කව්රු මොනවා කිවුවත් ලංකාවේ ඉන්න සුපිරි වැඩකාරයෙක් තමා තිසර පෙරේරා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහිව ඇති අති දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සලකා බැලූ විට එවන් අති දක්ෂයන් සිටින්නේ අතළොස්සක් බව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට විශේෂයෙන් මතක් කර දිය යුතු නැත. ඒ අතරින් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් තවමත් විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර තිසර පෙරේරාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. පසුගිය කාලයේ ජාතික කණ්ඩායමේ දක්නට නොලැබුණද ජාත්‍යන්තරය තුළ සෑම විටම පුවත් මවන ක්‍රීඩකයකු වශයෙන් හැඳින්විය හැකි තිසර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී විශේෂ තොරතුරක් අපට අසන්නට ලැබිණි. එහිදී තිසර ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකත්වය ලබා ගැනීම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ විශේෂ අවධානය යොමු වූ කරුණක් බවට පත් විය. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සුළු මොහොතකට මවුබිමට පැමිණ යළිත් බංග්ලාදේශය බලා යෑමට පෙර ඔහු සමඟ පිළිසඳරක නිරත වීමට අපට හැකි විය.

කතෝලික භක්තිකයකු වුවද එළැඹුණු නව වසරේ පළමු දිනයේ පෙරවරුවේ පන්සල වෙත ගොස් ආශීර්වාද ලබා ගැනීමේ සූදානමින් සිටි තිසරගෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළ සේනාවේ මේජර්වරයකු ලෙස සම්බන්ධ වීමේ පුවත සම්බන්ධයෙන් පළමුවෙන් විමසීමට තීරණය කළෙමු. “ඇත්තටම යුද හමුදාවට සම්බන්ධ වෙලා ක්‍රීඩා කරන්නටත් යුද හමුදා ක්‍රිකට් පිලේ දියුණුවට ඔවුන් සමඟ එක්ව කටයුතු කරන ලෙසත් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මට ආරාධනා කළා. රටට විශාල සේවයක් කළ නිලධාරියකු එවැනි ආරාධනයක් කිරීම මට විශාල ගෞරවයක්. එවන් ආරාධනයක් කිසිසේත්ම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් නැති නිසා එතුමා කරපු ආරාධනය මම පිළිගත්තා. ඒ අනුව මේජර්වරයකු ලෙස ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ වෙන්න මට හැකියාව ලැබුණා.” වසර ගණනාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයකු බවට පත්ව සිටියද මේ වනවිට කතාබහට ලක් නොවන්නේ යම් පසුබැසීමක් නිසාද යන්නත් පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු එයට අපූරු පිළිතුරක් ලබා දුන්නේය.

“ඇත්තටම පසුබැසීමක් තිබුණා කියල මම හිතන්නේ නැහැ. පසුගිය වසර කිහිපය මුළුල්ලේම ලෝකයේ හොඳම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර මුල් පස්දෙනා අතර රැඳෙන්නට මට හැකි වෙලා තිබුණා. එහෙම තිබුණු අවස්ථාවලත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් මම හැම විටම මට අවස්ථාවක් ලැබෙන තෙක් බලා ඉන්නවා. දැනුත් මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී හොඳින් දක්‍ෂතා දක්වන නිසා විශාල බලාපොරොත්තුවක් හිතේ තියෙනවා ඉදිරියේදී මට අවස්ථාවක් ලැබේවි කියල. ඒ වගේම පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු විස්සයි-20 තරගවලදීත් මම දක්ෂතා දක්වා තිබුණා.” මේ වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගනීවි යැයි විශ්වාසයක් තබා සිටිනවාද යන්න විමසූ අවස්ථාවේදී තිසර පැවැසුවේ මෙවැන්නකි. “ඇත්තටම ඒ ගැන මට කියන්න හැකියාවක් නැහැ. තේරීම් කමිටුවේ ඉන්න අයගේ තීරණ සම්බන්ධයෙන් මට යමක් කියන්න හැකියාවක් නැහැ. ඒක තේරීම කමිටුවේ රාජකාරියක්. ඒත් මම මගේ කාර්ය කරලා තියෙනවා. බී.පී.එල්. තරගාවලියේදීත් මම පන්දුවෙන් දස්කම් දැක්වූවා වගේම හොඳින් ලකුණු රැස් කළා. එම තරගාවලියේ මම පළමුව සහභාගි වූ තරගයේදී දක්වපු දක්ෂතා අනුව තරගයේ වීරයා සම්මානය පවා මට ලැබුණා. එයිනුත් පැහැදිලි වෙනවා මම විස්සයි-20 තරග රටාව තුළ පසුබෑමක් දක්වන්නේ නැහැ කියන එක. කොහොම වුණත් විස්සයි-20 කණ්ඩායමේ මට ස්ථානය අහිමි වුණේ මොන හේතුවක් නිසාද කියලා මම දන්නේ නැහැ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් පිළිතුරු සැපැයූ තිසර, “2018 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ එක්දින තරග රටාවේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණේ මම. ඒ කියන්නේ එහෙම සම්මානයක් ලැබෙන්න නම් මම එහි දක්ෂතා දක්වලා තියෙන්න ඕන කියන කරුණ පැහැදිලි වෙනවා. එක්දින තරගවලත් තරග එකක් දෙකක් අසාර්ථක වීම ඕනෑම ක්‍රීඩකයකුට ස ිදුවිය හැකි දෙයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය එයයි. ඒත් මම සැලකිය යුතු තත්ත්වයේ අසාර්ථකත්වයක් නොදැක්වූ නිසා මට කණ්ඩායමේ ස්ථානය අහිමි වීම විශාල ප්‍රහේලිකාවක්.” මේ තත්වය තුළ යම්කිසි කලකිරීමක් තිබෙනවාද යනුවෙන් විමසූ විට තිසර ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි, “ඇත්තටම රට නියෝජනය කරන ක්‍රීඩකයකු වශයෙන් මම හැම වෙලේම බලන්නේ රටට යම් කිසි සේවයක් ලබා දෙන්නයි. එය සිදු කළ හැකි යම් කිසි කාල සීමාවක් ඕනෑම ක්‍රීඩකයකුට තිබෙනවා. ඒ කියන්නේ වයසත් සමඟ අපට ක්‍රීඩා කිරීමේ සහ දක්ෂතා දැක්වීමේ හැකියාව තීරණය වන නිසා මගේ රට වෙනුවෙන් සේවය කිරීමට අපට ලැබෙන්නේ ඉතාම සීමිත කාලයක් පමණයි. මගේ හොඳ කාලයේදී මගෙන් රටට අවශ්‍ය සේවය ලබා ගැනීමත් සිදු කළ යුතුයි. ඉතින් මම හොඳින් දක්ෂතා දක්වන කාලවලදීත් මගෙන් රටට සිදු විය යුතු සේවය ලබා නොගැනීම තුළ කිසියම් දුකක් හිතේ තියෙනවා. අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව නොලැබුණත් ලොව පුරා විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව සහ ආරාධනා මට ලැබෙන්නේ මම යම්කිසි දෙයක් කළ හැකි තත්ත්වයේ සිටින නිසා බව මා විශ්වාස කරනවා. ඒ නිසා ඒ කරුණ මගේ ක්‍රිකට් ජීවිතය තුළ කලකිරීමක් නොමැතිව ඉදිරියටත් දක්ෂතා දැක්වීම කෙරෙහි මට විශාල උත්තේජනයක් සපයනවා. එවැනි රටවල් මගේ දක්ෂතා ගැන තවමත් ඉහළ විශ්වාසයක් දැක්වීම මට විශාල සතුටක්. සමහර ලීග් තරගාවලිවලදී මට නායකත්වය පවා ලබා දුන්නා. මගේ දක්ෂතාවයේ අඩුවක් තිබෙනවා නම් කණ්ඩායමක නායකත්වයේ වගකීම මට පවරයි කියල මම සිතන්නේ නැහැ. ඒ සමහර කණ්ඩායම්වල ලොව සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් සිටිද්දී පවා මම නායකත්වයට ගැළපෙන බව ඔවුන් තීරණය කරමින් එවන් අවස්ථාවල මට නායකත්වය ලබා දුන්නා. ඒ වගේ කාරණා මට මගේ ක්‍රිකට් ජීවිතය ඉදිරියට ගෙන යෑම සඳහා විශාල ශක්තියක් සපයනවා.”

මෙම තත්ත්වය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් තිබෙනවාද? “කොච්චර ප්‍රශ්න ආවත් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ කිසිදු අදහසක් තවම නැහැ. ඊට හේතුව වෙලා තියෙන්නේ විදේශ රටවල්වලින් විශාල ඉල්ලුමක් මට තිබෙනවා. එම නිසා කුමන මොහොතක හෝ ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබේවි කියා විශාල බලාපොරොත්තුවක් මට තිබෙනවා” ක්‍රීඩා කටයුතු සඳහා යුද හමුදාවෙන් ලැබෙන සහාය මොන වගේද? “ඇත්තටම මම තවමත් ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වුණා පමණයි. ඉදිරියේදී යුද හමුදාවෙන් මට විශාල සහයෝගයක් ලැබේවි කියල මම විශ්වාස කරනවා. කුඩා කාලයේ සිටම යුද හමුදා සාමාජිකයකු වීමේ සිහිනය මට තිබුණා. යුද්ධය පවතින වකවානුවේදීත් යුද හමුදාවට සම්බන්ධ වෙන්න ආශාව තිබුණත් අප ඒ කාලයේ පාසල් වයසේ සිටි නිසා එය සපුරා ගැනීමට අපට හැකි වුණේ නැහැ. ඒ අනුව දැන් මේ වන විට ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය ඉදිරියටත් එසේම පවතීවා යැයි මම ප්‍රාර්ථනා කරනව වගේම මගේ තිබෙන හැකියාවන් උපයෝගී කරගෙන යුද හමුදාවට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කලක් ජාත්‍යන්තරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරමින් මම ලබා ගත් දැනුමත්, අත්දැකීමත් යුද හමුදාව නියෝජනය කරන ජේ‍යෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩකයන් වෙත ලබා දීමට මට අවස්ථාව උදා වීම විශාල භාග්‍යයක් ලෙසයි මම දකිනවා” ලැබූ නව වසරේ ඉදිරි බලාපොරොත්තු ගැන යමක් පැවැසුවොත්… “නව වසරේදී යුද හමුදාවට මට ලබා දිය හැකි උපරිම සේවය ලබා දීමත්, නැවතත් ජාතික කණ්ඩායම එක්වෙලා පෙර සුපුරුදු පරිදි හොඳින් දක්ෂතා අතරට පිවිසෙමින් රටට සේවය කිරීමටත් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මෙවන් අවස්ථාවක් මට ලබා දීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට විශේෂ ගෞරවයක් දැක්වීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” ගමිත දෙහිපිටිය