සිරිලක බොහෝ පන්සල්වල විෂ්ණු දේවාල පවත්වාගෙන යති. බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක්‌ සේය. ඇතැම් දේව කන්නලව්වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියෑවේ. දේශය රකින සතර වරම් දෙවිවරු අතර ප්‍රමුඛයා ද විෂ්ණුය. (අන් දෙවිවරු – කතරගම, සමන්, හා පත්තිනිය) ලොව පුරා බලය පතුරුවාගෙන දේව උපත සිදුවන්නේ භාරතයේය. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර (ශිව) යන ත්‍රී මූර්තියෙන් වඩාත් බලවත් විෂ්ණු දෙවියන් පිළිබඳ අල්ප මාත්‍ර වූ තොරතුරු ස්‌වල්පයකි මේ.හින්දු ත්‍රී මූර්තියේ පළමුවන දෙවියා මහා බ්‍රහ්මයාය. (මහබඹු) දෙවැන්නා ශ්‍රී විෂ්ණු දෙවියන් ය. විෂ්ණු යනු සුරිය දේව ගනයට අයත් දෙවිකෙනෙකි. රශ්මිය විහිදුවා අහසෙහි බබළමින් ගමන් කරන හිරු සේ සැලකූ විෂ්ණු, ලෝක ධාතුවේ සප්ත ප්‍රදේශයන් හි එකවර තැන් තුනකින් ගමන් කරන බවත් තම රශ්මි ජාලයෙන් ලොව ආවරණය කරන බවත් කියෑවේ.මින් අදහස්‌ කරන්නේ, ආලෝකයත්, ගින්නත්, සූරිය මණ්‌ඩලයත් යන ත්‍රිවිධ ලක්‍ෂණයි. හිරු උදාව, හිරු මුදුන්වීම, හිරු බැසයැම පිළිබඳ සිද්ධාන්ත මීට අයත් වේ.පසුකාලීනව විද්වතුන්ගේ පහළවීමත් සමඟ සූර්යයා ග්‍රහලොවක්‌ සේ හඳුනාගත් පසු විෂ්ණු පිළිබඳ මුල් මතය වෙනස්‌ විය. මෙහිදී නිල්වන් අහස්‌ කුසට අධිපති ලෙස ”ඉන්ද්‍ර” දෙවියන් පිළිගැනීම ඇරඹිණි.විෂ්ණු යනු ඉන්ද්‍රගේ දෙවැනියා වන ”උපේන්ද්‍ර” ලෙසට මතයක්‌ බිහිවිය. මහා භාරතයේ සාහිත්‍යය පිබිදීමත් සමඟ විෂ්ණු යළිත් හින්දු ත්‍රී මූර්තියේ බලසම්පන්නයාගේ තැනට පත්විය. එකල බිහිවූ විෂ්ණු, නාරදිය, භාගවත, ගරු`ඩ, පද්ම, වරාහ යන ග්‍රන්ථවල දේව ත්‍රී මූර්තියේ අන් දෙවියන් දෙදෙනාටම වඩා (මහා බ්‍රහ්මයා සහ ඊශ්වර දෙවියන්) ප්‍රමුඛ ස්‌ථානයක්‌ විෂ්ණු දෙවියන්ට ලබා දුන්නේය.ලෝකය මැවීමේදී විෂ්ණු දිව්‍යරාජයා ”නාරායන වේශයෙන්” ජලය මත සැතපී සිටි අවස්‌ථාවේ තම පෙකනියෙන් මතු වූ නෙළුම් මලක මුදුනේ මහ බඹු පහළ වූ බව බ්‍රාහ්මණයන්ගේ ග්‍රන්ථවල සඳහන් වේ. මෙයින් අදහස්‌ වන්නේ ලෝකය මැවීමටත් විෂ්ණු දෙවියන් මුල් වී ඇති බවය. සියලු දෙවිවරුන්ට වඩා කරුණාවන්ත, ආදර සම්පන්න, මෘදු මොළොක්‌ ගුණයෙන් යුතු බැතිමතුන් කෙරෙහි අනුකම්පා සහගත වූත් දිව්‍යරාජයා විෂ්ණු බව හින්දූන් බහුතරයකගේ මතයයි.දේව ත්‍රී මූර්තියේදී විෂ්ණු දෙවියන් සලකනු ලබන්නේ ලෝකයේ පැවැත්ම, ආරක්‌ෂාව හා ස්‌වස්‌තිතිය භාර දෙවියා ලෙසය. මිනිස්‌ වර්ගයාගේ හා දෙවියන්ගේ ආරක්‌ෂාවටත් අභිවෘද්ධියටත් හිතෛෂීවන්ත වූ දෙවියන් විෂ්ණුය. සතුරන් කෙරෙහි පවා විෂ්ණු දෙවිරජ විනාශකාරී දරුණු ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවත් හින්දූන් විශ්වාස කරති. සතුරකු පරාජය වූ පසු සතුරා සමූලඝාතනය නොකර සතුරාට සමාව දීම විෂ්ණුගේ සිරිතයි. මහ බඹු ලෝකය මවන ලද මුත් ලෝකයේ පැවැත්ම හා ආරක්‌ෂාව සලසන්නේ විෂ්ණු බව පිළිගැනීම නිසා මිනිසුන් ද තම විපත් හා ආපදාවලදී මහ බඹුන්ට ඊශ්වර දෙවියන්ටත් වඩා තම ආරක්‌ෂාව පතා පුද පූජා පවත්වන්නේ විෂ්ණු දෙවියන්ටය.

සරස්‌වතී ගඟබඩ රැස්‌වූ සෘෂීන් වහන්සේලා පිරිසක්‌ අතර දිනක්‌ පැනයක්‌ මතුවිය. ඒ බ්‍රහ්ම, විෂ්ණු , ඊශ්වර දේව ත්‍රී මූර්තිය අතරින් වඩාත් උත්තම, සාධාරණ, යුක්‌තිසහගත දෙවියන් කවුද යන ගැටලුවයි. මේ පිළිබඳ වාද විවාද කොතෙකුත් සිදුකළත් එම වාදවලින් තීරණයකට බැසීමට අපොහොසත් වූ සෘෂිවරුන් එහි ඇත්ත නැත්ත අපක්‌ෂපාතීව සොයාබලන ලෙස මහා බ්‍රහ්මයාගේ පුත්‍රයා වූ ”භෘගු නම් සෘෂිවරයාට” නියෝග කළහ.පළමුව බඹ ලොවට පිවිසි භෘගු මහ බඹුට (තම පියාට) නිසි ගරු සැලකිලි නොදක්‌වා ආචාර සමාචාර නොකොට රාජ සභාවට ඇතුළු විය. මෙය දුටු මහා බ්‍රහ්මයා තමාට නිසි ගෞරව ආචාර නොකර පැමිණීම පිළිබඳව කෝප වූ නමුත් ඒ තම පුත්‍රයා බව දැන කෝපය සංසිඳුවා ගත්තේය. එහෙත් ගරු සැලකිලි නොදක්‌වා රාජ සභාවට ඇතුල්වීම පිළිබඳව මහ බඹු භෘගුට තරවටු කළේය. භෘගු තම පියාගෙන් ඊට සමාව අයෑද ඉන් පිටවී ගියේය.භෘගු ඊළඟට ගියේ ඊශ්වරගේ වාස භවන වෙතය. මෙහිදී පෙරටත් වඩා ගරු සැලකිලි ආචාර සමාචාර දැක්‌වීම නොකළ භෘගු සහෝදරයකු මෙන් වැළඳගන්නට ඊශ්වර ඉදිරියට පැමිණියේය. භෘගු ඊට ඉඩ දීම මග හැරියේය. භෘගුගේ අහංකාරකම පිළිබඳව දැඩි ලෙස කෝපයට පත්වූ ඊශ්වර තම ත්‍රීශූලය ගෙන භෘගු මරා දැමීමට තැත් කළේය. එහෙත් පාර්වතී දේවිය වහා ඉදිරියට පැමිණ ඊශ්වරගේ දෙපාමුල වැටී භෘගුට සමාව දෙන ඉල්ලා සිටියාය. මේ අතර භෘගු එතැනින්ද පිටව ගියේය.ඊළඟට භෘගූ විෂ්ණු දේව වාසභවනය වන වෛකුණ්‌ඨිකය බලා ගියේය. භෘගු එහි යන විට විෂ්ණු දෙවියන් ලක්‍ෂමියගේ උකුලේ සැතපී සිටියේය. විෂ්ණුගේ නිරහංකාරකම ගැන දැන සිටි භෘගු විෂ්ණුගේ සැතපෙන මාළිගය තුළටම ගොස්‌ විෂ්ණුට පා පහරක්‌ ගැසීය. පා පහර ලත් විෂ්ණු වහා නින්දෙන් අවදිව භෘගු කෙරෙහි කෝප වෙනවා වෙනුවට තමා නින්දෙන් අවදිකරවීම ගැන ප්‍රශංසා කරමින් එම පා පහර නිසා භෘගුගේ පාදයට යම් වේදනාවක්‌ දැනුනේ නම් ඊට සමාවෙන ලෙසත් ඉල්ලා සිටියේය. එලෙස ඉල්ලා සිටි විෂ්ණු ” පින්වත් සෘෂිවරයාණනි මෙහි පැමිණ මදක්‌ ඉඳගනු මැනවි, මා විසින් ඔබට ආගන්තුක සත්කාර නොකළ වරදට සමාවුව මැනවි ඒ නිසා මා ඔබෙන් මෘදු පා පහරක්‌ ලද්දෙමි ස්‌වාමීනි ඔබගේ පාපනාශක පාද ලාංජනය මාගේ ළමැද මත පිහිටුවීම නිසා මා මහත් ගෞරවයට පාත්‍රවූයෙමි” යෑයි ප්‍රකාශ කළේය.භෘගු විෂ්ණුගේ මෙම පිළිගැනීමෙන් මහත් විශ්මයට පත්විය. විෂ්ණුගේ නිරහංකාරකම නිසා හටගත් භක්‌ත්‍යාදරයෙන් දෙනෙත් කඳුළින් පුරවාගෙන බලා සිටියේය. විෂ්ණු දෙස තවත් මොහොතක්‌ ඇස්‌පිය නොහෙළා බලාසිටි භෘගු එතැනින් පිටවී ගියේය.සුළු මොහොතකින් සරස්‌වතී ගඟබඩ රැස්‌ව සිටි සෘෂිවරුන් වෙත පැමිණි භෘගු තමා ආගිය තැන් හා තොරතුරු සියල්ල ඔවුන්ට දන්වා සිටියේය. විශ්මයෙන් තොරතුරු අසා සිටි සෘෂිවරුන්ගේ සැකය දුරුවිය. විෂ්ණු දෙවියන් අන් සියලුම දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ සහ කරුණාවන්ත බවත් මෙතැන් පටන් සෘෂිවරුන් අතරේ පවා පිළිගැනීම ඇති විය.දේව ත්‍රී මූර්තිය අතරින් ඉවසනසුලු, කීර්ති ප්‍රසංසා ගරු නම්බු බලාපොරොත්තු නොවන නිහතමානී එකම දෙවියා විෂ්ණු බව ඔප්පු විය. මේ බව මනුෂ්‍යයන් වන අප හොඳින් වටහාගත යුතු කරුණක්‌ බව ද අවධාරණය කරමු.විෂ්ණු හා උපුල්වන් එකම දෙවි කෙනෙක්‌ද?බෞද්ධ ඉතිහාසයේ උගන්වන පරිදි බුදුන් වහන්සේ පිරිනිවන් මඤaචකයේදී ශක්‍ර දේවේන්ද්‍රයාණන්ට කතා කොට අනාගත බුදුසසුන සුරකින ලංකාද්වීපය හා සිංහල ජාතිය ආරක්‌ෂා කරන ලෙස නියෝග කළ සේක. ශක්‍රයා විසින් එම වගකීම පවරන ලද්දේ ”විෂ්ණු දෙවියන්” වෙතය. උපුල්වන් දෙවියන්ගේත් විෂ්ණු දෙවියන්ගේත් දෙදෙනාම ශරීර වර්ණයන් එක සමානය. මේ නිසා මේ දෙදෙනාම එක්‌ අයකු බව සිතාගෙන මහනුවර රාජධානි කාලයේ පටන්ම සිරිලක බුදු ගෙවල්වල පවා විෂ්ණු දේව රූපය සාදා පුද පූජා පවත්වමින් එන බව දක්‌නට ලැබේ. සිරිලක විද්වතුන් උපුල්වන් හා විෂ්ණු යනු දෙවිවරුන් දෙදෙනෙකු බව සිය පොතපතෙහි දක්‌වා ඇත. ඉන්දියාවේ ”ජගත්නාත්”නමින් අදහන්නේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්‌ බවත් ජගත්නාත් දෙවියන් පිළිබඳ පවතින ජනශ්‍රැති කතා සිරිලක උපුල්වන් දෙවියන් පිළිබඳව පවතින ජනශ්‍රැති කතාවලට බෙහෙවින් සමාන බවත් පෙනෙන්නට තිබේ.