මේ කියන කතාව ඇහුවම ඔයාට පුදුමත් හිතේවි මොකද ඇත්තටම එහෙම බැරි නිසා එත් මේ කතාවනම් “පුදුමයි එත් ඇත්තයි” කැටගරි එකේ කතාවක් කතාව මෙහෙමයි 2019.12.08 දින ලංකාදීප රසවිතෙහි පළ වූ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය යන අය විසින් ඩී.සී. අට ගුවන් යානයෙන් යාපනයට අහසින් ගිය කාලේ යන සටහනට අනුව ඊට ඌනපූර්නයක් වශයෙන් මෙය මෙසේ සටහන් කරමි. 70 දශකයේ දී රජයේ සේවකයින්ට නිදහස් දුම්රිය බලපත්‍රය (වොරන්ට් එක) උපයෝගී කරගෙන ගුවනින් යාපනය බලා ගිය අය දැනට ජීවතුන් අතර සමහර විට නැත යනුවෙන් එහි සඳහන්ව ඇත. එසේ ගිය අය අතර මා ද එක් අයෙකි. මගේ වයස දැන් අවුරුදු 80 කි. ඒ ගිය ගමනට මා කැටුව ගිය අය අතර මගේ භාර්යාව, මගේ සොහොයුරිය භාර්යාවගේ සහෝදරියන් දෙදෙනෙක් සහ මගේ මව (මියගොස්) ද වූහ.

එවකට පැවති පරිපාලනයේ සරල බව නිසා මට මේ ගමන සංවිධානය කරගත හැකි විය. මම රැකියාවෙන් ග්‍රාම සේවා නිලධාරියෙක්මි. මුලින්ම කළේ වොරන්ට් සෙට් දෙකක් ලියාගෙන කොළඹ කච්චේරියේ අදාළ නිලධාරියා වෙත යාමය. ඔහු මෙම වොරන්ට් දෙකට අය වෙන මුදල ගණන් බලා එම මුදලට සරිලන චෙක්පත මට නිකුත් කරන ලදි. එම චෙක්පත රැගෙන ගුවන් සමාගම වෙත ගොස් අවශ්‍ය ටිකට් සම්පාදනය කර ගතිමි. අපි නියමිත දිනයට රත්මලාන ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන්ගත වීමු. පැය එක හමාරකින් පලාලි ගුවන් තොටුපළ වෙත ළඟා වීමු. ජීවිතයේ පළමුවරට නැදෑ හිතවතුන් සමඟ මෙම ගමනට සහභාගීවීමට හැකි වූයේ අහිංසක රජයේ සේවකයින් වෙනුවෙන් රජය විසින් සලසා තිබූ පහසුකම් නිසාය. පලාලි ගුවන්තොටුපළින් බැස වටපිට බලන විට එම ගුවන් යානයෙන් පැමිණි බොහෝ මගීන් රැගෙන යාම සඳහා වාහන පැමිණ තිබුණි. සියල්ලෝම ගිය පසු අපි පමණක් ගුවන් ​තොටුපළේ තනි වීමු. අප රැගෙන යාමට කිසිවෙක් නැත. මේ අතර මෝටර් රථයක් අප සිටින තැන නවත්වා ‘ඔය ගොල්ල කොහාට ද යන්නේ?’ ‘අපි යාපනේ යන්ට’ මම කීවෙමි ‘පුළුපුළුවන් හැටියට හැම දෙනාම වාහනයේ වැඩිවෙන්ට මම නම් මේ ළඟට යන්නේ, මම ඩ්‍රැයිවර් උන්නැහේට කියන්නම් ඔයගොල්ල යන තැනකට ගිහින් බස්සන්න කියලා’

මෙසේ කීවේ ගුවන් යානයේ අප අසලම වාඩි වී සිටි යාපනයේ මහත්මයෙකි. ඔහු විවාහ වී සිටින්නේ සිංහල කාන්තාවක සමඟ බවත්, ඇය කොළඹ රෝහලක හෙදියක බවත් අපට කීවේය. ඉතින් අපි සිංහල දෙමළ නෑයොනේ. මම සිංහල අයට හුඟක් කැමතියි. ඔහු කීවේය. මුළු හදින්ම සංහිඳියාව කියන්නේ මේකට නේද? කෝ අද එය? කපටි ​දේශපාලකයින් කොයිතරම් දුරට ජාතීන් අතර අසමගි බීජය වපුරා තිබේ දැයි මට සිතිණ. අපි යාපනයට පැමිණ නාග විහාරයේ නවාතැන් ගතිමු. අර ඉහත කී යාපනයේ මහත්මයා අපට ඔහුගේ බංගලාවේ නැවතී යන ලෙස කීවත් තරුණ ගැහැණු ළමයි කීප දෙනෙක් සිටින නිසා ආරක්ෂිත තැනක නැවතීමට වඩාත් හොඳ බව මම තීරණය කළෙමි. අපි පසුදා අනුරාධපුරයට පැමිණ අටමස්ථානය ද වන්දනා කරගෙන ගම් රටවල් බලා ආවෙමු. මා මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ එදා පරිපාලන ක්‍රමවේදය අනුව දුප්පත් රජයේ සේවකයාට මොන තරම් වටිනා සේවයක් ද ඒ කළේ? මේ වරප්‍රසාදයෙන් කීයෙන් කී දෙනෙක් ඵල ප්‍රයෝජන ගත්තා දැයි නොදැනිමි. මෙවැනි විස්මයජනක තවත් පහසුකමක් 1974 වසරේදී මට අත්විඳීමට හැකි විය. එවකට දුම්රියෙන් දඹදිව වන්දනා ගමන් යන අයට මදුරාසිය දක්වා යන්ට එන්ට දුම්රිය බලපත්‍රය නිකුත් කරන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේය. මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා ගමන් කරන ඉන්දියානු නැවට යන ගාස්තුවද ඊට අදාළය. කොටුව දුම්රිය ස්ථානයෙන් ටිකට් ගත් විට ඒ සමගම නැවේ සීට් ද වෙන් වී හමාරය. එපමණක් නොව රාමේෂ්වරමේ සිට මදුරාසිය දක්වා දුම්රියේ ද සීට් වෙන් වී හමාරය. මෙබඳු පහසුකම් එදා තිබුණ බවවත් වැඩි දෙනා දන්නේ නැත. ඩබ්ලිව්. අමරසිරි ගුණවර්ධන ගණේමුල්ල