ඔයාගේ ගෙදර සුරතලයට ඇතිකන්නේ සාමාන්‍යයෙන් බල්ලෙක් පුසෙක් වගේ සතෙක්නේ ඒත් නමුත් උන්ට කන්න දීම, නෑවීම, උන්ගේ කැත කුණු අස් කිරීම ෆුල්ටයිම් ජොබ් එකකි. ඒ නිසා අපේ ගෙදර සත්තු ඇති කිරීමට මම විරුද්ධය. ඒවා මහා කරදර වැඩ බව කීවාට ගෙදර අනික් හතර දෙනාම සත්තුන්ට පිස්සු වැටී ඇත. “මේ ඇහුණද අනේ.. දූයි පුතයි ඉස්කෝලෙ වැඩත් හොඳට කරනවා. එයාලගෙ යාළුවො ඔක්කොටම බල්ලො, පූසො, ගිරව් මොකෙක් හරි ඉන්නවා. අනේ අත ගගා හුරතල් කරන්න අපේ ළමයින්ටත් සතෙක් ගෙනත් දෙන්නකෝ” බිරිඳත් මට කනපින්දන් ගාන්නට විය. ගෙදර සාමය රැක ගැනීම වැදගත් නිසා මම අන්තිමේ දී ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දුණි. පුතු හා දියණිය රැගෙන මම සාප්පුවට ගියෙමි. විවිධ වර්ගයේ බලු පැටව්, බළල් පැටව්, ගිරව්, මයිනන් පසුකර සාප්පුවේ වෙනත් කොටසකට සේවකයා ඔවුන් ගෙනයයි. ඉතා විශාල කූඩුවක පුංචි පුංචි සුරතල් සත්තු වර්ගයක් සිටී. ඔවුන් උඩ පනිති. ඔංචිල්ලාවේ රවුම් ගසති. කිචිස් බිචිස් කියමින් නාදකරති. අපි දුටු ගමන් හතර පස් දෙනෙක් තණකොළ අස්සේ හැංගෙති. මම සාප්පුවට පවුම් 60 ක් (රු. 12,000 ක්) ගෙව්වෙමි. කුඩා කාඩ්බෝඩ් පෙට්ටි දෙකකට දමා දුන් ගැහැනු සතුන් දෙදෙනෙකු සමග ෂයිනි හා දිනුම් කාර් එකට නැගුණේ මහමෙර දිනුවාක් මෙන් විශාල සතුටකිනි. ගෙදර යාමටත් පෙර සුදුයි කළුයි සතා (ජෙනී) කියාත් දුඹුරු එකා (පෙඩ්රෝ) ලෙසත් නම් කිරීමට පුතා හා දුව වග බලා ගති.

අපේ ගෙදරට අද අලුතෙන් ආ අමුත්තන් වර්ගයට කියන්නේ “ගිනි පිග් ” කියලාය. බල්ලන් හා බළලුන්ට පසුව මහා බ්‍රිතාන්‍ය පුංචි ළමෝ වැඩියෙන්ම සුරතලයට ඇති කරන සතා ගිනි පිග්ය. මේ වන විට බ්‍රිතාන්‍ය ගෙවල්වල ගිනි පිග්ලා 173,000 ක් පමණ විනෝදයෙන් ඇති දැඩි වෙන බව බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමයේ සමීක්ෂණයෙන් හෙළි දරව් වී ඇත. ඔබ දෙහිවල සත්තුවත්තට ගිය දවසක මේ ගිනි පිග්ලාගේ සුරතල් බැලිය හැකිය. ගිනි පිග්ගේ මූණ බොහෝ දුරට ඌරකුගේ මූණට සමානය. ඈතින් සිට බැලුවොත් ඔවුන් ඉතා කුඩා ඌරන් මෙන් දිස්වේ. ගිනි පිග්ට මලලසේකර ශබ්දකෝෂයේ දමා ඇති සිංහල නම රට හාවාය. එය ඔවුනට ගැළපෙන්නේ නැත්තේ මේ සත්තු හාවන්ට වැඩිය ප්‍රමාණයෙන් කුඩා නිසාත් හාවෙකුගේ ස්වරූපය ඔවුනට නැති නිසාත්ය. ගිනි පිග්ලා මෙයට වසර තුන්දාහකට පමණ පෙර දකුණු ඇමෙරිකාවේ ඝන වනාන්තරවල ඇති දැඩි වූ වන සතුන් වර්ගයෙකි. නමුත් ඉස්සර අපේ ආදී මීමුත්තන්ගේ යුගයේ කාලේ වනයේ සිටි බල්ලන් බළලුන් වසර දහස් ගණනකට පසු ගෙවල්වලට ඇදුණාක් මෙන් ගිනි පිග්ලා ද කෙමෙන් කෙමෙන් මිනිසාගේ මිතුරකු බවට පත් වී ඔවුන්ගේ ගෙවල්වල පදිංචියට පැමිණ ඇත. ගිනි පිග්ලා නිර්මාංශිකයෝය. ඒනිසා ඔවුනට කන්න දෙන එක හරිම ලේසිය. ඒ ඔවුන් එළවළු හා පලතුරු කන්න කැමැති නිසාය. ගෝවා, පැති ගෝවා නිවිති, තිරිඟු, බෝංචි, කැරට්, බීට්රූට් ඔවුන් ආසාවෙන් කති. සලාදවලට දමන

ඇපල්, පත්තක්කා, කෙහෙල්ගෙඩි, දොඩම්, අඹ වැනි පලතුරු වර්ග විස්සක් පමණ කන්න ඔවුන් හරි රුසියෝය. ජෙනී හා පෙඩ්රෝ ගිනි පිග් නෝනලා දෙන්නා අපේ ගෙදරට ඇවිත් මාස දෙකක්වත් ගත වී නොතිබුණු එදා ඉරිදා දිනයක් වීය. “තාත්තේ තාත්තේ ඉක්මනට ගාර්ඩන් එකට එන්න.” ෂයිනි බෙරිහන් දෙයි. කියවමින් සිටි පත්තරය පසකට දා මම අඩියට දෙකට තරප්පුවෙන් පැන ගත්තේ දුවට කිසියම් අනතුරක් සිදු වී ඇති කියාය. පිළිකන්නට දුව ගිය මට මගේ ඇස් දෙක අදහා ගන්නට බැරි විය.  ඉතා ලස්සන ගිනි පිග් පැටව් දෙදෙනෙකු තුරුල් කරගෙන සිටී. (ජෙනී) ඈතින් සිට මේ කුඩා අමුත්තන් දෙස විමතියෙන් බලා සිටී. අම්මා හා අලුත් පැටව් දෙන්නා සමග අපි වහාම සත්තු සාප්පුවට දිව්වේ මේ අරුම පුදුම සිද්ධිය ඔවුන්ට දැන්වීමටය. “මේ සිද්ධ වුණ අකරතැබ්බයට අපිට බොහොම කනගාටුයි සර්.” සත්තු සාප්පුවේ අයිතිකරු අපට කරුණු පැහැදිලි කරයි. අපි මේ සත්තු ගන්නේ ගිනි පිග් සත්ත්ව ගොවිපොළකින්. එයාලා මේ සත්තුන්ව දැඩි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරලා ලෙඩ රෝග නැති නීරෝගි සත්තු කියලා සහතික කරලා තමයි අපිට විකුණන්නේ. නමුත් එකේදී පිරිමි සතෙක් මෙයා (ප්‍රෙග්නන්ට්) කරලා. අපිත් ගේ බඩේ ළමයි දෙන්නෙක් ඉන්න බව නොදැන තමයි සර්ලට එයා විකුන්නේ.” සිදු වූ කරදරයට අපෙන් බලවත් සමාව ඉල්ලූ සාප්පු අයිතිකාරයා අලුත් පැටව් දෙදෙනා ආපහු භාර ගැනීමට සූදානම් විය.

නමුත් අපේ ගෙදර ඉපදුණ මේ සුරතල් ගිනි පිග් පැටව් ආපහු ගොවිපළට යවනවාට දුව හා පුතා කැමැති වූයේ නැත. “හොඳයි බබාලා කැමැති නම් අලුත් සත්තු දෙන්නත් තියා ගන්න. අපි එයාලට ඉන්න කූඩුවකුයි මාසෙකට ඇතිවෙන්න පිදුරුයි, විටමින් කෑම, ඇට වර්ගයි නොමිලේ දෙන්නම්.” අපේ ගෙදරට ගෙනා ගිනි පිග් දෙන්නා හතර දෙනා වුණේ එසේය. අලුත් පැටවුන් දෙන්නා (කිටී හා පෆී) යයි නම් කළ අපේ දුව ඔවුන් ඉතා ආදරයෙන් බලා ගත්තාය. සත්තු හතර දෙනා සුමානයට දෙසැරයක් නෑවීම, ඔවුන්ගේ ලෝම මසකට වරක් කපා දැමීම ,ඔවුන් සමග සෙල්ලම් කිරීම ඇයගේ දෛනික කාර්යයන් විය. දිනුම්ගේ ගිනි පිග්ලාගෙන් ලස්සනම සතා කිටී ය. ලොකු කොණ්ඩයක් ඇති. කිටී ඈතට පේන්නේ ප්‍රතාපවත් සිංහ පැටවියක් ලෙසය. ගිනි පිග්ලාට ආවේණික ශබ්ද ගණනාවක් තිබේ. එසේම ගිනි පිග්ලාට පොලිස් බල්ලන්ට වඩා දියුණු ඉවක්ද තිබේ. තරහ ගිය වෙලාවට සතකු වඩා ගන්නට ගියොත් නියපොතුවලින් ඔබේ අත් හීරීමට ඔවුන් වග බලා ගනී. ගිනි පිග්ලා සමගියෙන් කෑම බෙදා ගෙන කන ජාතියේ සත්තු නොවේ. යාළුවාගේ කෑම උදුරාගන්න ඔවුන් හරි රුසියන්ය. එංගලන්තයේ පුංචි ළමුන් ගිනි පිග්ලා ඇති කරන්න ආසා කරන්නේ ඔවුන් කූඩුවේ හුරතල් වී දුව පනිනවා දකින්නටය. ගිනි පිග්ලා හැංගිමුත්තමට හරිම ආසය. බල්ලන් හා බළලුන්ට මෙන් ගිනි පිග්ලාටද ලෙඩ රෝග සෑදේ. එංගලන්තයේ ගිනි පිග්ලාට පමණක් වෙදකම් කරනා උපාධිධාරී විශේෂඥ පශු වෛද්‍යවරු ද සිටිති. ඕනෑම සතෙකුට ආතතියට අඝාතයට ප්‍රතිකර්ම කරන සත්ත්ව මනෝ වෛද්‍යවරුද බ්‍රිතාන්‍යයේ සිටින බව ඔබ අමතක නොකළ යුතුය.

පසුගිය මැයි මාසයේ දවසක දිනුම්ගේ සුරතලා ජෙනී කෑම ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. වෙනදා මෙන් සමග සෙල්ලම් නොකළ ඇය කූඩුවේ පැත්තකට වී බලා ගත් අත බලාගෙන සිටියාය. දිනුම් ඇය වඩාගෙන ඔළුව අත ගාන විට සතුටෙන් “පුරු පුරු” ගානවා වෙනුවට ඇය කෙඳිරි ගෑවාය. මේ අපේ සතෙකුට ලෙඩක් හැදුණ ප්‍රථම වාරය නිසා කලබල වුණු රුවිනී වහාම ජෙනී පශූ වෛද්‍යවරයකු ළඟට රැගෙන ගියාය. තරුණ උපාධිධාරී සත්තු දොස්තරවරයා ඇය මඳක් පරික්ෂා කොට මෙසේ කීවේය. “ ජෙනීට කිසි ලෙඩක් නැහැ. පොඩ්ඩක් ආතතිය තියන බව පේනවා. ඇඟ නම් ටිකක් දුර්වලයි. මෙන්න මේ බේත් පෙති දිය කරලා සිලින්ජරේකට දමලා දෙතුන් සැරයක් පොවන්න. හෙට වෙනකොට සනීප වෙයි.” ඒ උපදේශයට හා බෙහෙත්වලට පවුම් 40 ක් (රු. 8000 ක්) ගෙවා රුවිනී ගෙදර ආවේ දොස්තරට දොස් කියමිනි. “ලෙඩ වෙච්ච සත්තු පෝලිමක් තිබුණ නිසා ඒ මිනිහා අපේ ජෙනී හරියට බැලුවෙත් නැහැ. එයා මොනවා කිව්වත් අපේ සතාට බොහොම අමාරු බව මට තේරෙනවා.” එදා රෑ දිනුම් හා ෂයිනි අසරණ ජෙනීට බේත් පොවන්නට ගියත් ඒවා ඇයගේ කට දෙපැත්තෙන් බිමට වැගිරී ගියේය. රාත්‍රී වනකොට ඇයගේ කෙඳිරියද වැඩි විය. ඇයට විජලනයද වැලඳී තිබිණි. අපි ඇය වෙනම කූඩුවක දමා දිනුම්ගේ කාමරයේ තබා නින්දට ගියෙමු. උදේ පාන්දර 3 ට රුවිනී හා මට ඉබේම ඇහැරුණි. අපි වහා පුතාගේ කාමරයට ගියේ ජෙනීගේ කෙඳිරිල්ල වැඩි වෙමින් තිබුණ නිසාය. රුවිනි ඇය වඩාගත්තාය. ජෙනී ආයාසයෙන් හිස එසවූයේ “ මම යනවා ” කියන්නාක් මෙනි. මේ ඇයගේ අන්තිම මොහොත බව අපි දෙදෙනාටම දැනී ගියේය. රුවිනී දුන් වතුර පොඩ්ඩක් තොල ගෑ ජෙනී අප දෙස අසරණ බැල්මක් හෙළා අවසන් හුස්ම හෙළුවාය.

උදේ පාන්දරම නැගිට්ට දිනුම් ජෙනිෆර්ගේ අකල් මරණය අසා නොනවත්වාම කඳුළු සලන්නට වීය. පවුලේ කෙනෙකු නැති වූවාක් මෙන් අපිටත් දැනු‌ණේ ලොකු දුකකි. ගිනි පිග්ලා ගැන මේ දිනවල බ්‍රිතාන්‍යයේ වැඩිපුර කථා බහ කෙරෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කළ අපූරු වැඩක් නිසාය. ජුනි ජූලි මාස එංගලන්තයේ සරසවිවල සිසුන් ලක්‍ෂ 7 1/2 ක් අවසාන විභාගයට පෙනී සිටින කාලයයි. (විභාග ආතතිය) නිසා දැනටමත් විශ්වවිද්‍යාල සිසුන් 13 දෙනෙකු සි2ය දි1වි න2සා ගෙන තිබේ. ආතතියෙන් පෙළෙන සිසුන්ට හොඳම ප්‍රතිකාරය රට හාවුන් අත පත ගෑමයයි බ්‍රිතාන්‍යයේ මනෝ චිකිත්සක සංගමය ප්‍රකාශ කරයි. “ගිනි පිගෙක් වඩාගෙන අත පත ගෑවාම, එයාලට කථා කර කර ඔවුන් සුරතල් කළාම ඕනම කෙනෙකුගේ සිතේ තියෙන අසහන, කරදර පහ වෙලා යනවා.” මෙම සොයා ගැනීමෙන් පසු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කැතරින් විද්‍යාලය රට හාවුන් 25ක් මිලදී ගෙන නේවාසිකාගාරයට භාර දුන්හ. මේ දිනවල පැය ගණන් එක දිගට පාඩම් කොට මොළය අවහිර කර ගන්නා සිසු සිසුවියන් රට හාවන් සිටින විදුහල් උද්‍යානයට පැමිණ ඔවුන් සුරතල් කරති. ඔවුන් වඩා ගෙන ඉඹිති. ඔවුන්ට පලතුරු හා එළවළු කන්න දෙති. වතුරට පොවති. පළවෙනි දෙවෙනි වසරවල සරසවි සිසුන්ද දේශන අතර වාරයේ ගිනි පිග්ලා හුරතල් කරමින් සිතට සහනයක් ලබා ගනිති. “එක දිගට පාඩම් කරන අපිට සමහර වෙලාවට ජීවිතෙත් එපා වෙන එක ඇත්ත.

නමුත් එහෙම වෙලාවට මේ ගාර්ඩන් එකට ඇවිත් ගිනි පිග් සතෙක් බදා ගත්තාම, එහෙම නැතිනම් උන් එක්ක හැංගිමුත්තන් කළාම හිතට පුදුම සහනයක් අපට දැනෙනවා” යි අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ ෂැරීන් හාඩ්ග්‍රේව් ඩේලි මේල් පත්‍රයට කියයි. “රට හාවන්ට පිං සිද්ධ වෙන්න අපට දැන් විභාග අසහන හිත් කරදර ඇත්තෙම නැහැ.” “ මේ සත්තු එක්ක පැය භාගයක් සෙල්ලම් කරලා ආපහු අපි ලයිබ්‍රියට යන්නේ පුදුමාකාර සැහැල්ලු හිතෙන්. මේ පාර නම් අපේ කවුරුවත් විභාග ආතතිය නිසා විභාගෙ ෆේල් වෙන්නෙ නැහැ. මෙම ප්‍රවෘත්තිය මාධ්‍යවල පළවීමෙන් පසු බ්‍රිතාන්‍යයේ බොහොම දෙමව්පියන් තම දරුවන්ට රට හාවුන් මිලදී ගන්නට පටන් ගෙන ඇති නිසා ඔවුන්ගේ අලෙවිය 35 % කින් වැඩි වී ඇති බව ගිනි පිග් ඇති කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ අනෙකුත් සරසවි බොහොමයක්ම  විශ්වවිද්‍යාලය අනුගමනය කරමින් ලබන වසරේ සිට ගිනි පිග්ලා ඇති කරන්නට යන බව පත්‍රය කියයි. මේ අන්දමට බලන විට ගිනි පිග් හෙවත් රට හාවා ඉතා හුරුබුහුටි සතෙකු මෙන්ම ඔබගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරන්නා වූ ජන හිතකාමියෙකි. ලංකාවේ ගෙවල්වල ද මොවුන් ඇති කළ යුතුය. උසස් පෙළට වාඩි වෙන ඔබගේ ආදරණීය දුව හෝ පුතා මහ රෑ ළඟ තියෙන දේවාලයට ඇදගෙන යනවාට වඩා ඔවුන්ට සුරතල් කිරීමට ලස්සන ගිනි පිග් පැටවකු ලබා දීම වඩා නුවණට හුරු වැඩක්යැයි මට හිතේ. ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි.