ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි පිළිබඳව වාර්තා සටහන් තබා ගැනීම ආරම්භ කිරීමෙන් පසු ඇති වූ බිහිසුණුම ළැව් ගින්න මේ වනවිට එරට ප්‍රදේශ රැසක් දවා අළු කරමින් පැතිර යමින් තිබේ. බොහෝ ප්‍රදේශවල ගින්න පාලනය කිරීම කිසිසේත් කළ නොහැක්කක් බවට පත්ව ඇති අතර දස දහස් ගණනින් ජනතාව සිය ගෙවල් ‍දාරවල්, වතුපිටි, ගම්බිම් සියල්ල ගිනි රකුසාට බිලි දී පලා යමින් සිටිති. ගිනි ගැනීම් ආරම්භ වී දැන් මාස හතරකට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබේ. නමුත් තත්ත්වය තව තවත් දරුණු වෙමින් තිබෙනවා විනා අඩු වීමක් ඇති බවක් නොපෙනේ.

මේ වනවිට ගින්නට හසු වී විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර ලක්‍ෂ 60කට ආසන්න බව සඳහන් වේ. නිවාස සහ ගොඩනැඟිලි 2,500 කට කිට්ටු සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර 18 දෙනකු මරණයට පත්ව ඇත. පසුගිය සතිය තුළ පමණක් තවත් 17 දෙනකු ආගිය අතක් නැති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. සමහර පුද්ගලයන් ඔවුන්ගේ මෝටර් රථ තුළම මියගොස් සිටිය දී සොයා ගැනීමට හැකි වී තිබිණි. ඇතැමුන් මියගොස් තිබුණේ තම ගෙවල් ‍ෙදාරවල් සහ ගොවිබිම් ආරක්‍ෂා කර ගැනීම සඳහා අනාරක්‍ෂිත ප්‍රදේශවල රැඳී සිටීම හේතුවෙනි. ගිනි නිවන භටයන් රැගත් වාහනයක් ගිනි ගන්නා වනාන්තර ප්‍රදේශයක පෙරළී යෑමෙන් පසු එම භටයන් දෙදෙනකු මරණයට පත් වීම ද විශාල අවධානයක් දිනාගත් සිද්ධියක් විය. ගින්නට හසුවීමෙන් සතුන් මිලියන 500ක් පමණ මිය යන්නට ඇති බවට ද ඇස්තමේන්තු කර තිබේ. සමහර සත්ත්ව වර්ග සහ ශාක වර්ග මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙන්නට ඉඩ ඇති බවට ද පරිසර විද්‍යාඥයන් අදහස් පළ කර තිබිණි.

ළැව් ගින්නට වඩාත්ම ගොදුරු වී ඇත්තේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, සවුත් ඕස්ට්‍රේලියා වැනි ප්‍රාන්ත ය. ගින්න සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පළ වූ පුවතකින් වාර්තා වූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැවතත් සතියක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. එය සිකුරාදා (03දා) සිට ආරම්භ වීමට නියමිතව තිබිණි. එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණේ සති අන්තයේ පරිසර උෂ්ණත්වය සහ සුළඟ වැඩි වීමට ඉඩ ඇති බැවින් ගින්න වඩා දරුණු ලෙස පැතිරෙන්නට ඉඩ ඇති බවට අනාවැකි පළවීම නිසාය. මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජනතාව දස දහස් ගණනින් සිය ගම්බිම් අතහැර ඉවත්ව යමින් සිටින අන්දම මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණි. මාර්ගවල ඉතා දිගු වාහන පෝලිම් දැකගත හැකි විය. ගින්න නිසා ළඟා වීමට නොහැකි නගර සහ ගම් විශාල සංඛ්‍යාවක් ඇති බව ද වාර්තා වෙයි. මේවායේ ආහාර, ඉන්ධන ඇතුළු සැපයුම් හිඟ වී ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල පැය ගණන් රැඳී සිටීමට ජනතාවට සිදුව තිබේ. ඇතැම් වෙරළාසන්න ප්‍රදේශවල ජනයා ගින්නෙන් දිවි බේරා ගෙන තිබුණේ මුහුද වෙත දිව යෑමෙනි. බෝට්ටු සහ හෙලිකොප්ටර් මඟින් ඔවුන් ඉවත් කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් පියවර ගෙන තිබිණි. මෙම සටහන ලියමින් සිටින අතර වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ 4,000කට ආසන්න පිරිසක් ඔවුන්ගේ ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා හමුදාව ක්‍රියා කරමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ ගින්නෙන් නැඟෙන දුම එහි සිට කි.මී. 2,000ක් පමණ අෑතින් පිහිටි නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශවල පවා තුනී පටලයක් සේ පැතිර තිබූ බැව් වාර්තා විය. මෙතරම් දරුණු ළැව් ගිනි තත්ත්වයක් ඕස්ට්‍රේලියාව තුළ ඇති වීමට එක් හේතුවක්ව තිබුණේ මෙම කාලය තුළ එරට උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ යෑමයි. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් 18 වැනි දින ය. එය සෙන්ටිගේ‍ර්ඩ් අංශක 41.9ක් විය. සාමාන්‍ය උෂ්ණත්වය මෙසේ වුව ද ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 47 තරම් ඉහළ අගයක් ගත් බව ද සඳහන් විය. උෂ්ණත්වයට අමතරව දැඩි සුළං තත්ත්වය ද ගින්නට තවත් රුකුලක් බවට පත්ව තිබිණි. කෙසේ නමුත් ඉදිරියේ දී ප්‍රමාණවත් තරමින් වැස්ස වැටෙනතුරු ගින්න පාලනය කිරීම බෙහෙවින් අසීරු වනු ඇති බවට අදහස් පළ වී තිබේ. මේ ආකාරයේ ළැව් ගිනි ඇති වීමට බලපාන හේතු කිහිපයක් තිබේ. දැඩි වියළි තත්ත්වයන් තිබෙන කාලවල අකුණු ගැසීම් වැනි කාරණා නිසා පවා වනාන්තරවල ළැව් ගිනි ආරම්භ වෙයි. එමෙන්ම මිනිසුන් විසින් ඇති කරනු ලබන හේතු ද මේ සඳහා බලපාන බව රහසක් නොවේ. ගොවිතැන් කටයුතු අතර සිදුවන සිදුවීම් ද මෙහි දී ප්‍රධාන සාධකයක් ලෙස සැලකේ.

ඕස්ට්‍රේලියාව මේ ආකාරයෙන් ගිනි ගනිද්දී සහ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටියදී එරට අගමැති ස්කොට් මොරිසන් පවුල පිටින් ඇමෙරිකාවේ හවායි හි නිවාඩු සංචාරයක නිරත වීම ද විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. ඔහුගේ මෙම ක්‍රියාවට විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා දැවැන්ත විරෝධයක් එල්ල වන්නට වූයේය. ඇතැමුන් ඔහුගේ නිවෙස ඉදිරිපිට පවා රැස් වී විරෝධතා දැක්වීමට පියවර ගෙන තිබිණි. කෙසේ හෝ වේවා, අගමැතිවරයාට එරෙහිව එල්ල වූ විරෝධතා වඩාත් උණුසුම් වෙද්දී ඔහු සංචාරය අතරමැද නතර කර නැවත ඕස්ට්‍රේලියාව බලා පැමිණීමට පියවර ගත්තේය. එපමණක් නොව ඔහු ජනතාවගෙන් සමාව ගැනීමට ද කටයුතු කළේය. ‘තමුන්ගේ පවුල් ළැව් ගිනි නිසා පීඩාවට පත්ව සිටියදී මම මගේ පවුලේ උදවිය සමඟ නිවාඩුවක් ගත කිරීමට යෑම ජනතාව තුළ ලොකු කනස්සල්ලක් ඇති කර තිබීම මට තේරුම් ගැනීමට පිළිවන්.’ යයි ඔහු වරද පිළිගනිමින් පවසා තිබිණි. තමුන්ට එරෙහිව එල්ල වූ විවේචන ඉතා සාධාරණ බව පිළිගන්නා බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ළැව් ගිනි, සුළි කුණාටු, මහවැසි වැනි ස්වාභාවික විපත් ලෝකය පුරා වැඩි වෙමින් ඇති බව රහසක් නොවේ. මෙයට හේතු ලෙස බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑම වැනි කාරණායි. ඕස්ට්‍රේලියාවේ ළැව් ගින්න කේද්‍ර කරගෙන ද මේ පිළිබඳ සංවාදය ප්‍රබල ලෙස මතුවනු දැකිය හැකි විය. මෙවැනි කාලගුණික අර්බුද විසඳීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බවට නිතර චෝදනා එල්ල වෙයි.
ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස් වැනි ෆොසිල ඉන්ධන භාවිතයයි. මෙම ඉන්ධන දහනය නිසා වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් වැනි වායූන් ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපාන ලොකුම සාධකයකි. පෘථිවියට වැටෙන හිරු රැස් නිසා ඇතිවන උණුසුම නැවත අභ්‍යවකාශයට පරාවර්තනය වන්නට නොදී රදවා ගැනීමේ හැකියාවක් කාබන්ඩයොක්සයිඩ්වලට තිබේ. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වනවිට ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ මේ නිසාය. ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ විශාල වශයෙන් ගල් අඟුරු වැනි ඉන්ධන මත යැපෙන රටක් හැටියට ය. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා එරට බලධාරීන් වෙත එල්ල වන පීඩනය මේ වනවිට වඩාත් ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වේ. සනත් වික්‍රමගේ

(AUSTRALIA OUT) Fire and Rescue NSW responds to a bushfire burning out of control near properties in South Taree on the Mid North Coast of NSW, November 10, 2019. (Photo by Wolter Peeters/The Sydney Morning Herald via Getty Images)