ඒ සඳහා නොයෙක් ආකාරයේ පෙර සූදානම් කටයුතු වශයෙන් තමන්ගේ රැකියා ස්ථානය, ව්‍යාපාරික ස්ථානය වගේම විශේෂයෙන් තමන්ගේ නිවෙසද පිරිසුදු කිරීම, වර්ණ ගැන්වීම නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීම, තිර රෙදි අලුත් කිරීම ආදී කටයුතු සිදුකරයි. මේ සියලු කටයුතුවල පරමාර්ථය වන්නේ ඉතාමත් ශුභවාදීව සතුටින් සහජීවනයෙන් යහපත් ජීවිතයක් ගත කිරීමයි. එම නිසා එම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිවෙස වර්ණ ගැන්වීම, ගෘහභාණ්ඩ තෝරා ගැනීම සහ අලංකාරය සඳහා ගෘහභාණ්ඩ නැවත ස්ථානගත කිරීම ආදී කටයුතු වාස්තු ශාස්ත්‍රයට ප්‍රමුඛත්වය දෙමින් සිදුකිරීමෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. වාස්තු ශාස්ත්‍රය වනාහි ස්වාභාවික ශක්තීන් මිනිසාගේ යහපත් පැවැත්ම සහජීවනය සෞභාග්‍යය සහ සියලු කටයුතු සාර්ථකව මෙහෙයවීමට යොදාගත හැකි ක්‍රමවේදයකි.

නිවෙසක සක්‍රිය බව විදහාපාන අංගයක් ලෙස වර්ණ භාවිතය සැලකිය හැකිය. වර්ණ පිළිබඳ පර්යේෂණය කරන ලද විශේෂඥයන් පවසන්නේ වර්ණ ශක්තීන් සපයන බවත් සෑම වර්ණයකින්ම පෝෂණීය බලපෑමක් ඇති කරන බවත්ය. රෝගී සිරුරක් නිවැරදි වර්ණ ආලෝකයට නිරාවරණය කිරීමෙන් සුවකිරීම වර්ණ චිකිත්සාව ලෙස හැඳින්වෙන අතර මිනිසා විසින් කරන ලද පළමු ප්‍රතිකාර ක්‍රමයද මෙය වේ. ආලෝකය ප්‍රාථමික වර්ණ හතකින් සමන්විත වේ. ඒ වාගේම අපගේ ශක්ති ශරීරයේ ශක්ති මධ්‍යස්ථාන හෙවත් චක්‍ර හතෙන් දිස්වන්නා වූ වර්ණයන් හතද ආලෝකයේ පවත්නා වර්ණ හතට සමාන වේ. වර්ණයන් අපගේ ශරීරයේ යම් කොටසක් සමඟ සම්බන්ධ වී ඇති අතර එය අපට ශාරීරික හා මානසික වශයෙන් වෙනස් ලෙස බලපානු ඇත. එම නිසා නිවෙසේ වර්ණ ආලේප කිරීමේදී අවබෝධයෙන් යුතුව සිදුකිරීම ඉතාමත් යෝග්‍ය වේ.

කොළ වර්ණය

සොබාදහම සංකේතවත් කරන කොළ වර්ණය සිත සැහැල්ලු කිරීමට උපකාරි වේ. නිවෙස තුළ සන්සුන් සහ අභ්‍යන්තර සාමය ජනනය කරයි. ධනාත්මක ශක්තීන් වර්ධනය කරන බැවින් අධ්‍යාපන කාමරයක් සඳහා ඉතාම සුදුසුය.

කහ වර්ණය

ඉතාමත් දීප්තිමත් සහ ශක්තිජනක වර්ණයකි. ඉවසීම, ප්‍රභාව නියෝජනය කරන අතර මොළය උත්තේජනය කිරීම සහ මනසේ නිරවුල් බව පෝෂණය කරයි. හිරුඑළිය කෙළින්ම වැටෙන කාමරයන් සඳහා නිර්දේශ නොකරන අතර කාර්යාල කාමර, අධ්‍යාපන කාමර, විසිත්ත කාමර සහ මුළුතැන්ගෙය සඳහා භාවිත කිරීමට සුදුසු වර්ණයක් වේ.

රෝස වර්ණය

කාන්තාවන්ගේ වර්ණයක් ලෙස හැඳින්වුවත් සිත සන්සුන්ව තබා ගැනීමට උපකාරි වන සතුට, පී්‍රතිය සහ පාරිශුද්ධත්වය නියෝජනය කරන වර්ණයකි. ප්‍රධාන නිදන කාමරයට මෙන්ම පොදුවේ නිරිත , දකුණු දිශාවන්හි කාමර සඳහා යෝග්‍ය වේ.

රතු වර්ණය

බලය, ජීව ශක්තිය නියෝජනය කරන අතර උණුසුම විදහා දක්වන මනෝභාවයන් ආලෝකවත් කරන වර්ණයකි. ජීවිතය සඳහා උදේ‍යාගය ඇති කරන, ක්‍රියාකාරිත්වය වර්ධනය කරන වර්ණයක් සේම ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි වර්ණයකි. ළමයි අධ්‍යාපනය කරන කාමර, ක්‍රීඩා කරන කාමර සඳහා රතු වර්ණය ඉතාමත් අයහපත්ය.

සුදු වර්ණය

සංශුද්ධතාව සංකේතවත් කරයි. එය අලංකාර වර්ණයක් වන අතර අනෙක් වර්ණ සමඟ සංයෝජනය වන විට හොඳ පෙනුමක් සේම ආලෝකය පරාවර්තනය කර දීප්තිමත් කරන බැවින් සුදු වර්ණය සිවිලිම, නාන කාමර සහ අනෙකුත් ඕනෑම ස්ථානයකට භාවිත කළ හැකිය.

නිල් වර්ණය

සන්සුන්භාවය සහ තෘප්තිය සංකේතවත් කරන නිල් වර්ණය නිදන කාමර, භාවනා කාමර, විවේකීව සිටීම සඳහා යොදාගන්නා කාමර සඳහා යහපත් වන අතර කුඩා කාමර සඳහා යෝග්‍ය නොවේ.

දම් වර්ණය

ගෞරවය සහ වංශවත් බව නිරූපණය කරන අතර ආගන්තුක කාමරය සඳහා පරිපූර්ණ තේරීමක් වේ.

තැඹිලි වර්ණය

ආහාර රුචිය උත්තේජනය කිරීමේ හැකියාව සහිත උණුසුම, සුවපහසුව සහ ශක්තිය නියෝජනය කරන ධනාත්මක හැඟීම් ඇති කරවන වර්ණයකි. විසිත්ත කාමර තුළ විශිෂ්ට පෙනුමක් ඇති කරන මුත් සැහැල්ලු තැඹිලි වර්ණය යම් අවකාශයක භාවිත කළ හැකිය. කෑම කාමරය සඳහා ඉතාමත් යහපත් වේ.

නිවෙසක් සක්‍රිය කිරීමට මෙන්ම නිවෙසක පවතින වාස්තු දෝෂයන් අවම කර ගැනීම සඳහා ඉතාමත් සරල විසඳුම් ලෙස වර්ණ ගැන්වීම් මඟින් කරන පිළියම් හඳුන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස ගිනිකොන දිශාවේ නිදන කාමරයක් ගැහැනු ළමයින්ට වෙන්කිරීම වරදක් නොවන අතර එම දිශාවේ කාමරයක් භාවිත කිරීමෙන් ඇතිවෙන නොරිස්සුම් සහගත තත්ත්වයන් සහ නින්දට බාධාවීම් ආදී තත්ත්වයන්ගෙන් මිදීමට එම කාමරය සුදු, රෝස හෝ කහ පැහැයෙන් වර්ණ ගැන්වීම සිදුකළ යුතුය. වයඹ දිශාව මුළුතැන්ගෙය හෝ අලුත විවාහ වූ යුවළකගේ කාමරය සඳහා සුදුසු අතර එසේ නොවී වෙනත් කාමර පිහිටා ඇත්නම් එම කාමර නිල් වර්ණය යොදාගෙන වර්ණ ගැන්වීම සිදුකළ යුතුය. මෙලෙස අනෙකුත් දිශාවන්ටද වාස්තු දෝෂයන් අවම කිරීම සඳහා වර්ණ භාවිත කළ හැකි අතර සියලු වර්ණ ගැන්වීම් සඳහා ළා වර්ණයන්ම තෝරා ගත යුතුය. නිවෙසේ පිටත සඳහා දිශානුගත මූල ධාතුන්ට අනුව වර්ණ ගැන්වීම සෞභාග්‍යය කෙරේ වැදගත් සාධකයක් වේ. ඒ අනුව උතුරු දිශාවට නිල් පැහැයට ආශි්‍රත වර්ණද, නැඟෙනහිර දිශාවට කොළ පැහැයට ආශි්‍රත වර්ණද දකුණු දිශාවට රතු පැහැයට ආශි්‍රත වර්ණද බටහිර දිශාවට අළු පැහැයට ආශි්‍රත වර්ණද භාවිත කළ හැකිය. කාල වර්ණය හෙවත් කළු වර්ණය නිවෙසකට සුදුසු නැත වර්ණයන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ කුඩා ස්ථානයන් විශාල කර පෙන්වීම විශාල ස්ථාන කුඩා කර පෙන්වීම මෙන්ම ආලෝකය අඩු වැඩි කර පෙන්වීමත්ය. එම නිසා එම ප්‍රායෝගිකත්වය සැලකිල්ලට ගනිමින් සුදුසුම වර්ණයන් යොදාගෙන නිවෙස වර්ණ ගැන්වීමට නව වසරට සූදානම් වන ඔබ කටයුතු කළහොත් ඔබේ නිවෙස අලංකාරයට පමණක් සීමා නොවී සතුට, සමඟිය, සහජීවනය පිරුණු නිවෙසකට උරුමකම් කියනු ඇත.