ඕනම ඉඩෝර කාලයකදී මහා වැසි වස්සවා ඉඩෝරය අවසන් කරන්න පුළුවන් නාථ දෙවියන් ගැන ඔබ දන්නවා ඇති සමහර විට මුකුත් නොදන්නවා වෙන්න පුළුවන් මතු බුද්ධත්වය පතාගෙන සිටින මෛත්‍රි බෝධිසත්ත්වයාණන් වහන්සේ වෙනුවෙන් සහ වර්ෂාවට අධිපති සක්‍ර දේවරාජයාණන් වහන්සේගෙන් වැසි ලබා දෙන මෙන් කරන ඉල්ලීමක් මුල්කරගෙන වැව්ගම්පත්තුවේ පැරැන්නන් විසින් පවත්වනු ලබන දුර්ලභ පුද සත්කාරයක් පිළිබඳ කන වැටුණු අපි ඒ ගැන සොයා බැලීම සදහා උතුරු වැව්ගම්පත්තුවේ වැරැන්කැටගොඩ ගමට ගියෙමු. මාතර, වැල්ලබඩ පත්තුවේ, නාඔටුන්න ගමේ ගොඩගම පරම්පරාගත වෙද ගෙදර සිට 1954දී ගල්ඔයට පැමිණි හේවාමාස්මුල්ලගේ බාර්ලියස් අප්පුහාමි අබේවර්ධන සර්ප විස වෛද්‍යවරයාගේ පුතණුවන් විසින් මෙම අපූරු වත්පිළිවෙත්වලින් සමන්විත නාථ දෙවි පූජාව පවත්වයි. අශෝක ඔසු උයන නමින් දුර්ලභ වර්ගයේ ඔෟෂධ වර්ග රැසක් වගාකර ඇති ඔසු උයනේ මහා ගන වනාන්තරවල පමණක් දක්නට ඇති විශාල පුස් වැලක් තුරු ලතා මුදුන්වල එතීගෙතී, පැටලී ගෙන දෙන සිසිලස සහ සුන්දරත්වයෙන් මත් වූ අපි මවිතයට පත්වීමු. මෙම අලංකාර ඔසු උයනේ ඇති නා ගසක් මුල හාස්කම් සහිත නාථ දෙවි පූජාව පැවැත්වීම සිදු කරනු ලබයි. මෙදින පැවැත්වූ නාථ දෙවි පූජාව සඳහා සිංහල, දමිළ සහ මුස්ලිම් ජන කොටස් ඒකරාශිවී සිටීම තුළින් මෙම පූජාව නිසා ප්‍රදේශයේ ජනවාර්ගික සමඟිය තහවුරු කිරීමද සිදු වන බව නොකියාම බැරිය.

අම්පාර ආයුර්වේද රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ.එච්. සෝමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වර්ෂයේ පූජාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා දැන් අපි ජලභීතිකා සහ සර්ප විස වෛද්‍ය වෘක්ෂලතා සහ වනජීවී ගවේෂක හේවාමාස්මුල්ලගේ ජයතිස්ස අබේවර්ධන වෙදරාලට කන් දෙමු. මාතර, වැල්ලබඩපත්තුවේ, නාඔටුන්න ගමේ ගොඩගම පරම්පරාගත වෙද ගෙදර හේවාමාස්මුල්ලගේ බාර්ලිස් අප්පුහාමි අබේවර්ධන මගේ තාත්තා, අම්මා රත්නපුර කුරුවිට කෝරලේ පරකඩුව වික්‍රමසිංහ වෙද පරම්පරාවේ වික්‍රමසිංහ රෙජිනාහාමි. මේ නාථ දෙවි පූජාව මට රංකිරි කටගෑ මගේ මියගිය පියාණන් සිහිනෙන් කී දෙයක්. ඒ අනුව 1998 වර්ෂයේ සිට නොකඩවා සෑම මසකම ඇසළ මාසයේ මේ පූජාව පවත්වනවා. උදේ 10-11ට පටන් ගන්නා පූජාව 12ට පෙර අවසන් කළ යුතුයි. පෙර දින රාත්‍රි වැරැන්කැටගොඩ රාහුල සංඝරාජරාමාධිපති පූජ්‍ය හුරිකඩුවේ ආනන්ද හිමියන් වැඩමවා ධර්ම දේශනාවක් පවත්වා පසු දින මහා සංඝයා වහන්සේ උදෙසා සාංඝික දානයක් දීමෙන් පසු නාථ දෙවි පූජාව පවත්වනවා. නා ගස වටේම කබරොස්ස වැලකින් කොටුකර ඇහැල මල්, නික, පාවට්ටා, යකි නාරං, සප්සද, රම්ප, කරපිංචා, මොනර පිහාටු ප්‍රධාන විවිධ ‍ඔෟෂධ වර්ග සහ වි කරල්වලින් සරසනවා. පිරිසුදු නෑඹුල් ජලයෙන් නාගස ‍ෙදා්වනය කර ගී තණ, වී පොරි කර විළද, මී පැණි, පූජාවක්. පලතුරු, කැවිලි පෙවිලි සහිත බුද්ධ පූජාවක් පවත්වා කළුවර මෝල් ගසකට කිතුල් ලීයකින් තට්ටු කර ශබ්ද පූජාවක් පවත්වා ඇසට පෙනෙන නො පෙනෙන මුළු ලෝකයේම තියෙන ගස් වැල් සහ සතුන් උදෙසා උපහාර පූජාවක් පවත්වනවා.

පසුව යකිනාරං ගසේ පස් පංගුව, අත් කහ, අලදිය, ලුණු වංගෙඩියට දමා කිතුල් මෝල් ගසකින් කොටා තම්බා වේදුපානවා. (බෙහෙත් හුමාලය අල්ලනවා.) නා ගස මුල සකස් කරන තට්ටුවේ පන්කොළවලින් වියන ලද වට්ටියක වටාපතක්, කමතේ දී භාවිත කරන උකුණු දැති, නවසි පොල් ගෙඩියක්, පුස් වැලක කරලක්, සිල්ලුවක් (පුස් ඇටයක්), කුඹුරු ඇටයක්, ඔෟෂධ වර්ග සහ ධාන්‍ය වර්ග තබා ලොව ඇතිතාක් සියල්ල දන්නා ඥානයක් ඇති සර්වලෝක පූජිත සර්වඥවරයෙක් වන සිදුහත් කුමරු ඇසළ මස පිළිසිද ගැනීම සිහිපත් කර පූජාවක් පවත්වනවා. අනතුරුව අටවිසි බුදුවරුන් සිහිපත් කරමින් බුදු ගුණ ගායනා කරමින් ගස වටා පැදකුණු කර අවසානයේ ගස මුල වාඩි වී සමාධියකට සම වැදීමෙන් පසු නාථ දෙවි පූජාව අවසන් කරනවා. මේ සඳහා නා ගසක්ම තෝරා ගැනීම විශේෂයක්. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නමින් හැඳින්වෙන්නේ නා ගසයි. මෙම ගස තුළ ගුප්ත ක්‍රම රැසක්ම ගැබ්වී තිබෙනවා. මහා වෘක්ෂ පංතියට අයිතියි. අතිශයින්ම ප්‍රියජනක නා මලේ සුගන්ධවත් සුමිහිරි සුවඳක් හමනවා. බුදුවරුන් වැඩිදෙනෙක් වහන්සේ බුද්ධත්වය ලැබීම සදහා පිටදි ඇත්තේ නා ගසකටයි. මතු බුදුවන මෛත්‍රි බෝසතුන්ද නා ගසකට පිටදී බුදුවන බව සඳහන්වී තියෙනවා. නා ගසේ භූමාටු දෙවියන් වැඩ වසනවා. අරටුව වානේ මෙන් තද වුවත් නා ගසට අකුණු වදින්නේ නෑ. වංශවත් දැව විශේෂයක් වන නා ගසේ කඳ බරින් වැඩියි. ජලයට දිරාපත් වන්නේ නෑ. ආගමික වාස්තුවේ දී නා ලීයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

මේ නිසා පූජනීය ස්ථානවලදී බහුලව ප්‍රයෝජනයට ගන්නවා. පිරිත් මණ්ඩපයේ උඩු වියනේ නා රිකිලි එල්ලනවා. නාමල් රේණු හොඳ ඔෟෂධයක්. නිදන් ගලටද භාවිත කරනවා. නා ගසේ මුල ඇති සීතල නිසා නාගයන්ට හොඳ ලැඟුම්හලක් වන නා ගස් මුල් අතර බහුලව නාගයන් ගැවසෙනවා දක්නට පුළුවන්. නා ගසට හිරිහැර කරන අයට විපාක විඳින්නට සිදුවන බව ද ඔබ දැනගත යුතුයි. එසේම නා ගසට අරක් ගත් වෘක්ෂ දේවතාවුන්ට පුද පූජාවන් තබන අයට තමන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකි බව අපේ දේශීය දේව පුරාණයේ සඳහන්. කිහිරි සහිත නිසා අලි ඇතුන්ගෙන් හානි සිදු නොවන නා ගසේ පිට ඇතිල්ලීමට වත් ඔවුන් කැමැති නෑ. මේ බලගතු පූජාව තබා කැප කරගෙන වතාවත් කිරීමෙන් සිය අපේක්ෂා වහාම ඉටු වෙයි. අධ්‍යාපන කටයුතුවල දියුණුව, විභාග ජය ගැනීමට, නඩු හබවලින් ජය ගැනීමට, ප්‍රමාද වන විවාහය ඉක්මනින් කර ගැනීමට, ලෙඩ රෝග නැති වී සුවපත් වීමට, සතුරු පීඩා නැතිකර ගැනීමට, ඇස්වහ කටවහ හෝ වහ දුරු වීමට, අනවින කොඩිවින, යක්ෂ, ප්‍රේත දෝෂ සමනයවීම ආදී ඔබේ දැවෙන ප්‍රශ්න රැසකට වාහාම විසදුම් ලබා ගැනීමට නාථ දේව පූජාව පැවැත්වීමෙන් උසස් ප්‍රතිඵල කඩිනමින් ලබා ගත හැකිය. කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක විස වෛද්‍ය විශේෂඥ මාකුරේ පියනන්ද මාහිමි ඇතුළු හිටපු දේශීය වෛද්‍ය ලේකම් අශෝක මාලිමගේ සහ

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥ මහාචාර්ය පියල් මාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙවර නාථ දෙවි පූජාව පැවැත්වූ බව සිහිපත් කළ අබේවර්ධන මහතා නාථ දේව පූජාව පවත්වා ලැබූ අත්දැකීම් ඇසුරින් මෙවන් ප්‍රතිඵල ලැබිය හැකි බවද, පැය 24ක් ඉක්ම යෑමට පෙර වැසි ලැබෙන බවද අවසන් වශයෙන් කිවහැකියැයි කීය. ලොකු නෝනගෙ ඇට ඇරගෙන (පුස් කරලක ඇට) යක්ෂ ඇසත් ගලවා ගෙන (කුඹුරු කරලක ඇට) දෙහි ඇඹුලුත් සුද්දෝ රැගෙන (දෙහි ඇඹුලු සහ සුදුලූනු) ගාපන් සම විස හැරයන (එකට අඹරා ගෑමෙන් දෙඹර විස නැසේ.) මුදල් පසුපස හබා නොගොස් මිනිසා වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරන නිර්ලෝභී පුද්ගලයන්ට පමණක් ජාතික රූපවාහිනිය විසින් යුනිලීවර් ආයතනයේ අනුග්‍රහය ඇතිව ප්‍රදානය කරනු ලබන සූර්ය ලංකා ප්‍රණාම සම්මානය 2008 පිදුම් ලැබූ අපේ වෙදගුරු තොමෝ අම්පාර දිස්ත්‍රික්කයේ අබිං ළග තබා ගැනීමේ බලපත්‍රයක් හිමිවූවෙක් හෙයින් වෙදරාල නමින්ද හැඳින්වෙයි. මඩේ වැවෙන රංකිරි කට ගෑමට ගන්නා ලුණුවිල සහ එවේලේම හාස්කම් පෙන්වන ගොඩබිම හැදෙන සමදාන යන ඔෟෂධ වර්ග දෙක කොස් සහ නා ගස් යන ගස් වර්ග සෑම නිවසකම වගා කළ යුතු යැයි පවසන අපේ වෙදරාල විසින් අවශ්‍ය අයට මෙම පැළ වර්ග නොමිලයේ සැපයීමට කැමැත්ත ප්‍රකාශ කරයි. එතුමාගේ දුරකතන අංකය 0775874319 වෙයි. පින්තූර සහ කතාව දිගාමඩුල්ලේ රණවීර