මේ අවුරුද්ද පටන් ගත්ත විදියනම් ටිකක් ප්‍රශ්න සහගතයි මොකද කියලා අමුතුවෙන්ම කියන්න ඕන නෑ නේ…. “හැම සති අන්තයකම ගෙදර ඇවිත් අපි ගැන බලපු මගේ රත්රං පුතා කවදාවත් අඩුපාඩුවක් කළේ නෑ. අනේ දෙවියනේ මගේ පුතාට මේ මොන අපරාදයක් ද වුනේ” පසුගියදා හපුතලේදී ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් නායක ගුවන්බට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චිගේ(30) මව පුෂ්පා අයිරාගනී මාතාව හඬාවැටෙමින් පැවසුවාය. ඇගේ විලාප හඬ අසා සිටින්නට තරම් අපහසුය. බැලූ ලැලූ හැම අත ඇත්තේ ශෝකී බවකි. නුවන්ගේ ආදරණීය බිරිඳ කිසිදු වදනක් නොකියා බලාසිටින්නීය. ඇගේ නෙතින් කඩා හැලෙන කඳුළු වල නිමක් නැත. තෙලිජ්ජවිල, වෙළඳගොඩ, මුරුතමුල්ල, අරඹෙගෙදර විසූ නුවන් සහෝදර සහෝදරියන් හතරදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාවිය. නුවන්ට එක් සහෝදරයකු හා සහෝදරියන් දෙදෙනෙකු සිටී. පවුලේ සියල්ලන්ගේ ආදරය මැද හැඩීවැඩුණු නුවන් පාසල් අධ්‍යාපනයෙන් පසු ගුවන් හමුදාවට බැදී ඇත්තේ කුඩාකළ සිට තම හිතේ තිබූ ආසව ඉටු කරගනිමින්.

මාතර පෞද්ගලික රෝහලක සේවය කරන ඩයනී චතුරිකා සමග විවාහවූ නුවන් අනාගත අරමුණු රැසක් සමග තම සේවය කරගෙන ගියේය. පවුලේ සියළුම දෙනාට මහත් ආදරයෙන් සැලකූ නුවන් ගමේ සියල්ලන් සමග පැවැත්වූයේ නොබිදුන සම්බණ්ධතාවයකි. මේ නිසාම නුවන්ගේ හදිසි වියෝව පවුලේ අයට පමණක් නොව මුළු ගමටම දරාගත නොහැකි වේදනාවක් බවට පත්ව ඇත. “දැන් ඉතිං වෙනදා වගේම මේකත් යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුවුන අනතුරක් කියා රටටම කියාවි. ටික දවසක් ඒ ගැන කතාකරාවි. අමතකකරල දාවි. අනේ ඉතිං අපි කාට කියන්නද? මේ ගමට වටින රටක් වටින කොල්ලා නැතිවුනේ අපිට. මේ පාඩුව දැණෙන්නේ අපිට” ගමේ වැඩිහිටියකු කියද්දී ඔහුගේ නෙතු අගින් කඳුළු රූරාවැටුනේය. තමි හිස දෑතින් වෙගයෙන් තදකරගත් ඔහු ඉවත බලාගත්තේ ඇතිව තිබෙන වේදනාවේ තරම පෙන්වමිනි.

1989 පෙබරවාරි මස 25 දින උපත ලබා ඇති නිවුන් වයස විස්සේදී ගුවන් හමුදාවට බැදී ඇත. ඒ 2019 වසරේදීය. මූලික පුහුණුවෙන් පසු විවිධ ප්‍රදේශවල සේවය කර ඇති නුවන් මියගියේ පසුගිය තුන්වැනිදා ගුවන් නිරීක්ෂණයක යෙදෙන අතර හපුතලේ ප්‍රදේශයේදීය. අරඹෙගෙදර නිවස ඥාතීන් හිතවතුන් හා ප්‍රදේශවාසීන්ගෙන් පිරී තිබියදී 04 දින මධ්‍යම රාත්‍රියේ නුවන්ගේ සිරුර නිවසට ගෙන ආ අතර එම මොහොතේ මව බිරිඳ හා සහෝදර සහෝදරියන්ගෙන් නැගුණු වේදනාත්මක විලාප හඬ මුළු ගුවන පුරා විසිර ගියේ රැස්ව සිටි සියන්ලන්ගේ නෙතඟ කඳුළු රඳවමින් ය. නුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (06) දින පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ගන්දර – නිලූකා හේරත්