකයන්ට යළි සිය මුදල් මෙරටට එවීමේදී අතිශයින් ජනප්‍රියය. එහි කළමනාකරු ලසන්ත දිසානායක ගැන බොහෝ දෙනා කතා කළේ සොම්නසිනි. ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 3,000කට අධික වන අතර ඉන් තුනෙන් එකක් පමණ ශ්‍රී ලාංකිකයන්ය. සෙසු අය එරට ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් වේ. එහි කාර්ය මණ්ඩලයේ 12 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකි. සීෂෙල්ස් ශාඛාව ඉහළම ලාභ ප්‍රතිශතයක් සෑම වසරකම පෙන්නුම් කරයි. ලංකා බැංකුවේ ශාඛාවන් සීෂෙල්ස්ට අමතරව බි්‍රතාන්‍ය, මාලදිවයින සහ ඉන්දියාවේ චෙන්නායි පිහිටා ඇත.

තිදරු පියකු වූ අනුරාධපුරයේ උපන් රන්බණ්ඩා ඒකනායක (77) වෘත්තියෙන් මිනින්‍ෙදා්රුවෙකි. වසර 1989 සීෂෙල්ස් නිවාස සංවර්ධන සංස්ථාවේ මිනින්‍දා්රුවකු ලෙස සේවයට පැමිණි ඔහුගේ වර්තමාන වාසස්ථානය වී ඇත්තේද එරටය. ඔහු පැමිණි 1989දී සීෂෙල්ස්හි සිටි ලාංකේය ජනගහනය 400ක් පමණ විය. වර්තමානයේ මිනිබිරියන් දෙදෙනකුගේ සීයා කෙනෙක් වන ඒකනායක කියා සිටියේ 1988 ආරම්භ වූ ශ්‍රී ලංකා සීෂෙල්ස්හි සංගමය ක්‍රියාකාරකම් රැසක් වාර්ෂිකව සිදුකළ බවය. වර්තමානයේ එහි සභාපති සුරංග ප්‍රනාන්දුය. සීෂෙල්ස්හි රැකියාවක නිරත වන නේවාසික ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු ගාමිණී ඇල්විටිගලගේ උපන් ගම හෝමාගමය. කොළඹ ආනන්ද විදුහල සහ පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයෙන් අධ්‍යාපනය ලැබූ ගාමිණී ගහකොළට මලට, වැලට, සතා සිවුපාවාට මෙන්ම කුරුල්ලන්ටද ආදරය කරන සුන්දර මිනිසෙකි. ගැමි පරිසරයේ නෑඹුල් සුවඳ ඔහුගේ සීෂෙල්ස් නිවෙසේ විහිදේ. සීෂෙල්ස් දූපතෙන් අප සමුගන්නා විට ගාමිණී ඇල්විටිගල කියා සිටියේ අලුත් ඉරක් යට හෙටක් සොයන ශ්‍රී ලංකාවට සීෂෙල්ස්හි ජීවත් වන ශ්‍රී ලංකිකයන්ගේ ආශීර්වාදය නොඅඩුව හිමිවන බවකි.