ලෝකේ තාක්ෂණයඅතින් දවසින් දවස තත්පරෙන් තත්පරේ ඉදිරියට ගමන් කරනවා ඒ වගේම මිනිස් ජනගහනයත් දිනින් දින වැඩිවෙනවා එනිසා නවීන තාක්ෂණය උපරිම ඵලදායී ආකාරයෙන් භාවිතා කරමින් නගර වැසියන්ගේ ජීවන තත්වය වඩා යහපත් කරන්න පුළුවන් smart වැඩපිළිවෙලක් ගැන ස්පාඥයේ බාසිලෝනා නගරයෙන් වාර්තා වනවා. කලින් වාහන තදබදයෙන් සහ අධික ශබ්දයෙන් පිරී තිබුනු නගරය මේ වන විට ඉතාම සාමකාමී නිදහස් තැනක් බවට පත් වෙලා තිබෙනවා. වාහන නවතා තැබූ අංගන ගස් වලින් හෙවන වුනු ක්‍රීඩා පිටි බවට පරිවර්තනය වෙලා තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බාසිලෝනා වැසියන්ට ව්‍යායාම් කරන්න පුළුවන් විදියේ ස්ථාන පවා ඇති කරල තිබෙනවා. අධික වාහන තදබදයත් වායු දූෂණයත් නිසා අසනීප තත්වයන්ට ලක් වෙන නගර වැසියන්ගේ ජීවිතය යහපත් කිරීම සඳහා ගන්න පුළුවන් පියවර මොනවද කියල සොයා බලන්න බාසිලෝනා බලධාරීන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරල තියෙනවා.

මේ විදියෙ superblocks හයක් මේ වන විට නගරය පුරා ඇති කරල තියෙන බව වාර්තා වනවා. මේ කලාප වල ගමන් කරන්නේ ඉතාම සීමිත සහ අත්‍යවශ්‍ය වාහන පමණයි. නගර වැසියන්ගේ වාහන නවතා තබන්නට නගරයේ පොළොව අභ්‍යන්තරයේ ස්ථාන වෙන් කර දී තිබෙනවා. කොහොම වුනත් මේ සැලැස්මට විරුද්ධ නගර වැසියන් පිරිසකුත් ඉන්න බව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ගේ අඩු වීමෙන් යම් පීඩාවකට ලක් වෙලා තිබෙනවා. කොහොමවුනත් නගරයේ ඉඩ ප්‍රමාණයෙන් 60% පමණ අනවශ්‍ය ලෙස අපතේ යන බවයි බාසිලෝනා නගරයේ නියෝජ්‍ය නගරාධිපති Janet Sanz සඳහන් කරන්නේ. ඒ වගේම නගර වැසියන්ගේ පුද්ගලික තොරතුරු CCTV දර්ශන ආදී වැදගත් දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් විශේෂ වැඩපිළිවෙලක් මේ සමගම ක්‍රියාත්මක වනවා. Smart තාක්ෂණයත් සමගම නගරවැසියන්ගේ අත්දැකීම් හා දැනුම වඩා හොඳ පොදු සමාජ ක්‍රියාවලියක් නිර්මාණය කරන්න උපයෝගී කරගන්නෙ කොහොමද යන්න සොයා බැලීමත් මේ ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රධාන අරමුණක් වනවා.

අනෙක් අතින් එදිනෙදා කටයුතු වලට අවශ්‍ය විදුලිය, ඉන්ධන වගේ ශක්ති අවශ්‍යතාවයන් වඩා පරිසර හිතකාමී ක්‍රම වලින් උත්පාදනය කරන්න පුළුවන් කොහොමද යන්න ගැන සොයා බලන්නත් විශේෂ පුද්ගලයන් මේ වන විටත් පත් කර තිබෙනවා. අනෙක් අතට නගරයේ වැඩිහිටි ජනතාවගේ අවශ්‍යතා ගැටලු නිරාකරණය කරන්න නවීන තාක්ෂණය උපයෝගී කරගන්නෙ කොහොමද කියල සොයා බලන්නත් මේ සමගම ඔවුන් කටයුතු කරනවා. ඉතින් මේ විදියට නගරයේ සහ වැසියන්ගේ පැවැත්මට අනවශ්‍ය බාධාවන් ඇති කරන කටයුතු පාලනය කරන ගමන් වඩා ඵලදායී විදියට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නත් නවීන තාක්ෂණය නිසි ආකාරයෙන් යොදාගෙන ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නත් බාසිලෝනා පරිපාලනය කටයුතු කරමින් ඉන්නවා තුන් වන ලෝකයේ රටවල් විදියට අපි ලෝකෙ හැම තැනකම සොයා ගන්න නවීන තාක්ෂණික උපකරණ සහ සේවාවන් කිසිම සොයා බැලීමක් හරි අධ්‍යයනය කිරීමකින් හරි තොරව සමාජයට පොම්ප කිරීම අපි ලබන දියුණුවක්ද කියල නැවත සිතා බලන්න මේ කාරණය හොඳම උදාහරණයක්. පාලකයන් වගේම ජනතාවත් මේ කාරණා ගැන නිසි අධ්‍ය්නයක් කළ යුතු කාලය උදා වෙලා තිබෙනවා. තාක්ෂණය ගැන වෙනස් කියවීමක් අපිට වගේම සෑම තුන්වන ලෝකයේ රටක් විසින්ම අනුගමනය කළ යුතු වනවා.