පසුගිය මැතිවරණය නිසා තවමත් රට උණුසුම් ඉතින් දැන් මේ අපි කතා කරන්නේ kd ලාල් කාන්ත මහතා සමග, ජනාධිපතිවරණයේදී ඔබලාට අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නෑ. ඒ කියන්නේ ඔබලාගේ මතය සමාජය නොපිළිගත් බව නේද? අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණෙ නෑ කියද්දී ඒක ටිකක් බරපතළයි. අපි වගේ පක්ෂයක අමාරුම මැතිවරණය තමයි ජනාධිපතිවරණය. තරගකාරී දෙන්නා අතරට ඇතුළු වෙන්න බැරි නම් අපේ වගේ රටක අපි තුන්වැනි පාර්ශ්වය බවට පත්වෙනකොටම ඡන්දය ලැබීමට තියෙන ඉඩකඩ ශූන්‍යයි. යම්කිසි ප්‍රතිපත්තිගරුක ප්‍රමාණයක් පමණක් ඡන්දය දෙන්න නියමිතයි. ඉතින් අපිට අර තරගකාරී දෙදෙනා අතරට ඇතුළුවෙන්න කිසිසේත්ම වටපිටාවක් නිර්මාණය වෙලා නෑ තවම. එසේ තිබියදී අපිට ඕන වුණා මේ පාර ස්වාධීන පක්ෂයක් බවට පත්වීම අරමුණු කරගෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉල්ලන්න. ඡන්ද ප්‍රමාණය නොසලකා අපි දේශපාලන අවශ්‍යතාව මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි උත්සාහ කළා ඡන්ද ලක්ෂ දහයක්වත් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක අසාර්ථකයි. ඒ හැර ජවිපෙ දෙන පණිවුඩය ජනතාව පිළිනොගත් බව ඔබ පිළිගන්නේ නැද්ද? නෑ. සිංහල ජාතිය ගැන කොටසක් කතා කරනවා. ඒකට අපේ විරෝධයක් නෑ. දෙමළ ජනතාවගේ අයිතිය ගැන තව කට්ටියක් කතා කරනවා. ඒකටත් අපේ විරෝධයක් නෑ. මුස්ලිම් ජනතාවගේ අයිතිය ගැන තව කට්ටියක් කතා කරනවා. ඒකටත් අපේ විරෝධයක් නෑ. අපි කතා කරනවා ශ්‍රී ලාංකේය ජනතාවක් ගැන. ඒකට හැමෝම එකඟයි. හැබැයි ශ්‍රී ලන්කන් කෙනෙක් ඉන්නෙ පාස්පෝට් එකේ විතරයි තවම. දෛනික ජීවිතයේදී ඉන්න සිංහල අය, දෙමළ අය, මුස්ලිම් අය. ඉතින් අපේ ප්‍රතිපත්තියට ඔක්කොම එකඟයි.

ඡන්දය දෙන්න ගියාම හැමෝගෙම අයිතිය රැකගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපි පොදුවේ ක්‍රියාත්මක වෙනවා. එය හැමෝම පිළිගත්තත් ඡන්දෙ තියෙන්නේ අර වෙන වෙනම අනන්‍යතාවන් නියෝජනය කිරීම වෙනුවෙන්. ඒක තමයි මෙතැන තියන පරස්පරය. අපි ජාතීන් වෙන වෙනම ආමන්ත්‍රණය කරන්නෙත් නෑ ඡන්ද වෙනුවෙන්. මේ ලද ප්‍රතිඵලයම මහ මැතිවරණයටත් ජවිපෙට නොලැබෙයි කියන්න තිබෙන තර්කය මොකක්ද? ජනාධිපතිවරණයකදී මිනිස්සු හිතන විදිහයි, මහ මැතිවරණයකදී හිතන විදිහයි වෙනස්. අපි මෙහෙම හිතමු. ජනාධිපතිවරණයකදී තියෙන්නේ එක තෑග්ගයි. මහ මැතිවරණයකදී සැනසිලි තෑගි තියනවා 225ක්, පළාත් සභා ඡන්දෙකට ගියාම සැනසිලි තෑගි තවත් ගොඩයි. ප්‍රාදේශීය සභා ඡන්දෙකට ගියාම සැනසිලි තෑගි අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. එවැනි වටපිටාවකදී අපිට දෙන හැම ඡන්දයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රිකමක් ලබාගැනීමට හේතු වෙනවා. එක්කො දිස්ත්‍රික්කයකින් මන්ත්‍රිකමක් ගන්න ඡන්දය හේතුවක් වෙනවා. නැත්නම් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකමක් ගන්න දෙන ඡන්දය හේතුවෙනවා. හැබැයි ජනාධිපතිවරණයකදී ජේ.වී.පී. එකට දීලා වැඩක් නෑනේ. ඕගොල්ල දිනන්නෙ නෑනෙ, කියන අදහස එනවා. ජනතාවගේ අදහසක් තියෙනවා ජවිපෙ මන්ත්‍රිවරුන්ගෙන් දහයක් ‍දාළහක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කියලා.

නමුත් ජනතාව ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව කියන්නේ නැහැ? ඔව්, ඒක අපිට තේරෙනවා. ඉතින් දහයක් දොළහක් ඉන්න ඕනෑ කියනකොටම ඒ දහයත්, ‍ෙදාළහත් ගන්න ජනතාව ඡන්දෙ දෙන්න වෙනවනේ. මට ගොඩක් හම්බවෙලා තියෙනවා ගෝඨාභය මහත්තයට ඡන්දෙ දීපු, සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්දෙ දීපු විශාල පිරිසක් ඉන්නවා මහමැතිවරණයේදී ජවිපෙට ඡන්දෙ දෙනවා කියලා කියන. මොකද ඒගොල්ලන්ගේ ඡන්දෙන් ප්‍රයෝජනයක් වෙනවා. නුවරින් අපිට ගියවර පාර්ලිමේන්තු මන්ත්‍රිකමක් හම්බ වුණේ නෑ. නමුත් නුවර කෙනෙක් මට කිව්වා එයා සතුටු වෙනවලු ජාතික ලැයිස්තුවෙන් දෙන්නෙක් ගියා. ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ඒකට ආවෙ එයාගෙ ඡන්දෙන් කියලා. ඒ ගැන එයාට සතුටුයි. හඳුන්නෙත්ති සහෝදරයා කෝප් කමිටුවේ සභාපති වීම ගැනත් එයාට සතුටුයි. ඔන්න ඔය වගේ තත්ත්වයක් මහ මැතිවරණයේදී තියෙනවා. ඒක ජනාධිපතිවරණයේදී නෑ. ඒ අතරේ ආණ්ඩුවේ මේ වන විට මාතෘකාව 2/3 බලය ලබාගැනීම ගැන ඔබේ විග්‍රහය වෙනස්ම එකක්? ගෝඨාභය මහත්තයා 2/3ක බලය ඉල්ලනවා. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලයි ආණ්ඩු බලය. හැබැයි අපිට විශ්වාසයි ආණ්ඩු බලය නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයලා විපක්ෂයට තමයි වැටෙන්නේ. 2/3 හදලා දෙන්නෙ ජනතාව නෙවෙයි. ඔය වැටෙන විපක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් පිරිසක් නිසා.

පනින මන්ත්‍රිවරු? පනින මන්ත්‍රිවරුන්ගේ පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාව කාර්යක්ෂම, ශක්තිමත් වෙන්න නම් ප්‍රබල, කාර්යක්ෂම, ස්ථාවර විපක්ෂයක් ඕනෑ, ඔබේ භාෂාවෙන් කියනවා නම් ජනාධිපතිවරණයේදී ඉල්ලගෙන කන්න සිද්ධ වුණේ ඔබලාගේ ප්‍රාදේශීය නායකයන් හේතුවෙන් බවට ඔබ චෝදනාවක් කර තිබෙනවා. එසේ නැතිව නායකත්ව මණ්ඩලයේ දුර්වලකම් ඊට බලපෑවා කිව්වොත් ඒ චෝදනාව පිළිගන්වද? කවුද එහෙම චෝදනා කළේ ? ඔබ? නෑ එසේ නම් මාධ්‍යවල පළවුණේ අසත්‍යයක්ද? පට්ට බොරුවක්. අනිවාර්යයෙන් අපේ හතුරෙක් කරපු වැඩක්. එහි ඇත්තක් නෑ. ප්‍රාදේශීය නායකයෝ හින්දා තමයි මේ ටිකවත් බේරුණේ. අද කාලෙ බොරු ෆැක්ටරි තියෙනවා. අද කාලේ ඇත්ත දැනගන්න ඕනෑ නම් අපේ වචනෙන්ම අහන්න ඕනෑ. අපේ හ¾ඩින්ම, අපේ ඡායාරූප සහිතව සජීවීව දැකගත යුතුයි. ඇත්ත දැනගන්න නම්. ඔබලා දේශප්‍රේමීත්වය වෙනුවට එන්.ජී.ඕ. සහ අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන ඉත්තන් බවට පත්වී තිබෙන බවට ප්‍රබල මතයක් අද වන විට ගොඩනැඟී තිබෙනවා. මේ මතයක් මැතිවරණයේදී බලපෑවා නේද? ඔය චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. අපි මේ රටේ විධායක ජනපති ක්‍රමය වෙනුවට සාමූහිකව තීන්දු ගන්න පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක විජාතික එකක් නෙවෙයි. අපේ පදයක්. දෙවන කාරණය මේ රටේ සිංහල දෙමළ, මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාව වෙන වෙනම තබා ගනිමින් අපි ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනඟා ගැනීමට උනන්දු වෙනවා. ඒක විජාතික එකක් නෙවෙයි. අපි හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට විරුද්ධව සටන් කරනවා. අරගල කරනවා. ඒක විජාතික එකක් නෙමෙයි. මේ රටේ ජාතික සම්පත්, ජාතික ධනය, ජාතික දේපළ රැක ගැනීම වෙනුවෙන් අපි සටන් කරනවා. ඒක විජාතික එකක් නෙමෙයි.

මට කියන්න කුමක්ද අප සතු විජාතික සටන්පාඨය, විජාතික ඉල්ලීම කුමක්ද කියලා. මේ රටේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒවා අද රටට අවශ්‍යයි. මේ රට ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. දැනුත් අපි පෙනී සිටිනවා. නිකම් බහුභූත කිව්වට වැඩක් නෑ. මොකක්ද අපේ විජාතික ඉල්ලීම කියලා කවුරු හරි අපිට කියන්න ඕනෑ. ඊට පස්සේ අපි උත්තර දෙන්නම්. ඒවගේම එජාපය සමඟ තිබෙන බව තිබෙන බව කියන ජවිපෙ දේශපාලන ගනුදෙනුව කාරණය ඔබලා පිළිගත්තත් නොපිළිගත්තත් ජනතාවගේ ඔළුවලට කාවැදී තිබෙනවා. මෙය නිරවුල් නොකොට මහ මැතිවරණයට මුහුණ දීම ඵලක් වෙයිද? ඕක අපේ සතුරන් විසින් හදන මතයක්නේ. එජාප කියන්නේ පැහැදිලිවම එහි නායකත්වය එදා ඉඳන්ම විජාතිකයි. ඒකත් එක්ක අපිවත් පූට්ටු කළාම අපිත් විජාතික. ඒක සතුරන්ගේ උපක්‍රමයක්. එජාපයේ රනිල් වික්‍රමසිංහ කියන්නේ බටහිර ගැති බටහිර ඒජන්තයෙක්. ඒකත් එක්ක ජවිපෙ නායකත්වය සම්බන්ධයි කියද්දී මේ රටේ දේශප්‍රේමී ජනතාව අපෙන් අෑත් වෙනවා. ඒ අෑත් කිරීමේ උපක්‍රමයක් සතුරෝ විසින් සිදුකරන්නේ. එහෙම නැතිව මේ කතාවේ සත්‍යයක් නෑ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි, මහින්ද රාජපක්ෂ මහත්තයයි ගිය අවුරුද්දේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කළාම ඒක අධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කළානේ. හැබැයි අපි ප්‍රතික්ෂේප කළාම කියනවා ඔන්න ඒගොල්ලෝ දේශප්‍රේමියි. ඒ ගොල්ලන්ගේ වැඩවලට අපි විරුද්ධ වුණු හින්දා අපි දේශද්‍රෝහියි. එහෙම නැත්නම් බටහිරගැතියි කියලා. ඒ මොහොතේ ජවිපෙට ප්‍රබලවම චෝදනාව එල්ල වුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ධුරය රැකදීමට අරගල කිරීම මිස දේශද්‍රෝහියි කියන චෝදනාව නොවෙයි නේද?

මෙහෙමනේ, ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම නැතුව ගියා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කළාම රනිල්ගේ අගමැතිකම ලැබුණා. එතකොට අපිට කියනවා රනිල් වෙනුවෙන් වැඩ කළා කියලා. මෙහෙම තර්ක ගොඩනඟන්න තමයි අපේ විරුද්ධවාදීන් හැමවිටම පෙනී සිටින්නේ. මං දැන් හොඳ දෙයක් සහතික කරලා කියන්නද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. යම් විධියකින් ගෝඨාභය රාජපක්ෂ හෙට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකමින් අයින් කරලා වෙන කෙනෙක් පත් කළොත් අපි ඒකට විරුද්ධවත් කටයුතු කරනවා. මොකද ඒක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ යෑමක් කියලා අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්. නමුත් අපි ව්‍යවස්ථාව රැකිය යුතුයි. විවිධ පුහු මත හදලා අපි පස්සට ඇදලා දාන්න බලන් ඉන්න අයනේ ඔහොම තර්ක ගේන්නේ. ඔබේ දිස්ත්‍රික්කය අනුරාධපුර. ඔබ අනුරාධපුරයෙන් මහනුවරට ඇවිත් තරග කරන්න සූදානම්. මොකද අනුරාධපුර ජනතාව දැන් ඔබව පිළිගන්නේ නැද්ද? මගේ දිස්ත්‍රික්කය අනුරාධපුරය නෙමෙයි. මට මේ රටේ ඕනෑම තැනකින් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට ඉඳලා කුරුණෑගලට ගිහින් ඡන්දෙ ඉල්ලුවේ. මං අනුරාධපුරේ ඉඳන් කොළඹිනුත් ඡන්දෙ ඉල්ලුවා. මේ පාර නුවරින් ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කුරහන් සාටකේ දාගෙන ඇවිල්ලා, තාත්තා වක්කඩින් අත හෝදගෙන ඇවිල්ලා ඡන්ද කොළේට අස්සන් කරලා හම්බන්තොට ගිරුවාපත්තුවෙ කියාගෙන හිටපු කෙනා කුරුණෑගලට ගියේ මොන කෙහෙල්මලකටද? ඒ වගේ කෙහෙල්මලක් මටත් කරන්න අයිතියක් තියනවා. මහනුවර තෝරාගන්න හේතුව මොකක්ද? නුවර තෝරාගන්න පළමු හේතුව ඇත්තටම ගත්තොත් අනුරාධපුරයේ වටපිටාවට, අටමස්ථානයට අපි පොඩිකාලෙ ඉඳලා දුවලා පැනලා ඇවිද්දා. අපි ඒකට ආසයි.

ඊළඟට මම ආසම නගරය තමයි නුවර. නුවර දළදා මාලිගාව, නුවර වැව. ඒ පරිසරය කඳුකරයේ නිතර වෙනස් වීම සහ මම මීට පෙර නුවර සෑහෙන කාලයක් ඉඳලත් තියෙනවා. ඔබ හොඳ සිංහල බෞද්ධයෙක් කියන්නත් බැරි නෑ මේක කියවන ජනතාව? මං බෞද්ධයෙක් තමයි. මම මාක්ස්වාදය ඉගෙන ගෙන තියෙනවා. ඒ දැනුමත් මං එකතු කරගෙන තිබෙනවා. අපේ මුල්, අපේ දෙපා අපි තබාගෙන ඉන්නේ බෞද්ධ පදනමක තමයි. මා තුළ තියෙන ලක්ෂණවලින් වැඩිහරියක් ඒවා ඒ හොඳ ලක්ෂණ. ඒ නිසා මං ජාතිවාදී නෑ. ඒ නිසා මං කුලවාදී නෑ. ඒ නිසා මං ආගම්වාදී නෑ, ඒ හොඳ ලක්ෂණ මට ලැබුණෙ බෞද්ධ සංස්කෘතියෙන්, එහෙම නැතුව මාක්ස්වාදයෙන් නෙමේ. මාක්ස්වාදයෙන් තව ඒවා ඔපමට්ටම් කළා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයේ ජවිපෙ ලද ප්‍රතිශතය අනුව ඔබලාට දිස්ත්‍රික්කයකින් 5%ක ප්‍රතිශතයක් අනිවාර්යයෙන් ලබා ගන්න වෙනවා. හම්බන්තොට පමණයි 5%ක් ලැබුණෙ. මේ බරපතළ අවදානමෙන් මිදෙන්න පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මොකක්ද වැඩපිළිවෙළ? මං මුලින් පැහැදිලි කළා අපිව පාර්ලිමේන්තුවට අරගෙන එන්න ජනතාවට තියෙන අවශ්‍යතාවයේ සාධක. ඉතින් ඒ සාධක මත තමයි ජනාධිපතිවරණයකදී නොලැබුණු ඡන්ද ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා. ඒක ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විග්‍රහ කරලා බැලුවම හොඳට බලාගන්න පුළුවන්. ඊළඟට ජනතාවට ඉදිරිපත් කරන මගේ යෝජනාව තමයි අපිට උදවු කරන්න. ඔබ ගියපාර ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දෙ දෙන්න ඇති. ඒ පිළිබඳ මගේ විවේචනයක් නෑ. ඔබ සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්දෙ දෙන්න ඇති. ඒ පිළිබ¼ද මට විවේචනයකුත් නෑ. මොකද ඒ දෙන්නටම ඡන්දෙ දීපු අයට එහෙම ඡන්දෙ දෙන්න තර්කයක් තිබුණා. ඒ තර්කයන් එක්ක රණ්ඩු කරගන්න මට කිසිම වුවමනාවක් නෑ. මගේ යෝජනාව ඔබ මේ මැතිවරණයේදී අපිට සහාය දෙන්න. ඔබ දෙන සහාය මේ රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන් අපි සුරක්ෂිතව ආරක්ෂා කරනවා.

ඇයි ජනතාව ඔබලාට ඡන්දය දිය යුත්තේ? අපේ රට තියෙන්නේ නරක තැනක. ඒක හොඳ තැනකට ගේන්න අපි දිනපතා අරගල කරනවා. අන්න ඒ අරගලය ශක්තිමත් කරන්න අපිට ඡන්දයක් දෙන්න. දේශපාලන ගණන් බැලීම් අනුව ඔබලාට හිමිවන්නේ අවම මන්ත්‍රි ධුර දෙකයි. ජවිපෙ ජේ‍යෂ්ඨයෙක් ලෙස ඔබේ පක්ෂයේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ මේ කඩඉම හරහා බව ඔබ පිළිගන්න ලෑස්තිද? මුලින්ම අපිට එකක්වත් තිබ්බෙ නෑ. ඊට පස්සෙ අපි එකක් ගත්තා. ඊට පස්සෙ අපි දහයක් ගත්තා. ඊට පස්සෙ අපි දාසයක් ගත්තා. ඊට පස්සෙ අපි හතළිස් එකක් ගත්තා. පසුගිය කාලෙ වෙච්ච හැලහැප්පීම්, අපෙත් සමහර තිබූ අඩුපාඩුකම්, ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් පක්ෂයේත් කඩාගෙන යෑම් වැනි විවිධ සාධක මත අපේ ව්‍යාපාරය දුර්වල වුණා. එහෙම වුණත් අපි ලබපු ජයග්‍රහණයක් තියෙනවා රටේ. ඒ තමයි ජනතාව පිළිගන්නවා. අපි මේ රටට ආදරෙයි, අපි යහපත් දෙයක් කරන්නේ කියලා. අපි කියන්නේ මේ පාර අපිට ඡන්දෙ දෙන්න කියලා. ඔබ මෙහිදී සඳහන් කළා පක්ෂයෙනුත් සුළු සුළු අඩුපාඩුකම් වූ බව. මොනවද ඒ අඩුපාඩු? අපි ගත්ත දේශපාලන ක්‍රියාමාර්ග නිසා 1965 ඉඳන් අපි ගොඩනඟාගෙන, පුළුල් කරගෙන ආපු අපේ ජනපදනම අපිට නැතුව ගියා. ඒක තමයි වෙච්ච අඩුපාඩුව.
ඔබලා ප්‍රකාශ කරන විදිහට එක්සත් ජාතික පක්ෂයට මේ වන විට කෙසේවත් ශක්තිමත් විපක්ෂයක භූමිකාවක් ඉටු කරන්න බැරි බව? කෙළින්ම කිව්වොත් බෑ. කෙළින්ම බැලුවොත් 2010, 2015 කාලෙත් එජාපය නිල විපක්ෂය වුණාට අපි තමයි විපක්ෂයේ කාර්යභාරය සිදුකළේ. ඊළඟට 2015 සිට මේ දක්වාත් විපක්ෂයේ භූමිකාව ඉටු කළේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය නෙමෙයි ජවිපෙ අපි. හෙට දවසෙත් ඒ කාර්යය අපි මැනවින් ඉෂ්ට කරනවා.

ශක්තිමත් විපක්ෂයක් නැති සේම දැන් වෙද්දී රටේ ශක්තිමත් විකල්ප බලවේගයකුත් නැති බවට මා චෝදනා කළොත් ඔබ එය භාරගැනීමට සූදානම්ද? ශක්තිමත් විකල්පයකුත් තියෙනවා. ශක්තිමත් විපක්ෂයකුත් තියෙනවා. හැබැයි ඒක විසිරිලා පැතිරිලා තියෙන්නේ. ඒක ඒකාබද්ධ කිරීමත් අපි කරනවා අනිවාර්යයෙන්. ඔබ කියන ඒ විසිරිලා පැතිරිලා තිබෙන කණ්ඩායම් අතරට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයත් ඇතුළත්ද? ඔවුන් නැවත ආවොත් එකතු කරගන්නවද? විසිරිලා පැතිරිලා තියෙන එක ඇතුළෙම තියෙනවා සියලුදෙනා එකට ඒකාබද්ධ කරපු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව. ඔබලාගේ මැදිහත් වීම අවම වෙන්න වෙන්න ආණ්ඩුවේ වැරදි ගමන් මාර්ගවලට වාසියි. නමුත් අනුර, ටිල්වින්, ලාල්කාන්ත, විජිත වැනි ජේ‍යෂ්ඨ නායකයන් මෙන්ම හඳුන්, බිමල්, නලින්ද, වසන්ත, සමන්ත වැනි තරුණ ක්‍රියාධරයන් සැලකිය යුතු පිරිසක් තවත් අවශ්‍යයි. එවැනි පිරිසක් ගොඩනැඟීමට ඔබලා අසමත් නේද? දැන් බලන්න ඔබ නම් කරපු අය ගත්තොත් ඒ අතරින් කෝප් කමිටුවේ සභාපතිකම කළේ හඳුන්නෙත්ති සහෝදරයා. එයා මේ වන විට අපේ පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක්. අපේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක්. ලොකු පොඩි කතාවක් ජවිපෙ නෑ. නලින්ද සහෝදරයා ගත්තොත් රූපවාහිනියේ හැම සංවාදයකම ඉන්නවා. බලන්න වැඩිපුර පේන්න ඉන්නෙ කවුද කියලා. වසන්ත, නලින්ද, නාමල්, සමන්ත සහෝදරවරු, ඒ අය තමයි මේක ගෙනියන්නේ. උදාහරණයක් විදිහට මම නම් ජනමාධ්‍යයට වත් එන්නේ නෑ. මොනවහරි මාධ්‍යයෙන් ඉල්ලුවොත් මිසක් මං යන්නෙ නෑ. මං අහන්නේ ඔබලා වැනි (කොපි) පිරිසක් ඉදිරි පරම්පරාව ලෙස ගොඩනඟන්න අසමත් ඇයි කියලා? අපෝ අපි නම් හදන්නේ අපිව පහුකරගෙන යන්න පුළුවන් අය. අපේ කොපි ආයෙ ඕන නෑ. මේ හොඳටම ඇති.

ඔබලාට පසුගිය ආණ්ඩුව තුළ විෂක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබුණා. දැන් ඔබලා විපක්ෂය හදන්න ඡන්දෙ ඉල්ලන්න සූදානම්. කියන තරම් සරල නැති බව ඔබත්, මමත්, රටත් දන්නවා. මොකක්ද සැලැස්ම. කෙටියෙන් දැනගන්න කැමැතියි? වැදගත්ම දේ තමයි ජනතාව සමඟ අපි ගොඩක් සමීප වෙන්න ඕනෑ. ඔබ පිළිගන්නවද ඔබලා ජනතාවට සමීප නැති බව? ඒ සමීපකම අපිට බිම් මට්ටමේදී ළඟා කරගන්න බැරිවෙලා තිබෙනවා. ඒක සම්පූර්ණ කරගන්න නම් අපි නායකයෝ රොත්තක් හදාගන්න ඕනෙ. ඒ නායකයෝ රොත්ත අපි හදාගනිමින් ඉන්නවා. ජනාධිපතිවරණයේදී 3%ක අවම ප්‍රතිඵල ලැබීමෙන් පසුවත් මහ මැතිවරණයකට මුහුණ දීමට නියමිත මොහොතකත් ජවිපෙ නායකත්වය අනුර දිසානායකගෙන් ලාල්කාන්තට හිමි වීමට යන බව පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වුණා. මෙවැනි පසුබිමක කොහොමද? එවැනි කතාවක් හදිසියේ පැනනැඟුණෙ? ආ.. ආ.. හදිසියේ නෙවේ. අනුර සහෝදරයා නායකත්වයට පත්වූ දා ඉඳලා ඔය කතාව පටන්ගෙන තියෙන්නේ. රෝහණ විජේවීර සහෝදරයා ඉද්දී ගමනායක සහෝදරයයි අනිත් අයයි ගැනත් ඔය කතාවම කිව්වා. මාව පත්වුණොත් අනුරව පතුරු ගහලා තියෙන්නේ සිය පාරයි නම් මාව පතුරු ගහනවා දහස් වාරයක්. ඒ තමයි සතුරන්ගේ හැටි. ඒ නිසා ඔය කතාව අදාළම නෑ. ජවිපෙ සතුරන් මෙල්ල කරන ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? මෙහෙමයි, අපි සතුරන්ට අනුකම්පා කරනවා. ජනතාවත් එක්ක වැඩ කරගෙන යනවා. සතුරො පරාද කරන්න තියෙන හොඳම උත්තරේ ජනතාවගේ වුවමනාවන් නියෝජනය කරමින් ජනතාවගේ හදගැස්ම එක්ක යමින් කටයුතු කිරීම.

ආණ්ඩුව බොහෝ කටයුතු හමුදාවට පැවරීම ඔබ දකින්නේ කොහොමද? හමුදාව කුමන කාර්යයට සම්බන්ධ කරගත්තත් ඒකේ වැරැද්දක් නෑ. හමුදාව කැමැති නම්. ජවිපෙ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙය මිලිටරිකරණයේ ලක්ෂණයක් බව. ඔබ වෙනත් දෙයක් කියනවා? කිසි වෙනසක් නෑ. ඒ ඒ අයට පැවරුණු රාජකාරි තිබෙනවා. ඒ ඒ රාජකාරි අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. රටේ අවශ්‍යතාව අනුවනෙ එය සිදුවන්නේ. සුනාමි වෙලාවේ රජයේ සේවකයෝ ස්වේච්ඡාවෙන්නෙ වැඩ කළේ. අවස්ථාව අනුව තමයි තෝරා ගන්නේ. හැබැයි කානු සුද්ධ කරන්නයි, පිරිසුදු කටයුතු කරන්නයි හමුදාව සම්බන්ධ කරගත්තට අපිට කමක් නෑ. හමුදාව කැමැති නම්. එතකොට අනිත් අයට නිකම්නේ් ඉන්න තියෙන්නේ. ඒ ඒ ක්‍ෂේත්‍ර භාර අය ඉන්නවා වෘත්තීයමය. ඒ අය ඵලදායි ලෙස සේවයට යොදා ගැනීමට දිගුකාලීන ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. හමුදාව කෙටිකාලීනව යොදාගත්තට කමක් නෑ. නව ජනාධිපතිවරයා විවිධ ආයතනවලට යනවා. වෙනස් වැඩපිළිවෙළක් තිබෙනවා. ඔබ එය දකින්නෙ කෙසේද? අර හාල් මිල බලන්න ගිය එකේ නම් තෙරුමක් නෑ. එතුමට ඒක දැනගන්න ක්‍රම තියෙනවා. හැබැයි යම් යම් අකාර්යක්ෂම ආයතනවලට ඉඳලා හිටලා ගියාට කමක් නෑ. ඒක හොඳ දෙයක්. නමුත් ඔය යන ඒවා සන්දර්ශන අරමුණින් කරන වැඩක්. ඔය සන්දර්ශන මේ රටේ මිනිස්සු ඇති තරම් දැකලා තියෙනවා. හැබැයි එතුමා ඒ යෑම හරහා ඒ ආයතනයට බලපෑමක් වෙලා නිවැරදිව කාර්යක්ෂමව ඒ කටයුතු කෙරෙනවා නම් ඒකට කමක් නෑ. ජනාධිපතිවරයෙක් කාර්යාල ගත වෙලා ඉන්න ඕනෑ කියන සංකල්පය අපි පිළිගන්නේ නෑ. එයා ඇවිදින්න ඕනෑ. හැබැයි බොරු සන්දර්ශන වැඩක් නෑ.

රටක ජනාධිපති සහ අගමැති අතර මනා සහ සම්බන්ධතාවක් තිබිය යුතුයි. මහින්ද – ගෝඨාභය මේ සහෝදරවරු දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් ඔබ දකිනවද? අපිට ලැබෙන තොරතුරු අනුව මේ දෙන්නා අතර ආරවුල් තිබෙන බවයි කියැවෙන්නේ. පිටටත් ඒක ටිකක් පේනවා. ඒක විසඳන්න තියෙන ක්‍රමය මේ අයියලාද, මල්ලිලාද කවුද කින්ද මන්ද කියන එක නෙමේ. දැන් 19 වැනි සංශෝධනය ගෙනාවා. ඒක සම්පූර්ණ නෑ. ඒක 20 වැනි සංශෝධනය මඟින් සම්පූර්ණ කරන්න ඕනෑ. එතකොට ඔය ප්‍රශ්නෙ විසඳෙයි. චම්පික, රාජිත, ගානියා, ර්ඛ්ඛ් වැනි මාතෘකා පසුගිය සති කිහිපය තුළ ආන්දෝලනයට තුඩු දුන්නා. ඔබ සරලව මේවා දකින්නේ කොහොමද? 2015 ජනවාරි 08න් පස්සෙත් ඔය වගේ සන්දර්ශන මේ රටේ ජනතාව දැක්කා. දැනුත් සන්දර්ශනයක්. තමන්ගේ ඡන්දදායකයා සතුටු කරන්න සතියකට එක සන්දර්ශනයක් කිරීම හැර වෙන ගැඹුරක් නෑ. ජනතාවට මොනවද කියන්නේ අවසානෙට? ශක්තිමත් විපක්ෂයක් හදන්න ජවිපෙට ඡන්දෙ දෙන්න කියලා. සංවාදය – අනුරාධා හේරත්