මාස කීපයකට පෙර හිතවතෙක්ගේ හෝටලයකට ගියෙමි. අඳුරු වැටෙන විටදීත් ඒ හෝටලය වටා විදුළි බුබුළු දල්වා නොතිබීම තරමක කුතුහලයක් දනවන දෙයක් වූයෙන්, කුමක් නිසා එසේ කරන්නේදැයි ඇසුවෙමි. … “මී මැස්සන් මැරෙන හෙයින් යයි”…ඔහුගේ පිළිතුර විය. ඔහු එය සනාථ කරවන්නට එක විදුළි බුබුලක් දල්වා පසුදින එය බලන්න යයි කීවේය. ඒ අවට මී මැස්සන් බොහෝ ගණනක් පණ අදිමින් හෝ මිය ගොස් සිටියහ. අඩුම තරමේ මැස්සන් දාහක් පමණ එහි දුටුවෙමි.මී මැස්සන්ගේ ජීවන කාලය එතරම් දිග නැත. ඔවුන්ගේ ජීවන චක්‍රය අනුව, රාත්‍රිය අඳුරු විය යුතුය. නැතිනම් එය ඔවුන්ගේ ජීවිත වලට බලපායි. එහෙත් මේ සතුන්ගේ ජීවිත වලට ඇති විශාලතම තර්ජනය වන්නේ රසායනික විෂ ද්‍රව්‍ය වේ. එනම් වල් පැළෑටි මර්ධනය කිරීමට භාවිතා කරන කෘමි නාශක වේ. මී මැස්සන් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් වන්නේ ආහාර දාමයේ වැදගත් කාර්යයක් වන පරාග සංසේචනය ඔවුන් විසින් ඉටු කරන හෙයිණි.

මී මැස්සන් විසින් මිනිසාට අත්‍යවශ්‍ය ශාඛ 400 ක පමණ පරාග පෝෂණය කරනු ලබයි.මේ අතර කැනඩාවේ මහා පරිමාණයෙන් ප්‍රාදේශීය මී මැසි පාලනයේ යෙදෙන ඩේව් නැමැත්තා විසින්, ඔහුට අයත් මී මැසි පෙට්ටි වල සිටි මී මැස්සන් මිලියන 37 ක් මිය ගිය බැව් ප්‍රකාශ කරන ලදී. මෙයට හේතුව වන්නේ“Neonics” යන කෘමි රසායනිකය බව ඔහු විශ්වාස කරයි. අවාසනාවට තිරිඟු වැවීමෙදී මේ ආකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිතා වේ.මී මැස්සන් මෙසේ බහුල වශයෙන් මිය යාම පිළිබඳ මත භේද ඇතද, රසායනික ද්‍රව්‍ය භාවිතය සහ “colony collapse disorder” (CCD) යන සංසිද්ධිය අතර සම්බන්දයක් ඇති බව ඇමරිකානු ජීව විද්‍යාඥයන් සොයාගෙන ඇත. CCD යනු, මී මැස්සන්ගේ ජනපදය එම මැස්සන් මිය ගොස් නැතිවී යෑමය. මේ සතුන්ට එවිට බැක්ටීරියා සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය නැතිවන බව ඔවුන්ගේ මතයයි. පහත ලින්ක් එක බලන්න.

ඒ අනුව තිරිඟු වගාව සඳහා Imadacloprid යන රසායන ද්‍රව්‍යය භාවිතා කිරීම කැනඩාව ද, ප්‍රංශය බේයර් සමාගමේ Clothianidin ද, ඉතාලියේ සමහර neonicotinoids වර්ගද, පොදුවේ යුරෝපා සංගමයේ බොහෝ කෘමි නාශකද භාවිතා කිරීම නවත්වා ඇත. ඇමරිකාවේද මේ ආකාරයේ තහනම් ක්‍රියාත්මක කිරීමට යන්නේය.ලෝකයේ කෘමි නාශක වැඩියෙන්ම භාවිතා කරන රටවල් අතරින් ලංකාව මුල් තැනක් ගන්නා රටකි. එයට එක් හේතුවක් වී ඇත්තේ මිනිසුන් මේ කුඩා සතුන් විසින් ආහාර දාමයට ඉටු කරන සේවය ගැන අවබෝධයක් නොමැති වීමත්, පරිසරය කෙරේ සංවේදීතාවයක් නැති වීමත් වේ. එය අවාසනාවකි.මේ තත්වය වැළැක්වීමට ගොවීන් පමණක් නොව සමාජයේ සියළුම තලවල සිටින අය දැනුවත් විය යුතුය. ඒ හා අදාළ නීති ක්‍රියාත්මක විය යුතුය.කැලෑබද ප්‍රදේශයක විදුළි පහන් අනවශ්‍ය සේ දැල්වීම වත් නොකර සිටීමෙන් සහ එදිනෙදා ජීවිතයේ ඇතිවන මදුරු කරදරය වැනි දේ සඳහා රසායනික ස්ප්‍රේ වර්ග භාවිතා නොකිරීමෙන් මේ කෘමීන් ආරක්ෂා කර ගත හැක.