කතරගම” පත්තිනි දෙවි දේවතාවුන් තරමට ප‍්‍රචලිත නොවූවද” දෙවොල් දෙවියන්ගේ පුරාවෘතය රසවත් එකකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවකයකු ලෙස සිටි බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත් එකතුවේ ඇති” දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබටුයේ දකුණු වෙරළ තීරයේ සීනිගම ප‍්‍රදේශයටය. පසුකාලීනව එම ස්ථානයේ දෙවොල් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකෙරිණි. එම දේවාලය ගොඩබිමින් එපිට අඩි තුන්සීයක් පමණ ඈතින් මුහුද මැද කුඩා දූපතක පිහිටා තිබේ.දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයකි. දෙවොල් දෙවියන්ගේ ඉපදීම සහ ලංකා ගමනය ගැන ජනප‍්‍රවාදයේ කියැවෙන්නේ මෙසේය. දඹදිව කුදුප්පර දේශයේ රාමසිංහ රජුට දාව උපන් මහා සාමි කුමරු පුංචි සන්දියේ සිට සෙල්ලක්කාරය. රාමසිංහ රජුට දාව බිසෝවරු සත්දෙනාටම උපන් කුමාරවරු මහා සාමි කුමරු මෙන්ම සෙල්ලක්කාරය. ළමා විය පසු කර තරුණ වියට පැමිණි කුමාරවරු සත් දෙනා එම දේශයේ ජනතාවට නොයෙක් අයුරින් හිංසා” පීඩා කළහ. කුමාරවරුන්ගේ දාමරික ක‍්‍රියා පිළිවෙත අනුමත නොකළ පිය රජතුමා ඔවුන් සියලූ දෙනාම රටින් පිටුවහල් කළේය. දොළුවර” කණ්ණඩි” කාවිසි” සෙන්පුර” පුලසුරු” අරමන” මෙරුවරු” මුක්කරු” පිල්ලි” කුරුම්බර” වඩිග” කල්ලූ” දෙමළ” සෙට්ටි” ගුජ්ජර” වඩක්කර” දිල්ලි” මලල යනාදී ජාතීන් කිහිපයක මහ පිරිසක් සහිත නැව් සතක නැඟී පිරිස මහ මුහුද කළඹමින් යාත‍්‍රා කළහ. සුළි සුළං හමාවිත් මහ මුහුද රළු වී කුමාරවරු රැගත් නැව් කැඞී බිඳී ගොස් ඔවුහු මුහුද මැද අතරමං වූහ. මහා සාමි කුමරුන් ඇතුළු පිරිසගේ අසරණභාවය දැක මුහුදු මණිමේඛලාව විසින් ඒ බව සක් සුරිඳුට පැවසූ විට විශ්ම කර්ම දිව්‍ය පුත‍්‍රයා වූ සක් සුරිඳු විසින් මහා සාමී කුමරුට ශෛලමය යාත‍්‍රාවක් මවා දී ඇත.දින සති ගෙවී පාවී පැමිණි කුමාරවරු ලක්දිව වෙරළට සමීපවත්ම එතෙක් ලක්දිව දේව බලයට අධිපතිව සිටි පත්තිනි මෑණියන් ගිනි කඳු සතක් මවමින් මහා සාමි කුමරුන්ගේ ගොඩ බැසීම වළක්වාලීය. එහෙත් ගිනි දැල්වලින්ම සළුවක් හා සුම්බරයක් මවා ගෙන ගිනි වළලූ ජයගෙන” කරදියෙන් පහන් පත්තු කර පූජා කර” වැලි සහල් කර” සීනි කර ගිනි මැල පාගා ගෙන ලංකාවට ගොඩ බට මහා සාමි දෙවොල් දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බව සීනිගම දේව පුරාණයේ සඳහන් වේ. අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් දෙවියන් ගිනි වළලූ ජයගත් සිද්ධිය බව ද ජනප‍්‍රවාදයේ පවතී. එමෙන්ම බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් සමඟ පැමිණි පිරිවර පස්බාගෙ” කෙහෙල්ගමුව” කොත්මලේ” බුලත්ගම” පටුන සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල වන්දනා ස්ථාන පිහිටුවාගෙන ජනාවාස ඇති කරගෙන තිබේ. ගිනි මැල ජයගෙන ගොඩ බට දෙවොල් දෙවියන්ට පූජෝපහාර පවත්වමින් තම රෝග සුවපත් කරගත් සීනිගම මැතිඳු කෙනෙකු දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම දෙවොලක් ඉදිකර දී ඇති බව ද නෙවිල්ගේ පුස්කොළ පිටපත්වල සඳහන්ව ඇත.

එමෙන්ම ශ‍්‍රී දෙවොල් මහ දෙව්රදු අරක්ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය විජය කුමරුගේ ආගමනයටත් ඔබ්බට දිවෙන බව ද ජනප‍්‍රවාදයේ කියැවේ. දෙවොල්හු මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසට ද සලකන්නෝ වෙති. පෙර භවයකදී පත්තිනි දෙවොල්හුගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත්” එහෙයින්ම පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් සුරිඳු දෙවොල්හුට දුන් බවත් ජනප‍්‍රවාදයේ කියැවේ. කකුසඳ” කෝනාගම” කාශ්‍යප” ගෞතම යන සතර බුදු රදුන්ට කඨින ආදී කොටැති විවිධ දාන මාන පිංකම් සිදු කිරීම හේතුකොට ගෙන දෙවොල්හු දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බව ද පැළිගැනේ. එසේ දේවත්වයට පත් දෙවොල් දෙවියන් මෙරට සීනිගම ප‍්‍රදේශයට පැමිණ දෙවොලක් තනවමින් රන්සළු ඈ කොඩි දද නංවා බැබළෙන අයුරින් කටයුතු කරමින් පුද සත්කාර ලබන්නට වූහ.එමෙන්ම නක්‍ෂස්ත‍්‍රය දත් දක්‍ෂ වෙදැදුරකු වූ දෙවොල් දෙවියන් රෝගී මිනිසුන් උදෙසා සෙත් ශාන්ති කර රෝග සුවපත් කර අපරාධ කරනවුන් දැන ඔවුන්ට දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු බවට ජන සමාජයේ ප‍්‍රසිද්ධ විය. ඒ සමඟ විවිධ රෝගීන් සහ බඩු භාණ්ඩ සොරාගැනීමේ නඩු හබ අරගෙන පැමිණිලිකරුවන් දෙවොල් දෙවියන් ඉදිරියේ පෙළගැසිණි. සොර සතුරන්ට එරෙහිව පලි ගසමින් මිරිස්” ගම්මිරිස් ඇඹරූහ. කසාද හැර ගිය ගෑහැනු” මිනිස්සු පැමිණ පලි දැරූහ. අසරණ රෝගීහු පැමිණ සුවය ප‍්‍රර්ථනා කර දෙවොල් දෙවියන්ගේ පිහිට අයැද සිටියහ. වෙදැදුරන්ට සුවපත් කිරීමට නොහැකි වූ රෝගීන් දෙවොල් දෙවියන් සුවපත් කළ බවත්” එකල රජවරුන්ට විසඳීමට නොහැකි වූ නඩු හබ විසඳමින් වැරැදිකරුවන්ට දඬුවම් ලබා දුන් බවත් ජනප‍්‍රවාදයේ පැවත එන්නකි.දියඹ දේවාලයේ එදා මිරිස් ඇඹරූ ගල අදට ද ජීවමානය. රෝගීන් සුවපත් කිරීමට පැන් ලබාගත් ළිඳ අදට ද සුපැහැදිළිය. මුහුදින් වට වූ ගල් කන්ද මැද මහා පෑවිල්ලකට හෝ නොසිඳෙන ළිඳේ වතුරවල කිවුල් රසක් නැති වීමද මහා ප‍්‍රාතිහාර්යයකි. දියඹ දේවාලයේ ඇති අනුහස් මහිමයේ බලයෙන් වසභ රජු දවස සීනිගම දෙවොල සත් මහල් ප‍්‍රාසාදයක් කර වූ බවත්” පසුව දප්පුල රජු විසින් නැවත ප‍්‍රතිසංස්කරණය කර දෙවොල දියුණු කර ඇති බවත් සඳහන් වේ. පසු කාලෙක මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසි” ලන්දේසි විසින් වරින් වර සීනිගම දේවාලය කඩා බිඳ විනාශ කර දමා එහි තිබූ පූජා වස්තු පැහැරගෙන ගොස් ඇත. අනතුරුව සීනිගම හා අවට ගම්වාසීන් එකතුව ඔවුන්ගේ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා මුහුදේ ගල් කන්ද මත ගම් උළු සෙවිලි කළ සිව් පියැසි දෙව් මැඳුරු තුනක් ගොඩනඟාගෙන ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් කාලයත් සමඟ එම දෙව් මැඳුරු එකක් කැඩීබිඳී ගොස් දැනට ශේෂව ඇත්තේ දෙව් මැඳුරු දෙකක් පමණි.