අද අපි ඔයාලට අරගෙන ආවේ අපේ ලෝකෙට නැතුවම බැරි දෙයක් ගැන මොකද මේ දේ ලෝකයෙන් නැතිව ගියොත් අපි සදහටම නැතිවෙලා යන්න ඉඩ තියෙනවා  එදා ගමේ වෙද රාළ ගම්මුන් සුවපත් කිරීමට භාවිතා කළ “තෙල්” යන නාමය මෙම හලාහල විස හැඳින්වීමට ද යොදා ගනු ලැබුවේත් උපක්‍රමශීලී ව බව ඔබට වැටහෙන්නේ ද? වස විස නිසා පොළෝ තලය තුළ සිටින “ ගොවියාගේ සැබෑ හිත මිතුරන්” වන පාංශු ජීවීන් විනාශ වන අයුරු අධ්‍යයනය කළ අපගේ අවධානය හෙළ සුවය විසින් මෙතැන් සිට, වාතලය ජය ගත් තවත් සැබෑ ගොවි හිතමිතුරන් වූ කෘමි සතුන් දෙසට යොමු කරනු ලැබීය. බෝග වගාවේ මල් පරාගණය කරමින් වැඩි අස්වැන්නක් ගෙන දෙන මෙම සතුන් බෝග අස්වැන්නේ ප්‍රමාණය පමණක් නොව ගුණාත්මය ද වැඩි කරන බව ඔබ දන්නවා ද? හෙළ සුවයේ දැනුම ඔස්සේ මේ වග අවබෝධ කර ගත් අපි ඉදිරියේ දී ඔබටත් ඒ දැනුමෙන් බිඳක් ගෙන එන්නෙමු.

තුරුලතා රකින කෘමි සතා ගසක වර්ධනය යනු පස (ශිලා ගෝලය), වාතය (වායු ගෝලය) හා ජලය (ජල ගෝලය) පමණක් නොව ඉර, හඳ, තාරකා ද ඇතුළු සියලු පරිසර අංගවල මනා සමතුලිතභාවයක් විසින් තීරණය කරනු ලබන සංකීර්ණ ක්‍රියාවලියක් බව හෙළ සුවයේ දැනුමයි. එය අවබෝධ ගත් අප අතීත මුතුන්මිත්තෝ හෙළ ගොවිතැන තුළින් පෝෂණයෙන් හා ඖෂධ ගුණයෙන් අනූන ආහාරයක් රටට දායාද කොට පරමායුෂ විඳින කායික, මානසික හා ආධ්‍යාත්මික නිරෝගීභාවයෙන් අග තැන්පත් ජන ප්‍රජාවක් බිහි කළහ. එහි දී, වායු ගෝලයේ වෙසෙන කෘමි සතුන්ගේ ක්‍රියාකාරිත්වය අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තා නිසැක ය. ඒ අතුරින් පරාගණය සඳහා වැදගත් වන කෘමීන්ගේ ක්‍රියාවලිය දෙසට අපි මදක් යොමු වෙමු. කෘමි සතුන් තම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රොන් ගැනීමට මලින් මලට පැමිණේ. එහි දී, කෘමියා එක් මලක පරාග, එනම් තවත් පරපුරක් බිහි කරන ප්‍රවේණි ද්‍රව්‍ය, තවත් මලක් වෙත රැගෙන ගොස් එම මලේ කලංකය මත තැන්පත් කරයි. එම ක්‍රියාවලිය කෘමි පරාගණය ලෙස හැඳින්වේ. මෙහි දී, එම කෘමීන් රොන් ගැනීමට අමතරව තම බිත්තර ද එම ශාක කොටස් මත තැන්පත් කරයි. ශාක-කෘමි අන්තර් සම්බන්ධතාවය ඔබ සිතනවාට වඩා ඉතා සුවිශේෂී බව පහත විස්තර අනුව ඔබ තේරුම් ගනු ඇත.

මලෙන් පෝෂණය ​ෙවන කෘමීන් ගස පෝෂණය කරන හැටි…. ගසක මනා පැවැත්ම හා ස්වාභාවික කෘමි ක්‍රියාකාරිත්වය කිසිසේත් වෙන් කළ නොහැක්කකි. “හෙළ සුවය” වැඩ සටහන තුළින් අප ලත් අවබෝධයට අනුව මලේ කෘමි පරාගණයත් ශාක කොටස් මත බිත්තර දැමීමේ ක්‍රියාකාරිත්වයත් තුළ කෘමි ශරීර වලින් නිකුත් කරන නොයෙක් රසායනිකයන් (හෝර්මෝන/ෆෙරමෝන) නිසා මල් උත්තේජනය වී විවිධ රසායනික වර්ග සෑදෙමින් මලෙන් පිට වේ. මෙම රසායනිකයන් මලෙන් පිට වීම එහි හෝර්මෝන ක්‍රියාවලිය නිවැරදිව සිදු වීම සඳහා වැදගත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙසට සෑදෙන බීජ වල සුවිශේෂී තන්තු වර්ග නිෂ්පාදනය වේ. බීජයක බාහිරින් ඇති, බීජයක ආරක්ෂක පටකවල ද මෙම තන්තු වර්ග විවිධ අයුරින් නිෂ්පාදනය කරවයි. බීජයේ තන්තු වැඩි වශයෙන් නිපදවා ගැනීම තුළින් එහි ආරක්ෂාවට හා බීජ ප්‍රචාරණ ක්‍රියාවලියට ද උදව්වක් ලැබේ. එම කෘමි ක්‍රියාවලිය සිදු නොවන තාක් බීජයේ එම තන්තු නිපදවීම ද සිදු නොවන බව අප තරයේ අවබෝධ කර ගත යුතු වේ. තව ද, මෙම බීජවල හා ඵලවල ක්‍ෂුද්‍ර පෝෂක, එනම් විටමින් හා ඛනිජ ලවණ නිෂ්පාදනය සඳහා ද කෘමීන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. හෙළ සුවයේ දැනුමට අනුව, කෘමීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා ආහාරයේ ඇති වන ක්ෂුද්‍ර පෝෂක අතර ප්‍රධාන වන්නේ විටමින් A, D සහ B 4 ය.

ආහාර දිරවීම හා අවශෝෂණය සුවපත් කරන කෘමි පරාගණය: ස්වාභාවික කෘමි පරාගණයෙන් නිපදවන ආහාර ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හෙවත් ජෛව රසායනික ක්‍රියා සමතුලිත කොට අපව නිරෝගී කරයි. විශේෂයෙන්ම ධාන්‍ය වල නිවුඩ්ඩේ ඇති වන විශේෂිත තන්තුවලට සම්බන්ධ වූත් ඒවාටම අනන්‍ය වූත් විවිධ ඖෂධීය රසායනික වර්ග නිසා එම ආහාර පරිභෝජනයෙන් ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය එන්සයිම හා HCL අම්ලය ස්‍රාවය වීම නියමාකාරයෙන් උත්තේජනය සිදු වේ. එය ආහාර ජීර්ණ හා අවශෝෂණ ක්‍රියාවලිය ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වීම සඳහා ඉතා වැදගත් වේ.

පිළිකා, දියවැඩියා ඇතුළු බෝ නොවන රෝග වළකන සුව කරන කෘමි ක්‍රියාව: තව ද, මෙම තන්තු වල ඇති පිළිකා හා දියවැඩියා නාශක ගුණ සහිත සංයෝග නිසා එම තන්තු සහිත ආහාර පරිභෝජනයේ දී ශරීරයට පිළිකා හා දියවැඩියා නිවාරණ ගුණ ලැබෙන බව අපි දැන ගත්තෙමු. මෙහි විශේෂත්වය නම් පිළිකා කාරක ආහාර මාර්ගයට ඇතුළු වූවත් මෙම තන්තු හමුවේ එම පිළිකා කාරක මල පහ හරහා ශරීරයෙන් බැහැර වීමත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම තුළින් විෂ හරණය වීමත් ය. ආහාරයේ තිබෙන මෙම තන්තු උපස්තරයක් ලෙස භාවිතා කරමින් වර්ධනය වන නිවැරදි හිතකර ක්ෂුද්‍ර ජීවී ගහනයක් පවත්වා ගැනීමට ද මේ හරහා පදනම දැමේ. මේ අනුව, කෘමි පරාගණය තුළින් නිපදවන අහරින් වත්මන් ඖෂධ වලින් සුව කළ නොහැකි ගැස්ට්‍රයිටිස්, දියවැඩියා, පිළිකා වැනි බෝ නොවන රෝග සුව කිරීමේ හැකියාව ඇත. එසේ නම් අපේ නිරෝගීකම රකින කෘමියා ගොවියා ගේ පමණක් නොව කුදු මහත් සමාජයේම හැබෑම මිතුරෙකි.

ඉහත සඳහන් වූ දැනුම් සම්භාරය වත්මන් සමාජයට පිළිගත හැකි මට්ටමට යම් තරමකින් හෝ තහවුරු කිරීමට හැකි විද්‍යාත්මක දත්ත සෙවීමට අපි උත්සුක වූයෙමු. කෘමි පරාගණය නිසා අස්වැන්නේ තන්තු වැඩි ​වන හැටි…… කෘමි පරාගණය නිසා භෝග අස්වැන්නේ තන්තු ප්‍රමාණය වැඩි වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණයක් දෙසට අපි මුලින්ම යොමු වෙමු. බ්‍රසීලයේ කපු වගාව ආශ්‍රිතව කෙරුණු ක්ෂේත්‍ර අධ්‍යයනයක් මේ පර්​ෙ‌ය්ෂණය සඳහා පාදක කර ගෙන ඇත. මෙහි දී, විද්‍යාඥයින් විසින් කපු වගාව සාම්ප්‍රදායික ලෙස, එනම් කෘෂි රසායනික භාවිතා කොට සිදු කරන වගා බිම් හා කාබනික (කෘෂි රසායනික නොමැතිව) ලෙස සිදු කරන වගා බිම් වල අධ්‍යයනයක් සිදු කොට ඇත. එහි දී, නිරීක්ෂණය කළ සුවිශේෂී තත්ව කිහිපයක් අපි බලමු. කපු යනු කෘමි පරාගණය මත යැපෙන භෝගයක් නොවුණත් (ස්ව-පරාගණය වන භෝගයකි) වගා බිම් තුළ මී මැස්සන් ගේ පරාගණය නිසා කපු තන්තු වල බර මී මැසි පරාගණය සිදු නොවන ගස් වල (එනම් කෘමින්ගේ පැමිණීම වැළකීම සඳහා ආවරණය කරන ලද ගස්) පලදාවට සාපේක්ෂව 12% කින් වැඩි වී ඇත. තව ද, බීජ සංඛ්‍යාව ද 17% කින් වැඩි වී ඇති බව සොයා ගැනින. මේ අනුව පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් කෘමි පරාගණය මත පදනම් නොවන ගස් වල පවා කෘමි පරාගණය තුළින් අස්වැන්නේ ප්‍රමාණාත්මක ගා ගුණාත්මක දියුණුවක් අත් කර ගත හැකි බවයි.

කෘමි පරාගණය නිසා අස්වැන්නේ ක්‍ෂුද්‍ර පෝෂක වැඩි ​වන හැටි… ලෝකයේ ආහාර බෝග නිෂ්පාදනයෙන් 35% ක පමණ ප්‍රතිශතයක් කෘමි පරාගණය මත යැපෙන බවත්, ඒ අතුරින් ප්‍රධානතම ආහාර බෝග 87 කම නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එය වැදගත් වන බවත් කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යාඥයෙකු (UC Berkeley) විසින් 2006 වසරේ පැවති ජෛව විද්‍යාත්මක සැසියක දී (Royal Society of Biological Sciences) ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඊට සමගාමීව ඇමරිකානු පර්​ෙ‌ය්ෂණ කවුන්සිලය (National Research Council) ද ඊට සමාන අදහසක් පළකොට ඇත. එසේ නම් කෘමි පරාගණය බෝග වගාවේ අස්වැන්න පමණක් නොව එම ආහාරයේ පෝෂණ ගුණය ද වැඩි කරන බව පැහැදිලි ය. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization) හා ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (United States Department of Agriculture) දත්ත වලට අනුව ප්‍රධාන බෝග 150 ක් සම්බන්ධව සිදු කරන ලද පෝෂණ පරීක්ෂණයක් කෙරෙහි අපි ඔබගේ අවධානය යොමු කරමු. එම නිරීක්ෂණ වලට අනුව, විටමින් C වලින් 90% ක්ම ලැබෙන්නේ පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් කෘමි පරාගණය මත යැපෙන භෝග වලිනි. සියලුම ප්‍රතිඔක්සිකාරක (ශරීරගත විෂ නසන ගුණ සහිත ශාක රසායනික), විටමින් E මුළුමනින්ම පාහේ හා බහුතරයක් ලිපිඩ, විටමින් A, කැල්සියම් හා ෆ්ලෝරයිඩ් අඩංගු භෝග වර්ග කෘමි පරාගණය මත පදනම් වී ඇත. මේ අනුව, අත්‍යාවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක සැපයීම කෙරෙහි කෘමින්ගේ සේවය අතිමහත් ය.

චන්ද්‍ර කලාව අනුව යන කෘමි කලාව “කළුවරට පූදින්න වගා කළහොත් වී ඇට ගල් කැට වගේ හොඳින් පිරී අස්වැන්න වැඩි වෙනවා” යන කියමනක් සාමාන්‍ය ගැමි වහර තුළ දී ගම්මුන් අතර කතා බහට ලක් වනවා අප කොතෙකුත් අසා ඇත. මේ පිළිබඳව හෙළ සුවයේ විශේෂ අවධානය යොමු වූයේ වත්මන් සමාජය තුළ මේ පිළිබඳ ව ඇති දැනුම ඉතා අල්ප නිසා ය. මෙහි දී චන්ද්‍ර කලාවේ බලපෑම ඉතා වැදගත් වන්නේ එහි විවිධ කිරණවල අඩංගු ශක්ති ප්‍රභේද කෘමීන්ගේ ප්‍රජනක හෝර්මෝන වල උත්තේජනයන් කෙරෙහි ඇති කරන බලපෑම නිසාය. ඒ නිසා කෘමීන්ගේ ප්‍රජනක ක්‍රියාවලිය වැඩි වී, ක්‍රියාශීලී බව වැඩි වී ආහාර ගැනීම උදෙසා වැඩි වැඩියෙන් ශාක පරිහරණය කිරීම සිදු වේ. මෙහි දී, “කළුවර” යනු සඳ එළිය නොමැති කාල පරිච්ඡේදය වන අතර “පූදිනවා” යන්න මල් හට ගන්නා (මල් පීදෙන) කාලයයි. එනම්, සඳ එළිය නොමැති විට

නවීන විද්‍යාවට අනුව. මේ සම්බන්ධව සිදු කරන ලද විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ පිළිබඳව සොයා බැලීමේ දී අපට හමු වූ සුප්‍රසිද්ධ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයක් වන “නේචර්” (Nature) සඟරාවේ කෘමි ක්‍රියාකාරිත්වය කෙරෙහි චන්ද්‍රයාගේ බලපෑම (“Effect of Moonlight on Insect Activity”) නමින් වසර 1951 දී පල කරන ලද විශේෂ පර්​ෙ‌ය්ෂණ ලිපියක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. එහි දී, මාස කිහිපයක් තුළ විවිධ චන්ද්‍ර කලාවන් තුළ දී සමනළයින් (Lepidoptera) හා මැස්සන් (Diptera) ඇතුළු සියලුම කෘමීන්ගේ සංඛ්‍යාව සංසන්දනාත්මකව අධ්‍යයනය කරමින් (එනම්, ආලෝක ප්‍රභවයක් කරා පැමිණෙන සියලු කෘමීන් එකතු කර එම සංඛ්‍යා වල ගුණෝත්තර මධ්‍යන්‍යය ගණනය කිරීමෙන්) පර්​ෙ‌ය්ෂණයක් දියත් කරන ලදී. එම දත්තවලට අනුව, චන්ද්‍ර කලාව ආරම්භයේ දී හෝ එය ආරම්භ වී කෙටි කාලයකින් (at, or shortly after, new moon) එකතු කර ගත් සියලුම කෘමීන් සංඛ්‍යාවේ මධ්‍යන්‍යය අගයන් පූර්ණ චන්ද්‍ර කලාවේ (full moon) එම අගයන් මෙන් තුන් හතර ගුණයකින් වැඩි බව නිරීක්ෂණය කරන ලදී. මෑතක දී, එනම් 2017 දී Journal of Entomology and Zoology Studies විද්‍යාත්මක සඟරාවේ ද ඉන්දියානු පර්​ෙ‌ය්ෂකයින් පිරිසක් විසින් පළ කළ “The effects of moon light phases on light trap catches of insects” ලිපියෙන් ද පැහැදිලි වන්නේ චන්ද්‍රයාගේ පුර පක්ෂය (ascending phase) හා කෘමි ගහනය අතර ඉතා පැහැදිලි සෘණාත්මක සහසම්බන්ධයක් (Highly significant negative correlation), එනම් සඳේ පුර කලාවේ වැඩි වීමත් සමඟ කෘමි ගහනය ඉතා පැහැදිලි ලෙස අඩු වන බවයි. චන්ද්‍රයා ගේ අව පක්ෂයේ දී (descending phase) එවන් කිසිදු පැහැදිලි සම්බන්ධයක් නොමැති (non-significant correlation) බවත් මෙහි තවදුරටත් සඳහන් ය.

අප මුතුන්මිත්තෝ දැන සිටි “කෘමි-කෘෂි” සබැඳියාව … ඒ අනුව, බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය බිහිවීමටත් පෙර අප රටේ පෞරාණික හෙළ ගොවිතැනේ යෙදුණු අප මුතුන්මිත්තන් ගේ දැනුමේ කොටසක් වූ මේ අගනා ‘කෘමි-කෘෂි සම්බන්ධය නිසා භෝගයේ තන්තු, විටමින්, ඛනිජ ලවණ මෙන්ම අස්වැන්න ද ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද වැඩි වන බව පැහැදිලි වේ. එසේ නම් ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි මෙම සතුන් ගේ බලපෑම සුළුකොට තැකිය හැකි ද? මේ පිළිබඳව අපි තවදුරටත් සලකා බලමු වෛද්‍ය කුමුදු දහනායක  (MBBS, DLM, MD)