විග්නේශ්වරන් කියන්නේ මේ වෙනකොට රටේ ගොඩක් අය කතාවෙන චරිතයක් මොකද ජාතින් අතර සමගිය නැති කරන කතා ගොඩක් මෙයා කියලා තියෙනවා මොනවා උනත් නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ කියලා තමා අපිටනම් හිතෙන්නේ….. මේ රටේ සියලු පළාත් සිංහල බෞද්ධ ලෙස හැඳින්විය හැකි වුවත් උතුරු – නැඟෙනහිර පළාත් එයට ඇතුළත් කළ නොහැකි බව දෙමළ ජනතා එකමුතුවේ නායක උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් නැවත වරක් අවධාරණය කර තිබේ. ඔහු පවසා ඇත්තේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මේ රට සිංහල බෞද්ධ රටක් යැයි ප්‍රකාශ කරන්නේ ගුටි කෑමට තිබෙන බිය හේතුවෙන් දැයි තමා නොදන්නා බවයි. විග්නේශ්වරන් මහතා පිළිබඳව දකුණේ ඇතිව තිබෙන විරෝධය පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇති අතර වැඩිදුරටත් මෙසේද කියා ඇත. “මට මාධ්‍ය ආයතනයකින් ප්‍රශ්නයක් යොමු කරනු ලැබුවා. එම ප්‍රශ්නය වුණේ මෙරට ජීවත් වන මුස්ලිම් ජනතාව හා කඳුකරයේ දමිළ ජනතාව ආණ්ඩුව හා එක්ව කටයුතු කරනවිට උතුරු නැඟෙනහිර දමිළ ජනතාව පමණක් ඇයි මුරණ්ඩු වන්නේ කියා. එහිදී උතුරු – නැඟෙනහිර පළාත් ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳව මට පැහැදිලි කිරීමට සිදුවුණා.

රටට නව ජනාධිපතිවරයකු පත්ව සිටිනවා. ඉදිරියේදී නව පාර්ලිමේන්තුවක් පත්වීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණය එක් පණිවුඩයක් ඉතාමත් පැහැදිලිව ලබාදී තිබෙනවා. එනම් සිංහල ජනතාව එක් ආකාරයකට සිතනවිට දමිළ ජනතාව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට සිතන බවයි. අභිනව ජනාධිපතිවරයා සිංහල බෞද්ධත්වය නඟාසිටුවීමට ඉදිරිපත්ව සිටිනවා. ඒ අනුව උතුරේ බෞද්ධ වෙහෙර විහාර, සිද්ධස්ථාන සංකේත ස්ථාපිත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. ඉතිහාසය නොකියවූ ඇතැම් බුද්ධිමතුන් මේ රට බෞද්ධ රටක් ලෙසත් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමෙන් දමිළ ජනතාවට ගැටලුවක් නොමැති බවත් ප්‍රකාශ කරමින් සිටිනවා. මෙම ප්‍රකාශය කොතරම් දුරට අපට බලපෑමක් ඇති කරන්නේද යන්න ඔවුන් නොසිතනවා ඇති. උතුරේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංකේත වෙනුවෙන් රුපියල් කෝටි 500ක් අය-වැයෙන් වෙන් කරන විට ඒ බව දැන දැනත් දමිළ නායකයන් එය නොදැක්කා සේ හැසිරුණා. එයට හේතුව එවක අග්‍රාමාත්‍යවරයා විසින් ඔවුන්ට කෝටි 300ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව පැවැසීමයි. ඒ හේතුවෙන් මේ වනවිට උතුරු නැඟෙනහිර පළාත්වල බෞද්ධ සංකේත ශීඝ්‍රයෙන් ස්ථාපිත වීම ආරම්භ වී තිබෙනවා. එම තත්ත්වය අද අපේ නායකයන් කියන පුද්ගලයන්ට වළක්වා ගැනීමට නොහැකිව තිබෙනවා.

ආර්ථික සංවර්ධනය යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන විට අප අපගේ සිත්හි යමක් තබා ගත යුතුව තිබෙනවා. ඔවුන් අප අතට කර්මාන්ත ශාලාව ලබාදී ආදායම මධ්‍යම ආණ්ඩුව විසින් ලබා ගනු ඇති බව දැනටමත් අපගේ ඉඩම් මංකොල්ලකමින් තිබෙනවා. එම තත්ත්වය අපට වළක්වා ගැනීමේ හැකියාවක් ලැබී නැහැ. හමුදාව යොදා ගනිමින් ආර්ථික සංවර්ධන කටයුතු සිදුකරන්නේ නම් එයින් වන ප්‍රතිවිපාක පිළිබඳව අපගේ නායකයන් සිතන්නේ නැහැ. අද ජනාධිපතිවරයා යටතේ පවතින හමුදාව රජයේ සුරතල් දරුවන් බවට පත්ව තිබෙනවා. එබැවින් මින් ඉදිරියට රජය විසින් ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් ජනතාව විසින් නතර කිරීමට උත්සාහ කරනු ඇතැයි කියන්න බැහැ. රටේ මෙවැනි වතාවරණයක් පැවැතීම හේතුවෙන් මේ රටේ ඉතිහාසය පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීමට සිදුවුණා. සිංහල බෞද්ධයන් යැයි පවසා ගන්නා විශේෂයෙන් ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේ මේ රටේ ඉතිහාසය පිළිබද සත්‍යය දැන සිටිනවා. එහෙත් ඔවුන් එම සත්‍ය හෙළිදරව් වීම වළක්වා තිබෙනවා. මීට ඉහත ටික කාලයකදී මර්වින් සිල්වා මහතා රඟදැක්වූ දුටුගැමුණු නාට්‍යය ජනතාවට මතකයේ ඇති. දමිළ ජනතාව මෙරටින් පලවාහැර මේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීමට ඔවුන් උත්සාහ දරනවා. අපගේ නායකයනුත් මේ රට සිංහල බෞද්ධ රටක් බව පවසමින් සිටිනවා. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ රට සිංහල බෞද්ධ රටක් යැයි ප්‍රකාශ කරන්නේ කවරකුගෙන් හෝ පහර කාගෙන දැයි නොදන්නා අතර පහරකෑමට තිබෙන බිය හේතුවෙන් දැයි මම දන්නේ නැහැ. නමුත් පවතින සත්‍යය එයයි.

උතුරු – නැඟෙනහිර පළාත්වල බහුතරය වන්නේ දමිළ ජනතාවයි. ඔවුන් අතීතයේ සිටම උතුරු නැඟෙනහිර පළාත්වල බහුතරය වශයෙන් ජීවත් වෙනවා. මෙම ජනතාව හින්දු, කතෝලික හා මුස්ලිම් ආගම් අදහන ජනතාවයි. එකල ජීවත් වූ බෞද්ධ දමිළ ජනතාව නැවතත් හින්දු ආගම වැලඳගෙන තිබෙනවා. එබැවින් උතුරු – නැඟෙනහිර පළාත් සිංහල බෞද්ධ රටක් යන සංකල්පය තුළට ගත නොහැකියි. මෙම සත්‍ය දන්නා බැවින් මම මේ සත්‍ය හෙළිදරව් කරනු ලැබුවා. 1956 වසරේදී උතුර – නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට එකම භාෂාවකින් පරිපාලනය කෙරුණා. එබැවින් මෙම කාරණය මුළු රටම දැනගත යුතුයි. ලෝකයා දැනගත යුතුයි. විශේෂයෙන් මෙම කාරණය අපගේ මෝඩ නායකයන් දැනගත යුතුයි. මම මැරුණත් මා විසින් මේ ඉදිරිපත් කරන සත්‍යය සිංහල ජනතාව විසින් නැවත නැවතත් සිතනු ඇති. දැනටමත් සිංහල තරුණ තරුණියන් මේ පිළිබඳ සත්‍යය සෙවීම ආරම්භ කර තිබෙනවා. එබැවින් දකුණේ මා පිළිබඳව දැඩි විරෝධයක් පවතින බව මම හොඳාකාරව දන්නවා. ඇත්ත තිත්ත බව එයින් පැහැදිලි වී තිබෙනවා.” ලක්ෂ්මී ජයකොඩි