උපන් බිම ජලයෙන් යටවුණු අතර, ඒ සඳහා සැකසූ වැව් බැම්මට පස් අදින්න වුණේද බයියන්ටය. මට්ටයින් සහ ගල්ඔය බෝඩ්කාරයන් සමඟ බයියෝ නීති ගැටුම්ද ඇති කරගන්නා ලද අතර පස්සට පහු ගල්ඔය බෝඩ්කාරයෝ සහ බයියෝ එක්ක සමන්තුරේ කල්මුණේ දක්වා සිටි මට්ටයන් තළාපෙළා දමන තත්ත්වයක්ද ඇති කර ගන්නා ලදී. ගල්ඔය බෝඩ්කාරයෝ බයියන්ව ගැටුම් අතරතුර දුටුවේ තම හේවාපේඩීන් ලෙසය. මෙකලදී අප කතානායක සුදු බණ්ඩා නොඋස්මුත් මහත දෙහතය. ඇස් නිල්පාටය. ගින්දර වැනි යට රැවුල අද මෙන්ම මුහුණ මත වැවී තිබුණේ වැවෙන්නම්වාලේය. හැම අතකම වූයේ මිනිසුන් සහ සතුන් නැති භංගස්ථාන කර දමනා ආරෝවයන්ය. බයියන් බොහෝ දෙන, ඇති දැඩිව තිබුණේ මහ පොළොව අස්වැද්දූ මවුපියන් සමඟය. ඒ නිසා දඩමස් කෑල්ලක රස ඔවුන්ට නොදැනුණු අතර ඒ නිසාම හේබා ගිය ශරීර කූඩු ඔවුන්ට උරුමව තිබිණි. එක දිගට මහ වැසි ඇද වැටුණු කාලවල සහ රුදුරු සීතල වකවානුවල ගල්ඔය බෝඩ්කාරයන්ගේ වුවමනාව මත බයියෝ දඩයමට කැලෑ වැදුණු අතර ගල්ඔය බෝඩ්කාරයෝ හෙමි හෙමිහිට බයියන්ගේ නිවෙස්වල ගාල් විණ. රාත්‍රියට පවා

අපි යමු අතීතයට: සේනානායක සමුද්‍රය එහි නොතිබුණු කාල වකවානුවකට: සුදු බණ්ඩා අපිව රැගෙන යාවි , මම දිසානායක මුදියන්සේලාගේ සුදු බණ්ඩා. සේනානායක සමුද්‍රයට යටවුණු මුල් ඉඩම්වල පදිංචි වෙලා සිටිය ජීවතුන් අතර සිටින අන්තිමයා. ඒ විතරක් නෙවෙයි. සේනානායක සමුද්‍රයේ බන්ට් එක බැන්ද අය අතරින් ජීවතුන් අතර ඉන්න එකම කෙනා. මම උපන්නේ අම්පාර නාමල් ඔයේ. අම්මා, කිරි අප්පා, කිරි අම්මා, පරණ කොටුවේ ගම්ගොඩ ගමේ උපන් උදවිය. අද දහන්ගම කියන්නේ ඒ ගමට. අපේ අම්මලාගේ වරිගය වෙල්ලස්ස කැරැල්ලට බයේ තමයි කොටුවේ ගම්ගොඩ ඇවිත් තියෙන්නේ. අපි බයට පසුබැස්ස උදවිය කියලයි වෙල්ලස්සේ ගම්කාරයෝ කිව්වේ. පස්සට පහු, බයෙන් පසුබැස්ස උදවිය බයියෝ වුණා. මගේ තාත්තා අප්පුහාමි. තාත්තාගේ තාත්තා හීන් අප්පු. ආ….. අමතක වුණා, අම්මාගේ නම මුතු මැණිකා.

ඒ කාලේ අද වගේ නෙවෙයි. අපි හොඳ සාරෙට ජීවත් වුණා. මට සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා අකාලේ මියැදුණා. අම්මයි තාත්තයි මම උපදින කාලයේ තමයි අන්නාසි වත්තට ඇවිත් තියෙන්නේ. බොහොම සාර ඉඩම්. ඒ කාලේ මේ ප්‍රදේශයේ එහෙම කියලා මිනිස්සු පදිංචි නැහැ. වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ පහු බැහැලා ආපු මිනිස්සු පන්නල්ගමින් එහාට පදිංචි වුණා. අපි හිටියේ පන්නල්ගමින් මෙහා කොටසේ. එහෙම මිනිස්සු ඇවිල්ලා පන්නල් ගම පැත්තේ පදිංචි වෙන්න හේතුව පන්නල්ගම සියඹලාණ්ඩුවට ආසන්නව පිහිටි නිසා. සියඹලාණ්ඩුවෙන් එහා ඒ කාලේ වෙද්දිත් මිනිස්සු පදිංචි වෙලා හිටියා. ඇළ වේලි වැව් පවා එහෙ තිබුණා. ඒත් පන්නල්ගමින් මෙහා අම්පාර පැත්තට වෙන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබුණේ නැහැ.දැන් අම්පාර ඉස්පිරිතාලේ, සේනානායක සමුද්‍රය, සමුද්‍රයේ පිටවාන, අම්පාර නගරයේ හතරමං හන්දිය කියන්නේ අපි මහ පොළොව එක්ක එකතු වෙලා පස පෙරළාගෙන හේන් කරපු ඉඩම්වලට. ඒ ඉඩම් අපේ පරම්පරාවේ අෑයන්ටයි අයිති. සේනානායක උන්නැහේ ඒ ඉඩම්වලට ඇවිදින් අපිට කතා කරලා තිබුණා පුතේ උඹලට තව අවුරුදු පහකින් උළු ගෙයක්, ළිඳක්, නැත්නම් පයිප්ප වතුර, වැසිකිළියක් හම්බ වෙනවා. පනහෙන් එහාදී උඹලට හොඳ කලක් යනවා. මේ ටික ‍ෙදාහේදී දුක විඳගනිල්ලා. කියලා. සේනානායක – බණ්ඩාරනායක උන්නැහේලා එක්ක වගකිවයුත්තෝ පස්දෙනෙක් ඇවිදින් එහෙම කිව්වම නොපිළිගන්න බැහැනේ. ඊට පස්සේ සුදු මහත්තුරු ඇවිදින් බන්ට් එකේ වැඩ පටන් ගත්තා.

මුලින්ම ඒ අය කළේ ඉඩම් මනින එක. සමුද්‍රය හදලා අහවර වුණාට පස්සේ වතුර අල්ලන ගම්මාන වුණේ අන්නාසි වත්ත, කොස්සපොළ, නිකවැරටිය, සේරුවත්ත, බුබුල. ඒ ගම්මානවල උදවියට තමයි මුලින්ම කොලනි ඉඩම් එහෙමත් නැත්නම් බෝඩ් ඉඩම් දුන්නේ. මම අවුරුදු 4ක් බන්ට් එකේ වැඩට අත් උදවු දුන්නා. විදුලිබල මණ්ඩලයේ අවුරුදු හතරක්ම වැඩ කළා. මොන ආයතනයක වැඩ කළත් ඒ ආයතන හැම එකක්ම අන්තිමට වැඩ කළේ සේනානායක සමුද්‍රය වෙනුවෙන්. වැඩ කරලා පඩි නඩි ගත්තත් ඒ මුදලින් බඩු බාහිරාදිය මිලට ගන්න හැකියාවක් අම්පාරේ තිබුණේ නැහැ. කල්මුණේට නැත්නම් බිබිලට එහෙමත් නැත්නම් සමන්තුරේට යන්න ඕනෑ බඩු බාහිරාදිය මිලට ගන්න. නාමල් ඔය ඉඳලා බිබිලට යන්න වැටිලා තිබුණ අඩි පාර ඒ කාලේ හැඳින්වුණේ හාල් පාර කියලා. හාල් පාර කියන නම වැටුණේ මේ පැත්තේ උදවිය හාල්ම ගේන්න ඒ පාර දිග බිබිලට ගියපු හින්දා. අනෙක් අඩි පාර කල්මුණේට සමන්තුරේට වැටිලා තිබුණේ හරියටම සේනානායක සමුද්‍රය මැදීන්. බර කරත්ත තිබුණේ නැහැ. බිබිලට යන්න දවස් දෙකක් ගියා.

අම්පාර ඉඳලා බිබිලට යන පාරේ මේ වෙද්දී රක්ෂිතයට අයිති කොටසක මහ විශාල කළු ගලක් තියෙනවා. ඒ කාලේ බිබිලට යන උදවිය ඒ ගල උඩ තමයි පළමුවැනි දවසේ රැය පහන් කරන්නේ. කල්මුණේට එක දවසකින් යතහැකි. අමු මිරිස්, වේළිච්ච මිරිස්, මී පැණි වගේ දේවල් කර ගහගෙන අරගෙන යනවා. ඒවා අස්සේ හංගාගෙන කංසා ඩිංගකුත් අරගෙන යනවා. අපි කාලයක ඉඳලා දන්න මට්ට ඇත්තෝ තමයි බොහොම හොරහින් කංසා ඩිංග සල්ලි කරන්නේ. ඒ සල්ලිවලින් කල්මුණෙන් බඩු අරන් ආපිට එනවා. මිරිස්වලට දාලා කර බැඳගත්තාම කංසා ගැන වගක් පොලිසියට නැහැ. ඔය කාලේ ගල්ඔය බෝඩ් එකේ වැඩට ලංකාවේ හතර දිග් භාගයෙන් මිනිස්සු ආවා. නාහට අහන්නේ නැති උදවියත් ඒ අතර. පොකුටු ගුණේ කියන්නේ ඒ වගේ චරිතයක්. පොකුටු ගුණේ බොහොම ගුණ යහපත්. අසාධාරණය පෙන්වන්න බැහැ. තුන්වේලටම තලප එක්ක දඩමස් ගිලිනවා. ඉස්පාසුවක් ගන්නේ නැතිව යන්ත්‍රයක් වගේ වැඩ කරනවා. ඒ කාලේ මට්ට අෑයෝ ගල් බෝඩ් එකේ වැඩට ආපු අයට හයිරන් පෙන්නුවා. පස්සට පහු ගල්ඔය බෝඩ්කාරයෝ එකතු වෙලා මුස්ලිම් ගම්මානවලට ගිහින් එකට එක කළා. ඊට පස්සෙයි උන්දැලා නිශ්ශබ්ද වුණේ.

මගේ කිරිඅප්පාගේ නම හීන් මුත්තා. උන්දෑ පදිංචි වෙලා හිටියේ ඉඟිනියාගල. ඔයෙන් එගොඩ. අන්නාසි වත්තේ අපේ ඉඩම් සමුද්‍රයට යට වුණා. ඒ ඉඩම්වල හිටිය මුල් පදිංචිකාරයෝ අපූරු චාරිත්‍රකාරයෝ. ගම් ගොඩැල්ලේ ගෙවල් ඔක්කොම කඳ පොතු ගෙවල්. ගහක කඳයි පොත්තයි තමයි මූලික. මොකද කැලෑ හෙළිපෙහෙළි කරගෙන එක හේනක් කොටලා ඒ හේන අතහැරලා තවත් හේනකට යනවා මිසක්කා ස්ථීර පදිංචියක් ඒ කාලේ තිබුණේ නැති නිසා. ඒකයි යන යන තැන කඳ පොතු ගෙවල් හදා ගත්තේ. අව්වයි වැස්සයි, සතා සරුපයාගෙන් ආරක්ෂා වෙන්න විතරයි කඳපොතු ගෙවල් වුවමනා වුණේ. ඒ ගෙදරක මරණයක් වුණා කියමු: ගෙදර අතහැරලා දාලා තව ගෙයක් හදා ගන්නවා. අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඉඩමක් සොයාගෙන ඒ පස පෙරළලා බඩ ගින්දර නිවා ගන්නවා මිසක් ස්ථීර පදිංචියක් ගැන කවුරුවත් හිතුවේ නැහැ. ස්ථීර පදිංචියට හුරු පුරුදු වුණේ කොලනි ගෙවල් ලැබුණට පස්සේ. කොලනි ගෙවල්වලට අපි වගේ බයියෝ හුරු වුණේ හරි හෙමින්. හදලා දුන්නු කොලනි ගෙවල්වල පොළොවේ සිමෙන්ති කඩලා දාලා ගොම මැටි ගෑවා. ඒ පොළොව ලිස්සයි කියලා බයට. පෙළක් බයියෝ කොලනි ගෙවල් විතරක් නෙවෙයි මුළු ගම්මානම ඇතහැරලා ආයෙත් පාරක් පිටියේ ඉඩම්වල කඳපොතු ගෙවල් හදා ගත්තා. සේනානායක උන්නැහේ පෞද්ගලිකවම ගිහින් එහෙම අෑයෝ ගැන විපරම් කළා. සේනානායක උන්නැහේ නෙවෙයි බුදුන් කිව්වත් බයියෝ ගල්ඔයේ බෝඩ් වෙන්න මනාප වුණේ නැහැ.

  • කඳපොතු ගෙය අත්හැරුණා – රටඋළු ගෙය හම්බවුණා
  • සේරන් කාලිය පැසුණා – බයියො නිකම් දෙයියො වුණා

ඒ ඒ කාලේ අපිට මිනිස්සු හදපු කයි කතා කවි. කඳපොතු ගෙය අතහැරලා රටඋළු ගෙට එද්දී එලන්කාලිය කියන වී අස්වැන්නත් උළු ගේ ඇතුළට ඇවිදින්. අලුත් ගේකුයි හොඳ අස්වැන්නකුයි ලැබුණාට පස්සේ බයියෝ දෙවියෝ වුණා කියලයි ගල්ඔය බෝඩ්කාරයෝ කිව්වේ. ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. සේනානායක උන්නැහේ අලුතින්ම වැසිකිළි හැදුවා. මහ ගස් කොච්චර බිම ඇද වැටිලා තිබුණත් ඒ ගස්වල ලී අරගෙන ‍ෙදාර ජනෙල් හැදුවේ නැහැ. ඒවා හැදුවේ යකඩෙන්. එහෙම කළේ කොලනිකාරයන්ට ආදර්ශයක් දීලා ගස් කොළන්වල අගය පහදලා දෙන්න. ඒත් ඇත්තටම අපේ බයියෝ ඒ වගේ දේවල්වලින් ඉගෙන ගත්තේ නැහැ. වැසිකිළියක් හදලා දුන්නත් ඒක පාවිච්චි කරන්න මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. පෙළක් කොලනි ගම්මානවල වැසිකිළිවල වහලවල් පස්සට පහු අතුරුදන් වුණා. ඒ අහවල් කාරිය කරද්දී අහස පේන්නේ නැති හින්දා. මිනිස්සු ගොවිතැන එක්ක දඩයමටත් හුරු වුණා. ඔන්න ඔය කාලේ තමයි වේළපු දඩමස්වලට සමන්තුරෙන්, කල්මුණෙන් හොඳ ඉල්ලුමක් ලැබුණේ. කොටන තුවක්කු වෙනුවට පතරොම් තුවක්කු කරළියට ආවා. ගෝන්නු උෟරෝ මුවෝ තමයි දඩයමට වටිනා සත්තු. හතර පස්දෙනෙක් එකතු වෙලා දඩයම වෙනුවෙන් රෑ දෙකක් තුනක් කැලේ ගත කරනවා. ඒ කරලා දඩයම් කර ගත්තු සත්තුන්ගේ මස් කොලනියේ ගෙවල් අතරේ බෙදනවා. කලින් කිව්වා වගේ ඒ කාලේ පතරොම් තුවක්කු නැහැ. තිබුණේ කැප්ප තුවක්කු. වෙඩි බෙහෙත් කොටලා තමයි ඒ තුවක්කුවලින් දඩයම් කළේ. කැප්ප තුවක්කුවලටත් වඩා දඩයමේදී විශ්වාසය තිබ්බේ හබක, ලූල් වගේ සත්තු දඩයම් කරන උගුල්වලට. දඩයම සාරවෙලා අතට මිල මුදල් ලැබෙද්දී පතරොම් තුවක්කු සුලබ දෙයක් වුණා. රුපියල් අසූ පහකට අනූවකට හොඳ පතරොම් තුවක්කුවක් ගන්න පුළුවන් වුණා. ඒ කාලේ පතරොමක් සත හැටයි.

ඒ කාලේ ‍ෙදාස්තරලා නැහැ. වෙද මහත්තුරු තමයි බෙහෙත් කළේ. ඔෟෂධ ජාති හැදුවේ කොළපොතුවලින්. අසාධ්‍ය ලෙඩෙක් සරම අස්සෙන් ලීයක් දාලා ඒ සරම උඩ වාඩි කරලා දෙන්නෙක් කර ගහගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. ඉස්පිරිතාල තිබුණේ කල්මුණේ එහෙම තැන්නම් මොනරාගල. මොනරාගල සිරිගල ඉස්පිරිතාලේ ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. උදේ රැයින් පිටත් වුණොත් හැන්දෑවෙද්දී ලෙඩාව ඉස්පිරිතාලෙට අරගෙන යතහැකි. එහෙම යද්දී ලෙඩ්ඩු මැරිලත් තියෙනවා. මැරිලා කියලා දැනගත්තම ආපසු හැරෙනවා. ගල් ගොඩැල්ලට ඇවිත් හතරදෙනෙක් එක්කාසු වෙලා වළක් කපලා වළ දානවා. කෝටු කෑලි අටකින් තමයි මිනිය තියෙන මැස්ස හදන්නේ. හයක් හරහට දිග ලී කෑලි දෙක දිග අතට. මැරුණු කෙනා වෙනුවෙන් දානයක් මානයක් දෙන්නේ බොහොම අමාරුවෙන්. පැත්ත පළාතට පන්සලක් නැහැ. පන්සල් තිබුණත් පන්සල්වල හාමුදුරුවරු නැහැ. හාමුදුරු නමවල් දෙතුන් දෙනෙක් වැඩ හිටිය පන්සලක් තිබුණේ උහන. දවසකට කලින් දානයට වුවමනා කළමනා පොදි බැඳගෙන උහනට ගිහින් එදා රෑ පන්සලේ නතර වෙලා පහුවදා තමයි දානය පිළිගන්වන්නේ. මහ කැලේ මැදින් උහනට යනවා කියන්නේ මරණයට අත වනනවා වගේ වැඩක්.

කතාව පින්තූර  / ප්‍රභාත් අත්තනායක / දිගාමඬුල්ල රණවීර