මුළු ලෝක ජනසංඛ්‍යාවෙන් 6%ක් වන අතර රාජ්‍යයන් 72 වාර්ගික කොට්ඨාස අවම වශයෙන් 5000කින් සැදුම්ලබා තිබෙනවා. අපේ රටේ අපේ ඉතිහාසය ජීවත් කරමින් ඉන්න ආදිවාසී උදවියටනම් මේ ලබලා තියෙන්නේ එච්ච සුබ කාලයක් නෙවෙයි මෙරට ඉතිහාසය කියාපාන්නට ඉතිරිව ඇති ආදිවාසි ජනතාවට අද සිදුව ඇති අසාධාරණයට තවම විසඳුමක් නැත. විශේෂයෙන්ම අද වන විට ආදිවාසි ජනතාවගෙන් බොහෝදෙනකු දරුණු ලෙස වකුගඩු රෝගයට ගොදුරුව ඇත. එසේම පානීය ජල ප්‍රශ්නය මේ අයගේ ජීවන රටාව විනාශ කිරීමට බලපා තිබේ. දඩයම් කොට, මී පැණි සොයාගෙන ජීවිකාව ගෙනගිය මේ ජනතාවට අද සිදුව ඇත්තේ කුලී වැඩකොට ජීවත් වීමටය. මන්දයත් දඩයම් කොට වගා කොට ජීවත් වූ පරිසරයෙන් මේ අයව අද ඉවත් කිරීම මේ ගැටලුවලට ප්‍රධාන හේතුව වී තිබේ. දඹාන, හෙන්නානිගල දළුකාන, මහවැව, හෙනානිගල ආදී ප්‍රදේශවලම ආදිවාසි ජනතාව පදිංචි කරමින් එකල පාලකයන් පොරොන්දු දුන්නේ පදිංචි කරන ස්ථානයේ ඇති රක්ෂිත ආසන්නයේ ගොවිතැන් කිරීමට, සතුන් දඩයම් කිරීමට, මී පැණි සොයා කැලයට යෑමට ඉඩ ලබාදෙන බවය. 1983දී මේ ආකාරයට පදිංචි කළ ආදිවාසි ජනතාවට අදවන විට ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ. එදා පදිංචි කළ පවුල් සඳහා ගොඩින් මඩින් අක්කර හතර බැගින් ලැබුණු අතර මාදුරුඔය රක්ෂිතය ආශ්‍රිතව හෙනානිගල ප්‍රදේශයේ එක් කොටසක් පදිංචි කරවීය.

එහි නායකයා වූයේ ඌරුවරිගයේ තැපැල් බණ්ඩියාය. එකල හෙනානිගල ගම්මානයේ පවුල් 29ක් පදිංචි කළ අතර අද වන විට හෙනානිගල ගම්මානයේ පවුල් 420ක් පමණ ජීවත් වෙති. එදා මේ ජනතාව පදිංචි කරවූයේ ගොවිතැන් කටයුතු සඳහා පමණක් නොව මාදුරුඔය රක්ෂිතයේ සතුන් දඩයම් කිරීමට, මී පැණි සෙවීමට අවසර ලබාදෙනවා කියාය. ඒ අනුව හෙනානිගල ප්‍රදේශයට ගිය ආදිවාසි ජනතාව ගොවිතැන් කටයුතු පමණක් නොව සතුන් දඩයම් කරමින්ද සිය ජීවිකාව ගෙන ගියහ. තමන්ට ඒ තැන ඉතා හොඳ බව එදා පාලකයෝ කීහ. නමුත් ඒ විධියට මේ අයට ජීවත්වීමට හැකිවූයේ ටික කාලයකි. ඒ මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වී දඩයම් කිරීම නිසාය. රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරමින් වනජීවීය පුවරු ප්‍රදර්ශනය කර ඇත. නමුත් ආදිවාසි ජනතාව තමන් කරගෙන ආ පුරුද්දට දිගින් දිගටම මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වෙති. මේ හේතුවෙන් වනජීවීය කරන්නේ මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වන ආදිවාසි ජනතාව අල්ලා උසාවි දැමීමය. උසාවි දැමූ පසු අනවසරයෙන් මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වූවා යැයි කියා දඩ ගසයි. මේ හේතුවෙන් උසාවියෙන් ගහන දඩ ගෙවාගත නොහැකිව තමා වගාකොට ජීවත් වූ කුඹුරු උකසට තබා ඇත. සතුන් දඩයම් කිරීම විනා කැලෑවට ගිය විටත්ව නජීවීයෙන් අල්ලා උසාවි දමා දඩ ගසයි. 80 ගණන්වලදී දඩ මුදල වූයේ රුපියල් 750කි. ඉන්පසු රුපියල් 15,000කි. මේ වන විට රුපියල් 30,000ක දඩයක් ගසයි.

නමුත් ආදිවාසි ජනතාවට එම දඩ මුදල් ගෙවීමට මුදල් නැත. ඒ නිසා ඔවුන්ට කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුව වගා කිරීමට දුන් ඉඩම උකසට තබා මුදල් ගෙන උසාවිය මඟින් රජයටම ගෙවීමට සිදුව ඇත. මේ වන විට උකසට තැබූ කුඹුරු රැසක්ම සින්නවී හමාරය. එම නිසා තම දරුවන්ට කන්න දෙන්න විධියක්ද නැත. කුඩා දරුවන් බඩගින්නේ අඬන විට වතුර පොදක් බොන්නට දී බඩපුරවා දමයි. තමන්ගේ දුක මේ රටේ ඉන්න ජනාධිපතිට, අගමැතිට, ඇමැතිවරුන්ට දැනෙන්නේ නැති බව ඌරුවරිගයේ ලොකු බණ්ඩා අපට කීය. එනිසා තම අනාගත බලාපොරොත්තුව තම වරිගයේම කෙනෙක් පාර්ලිමේන්තුවට ගියපසු තම වරිගයාට යහපතක් වන බවයි. අමාරුවෙන් හෝ ඉගෙන ගෙන රටේ හොඳ තැනකට තම දරුවන් ගෙනයෑම තම අභිප්‍රාය බවද ඌරුවරිගේ ලොකු බණ්ඩා කීය. ආදිවාසි පරම්පරාවේ අයෙක් ප්‍රාදේශීය දේශපාලනයට පිවිස ඇත. ඇය නමින් ජයසේකර මුදියන්සේලාගේ ශිරෝමාලාය. නමුත් ඇයට තම වරිගයට උපකාර කිරීමටද නොහැකි වී තිබේ. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඡන්දය ඉල්ලීම නිසයි. ඒ හේතුවෙන් හෙනානිගල ගම්මානයේ ආදිවාසි ජනතාවගේ සමෘද්ධියද කපා දැමීමට ඇතැම් පිරිස් උත්සාහ ගෙන ඇත. එසේම සමෘද්ධිය ඉල්ලීමට පුරවා දුන් ඉල්ලුම්පත්‍රද තවම ප්‍රදේශයේ අදාළ බලධාරීන් සතුව තිබෙන බවද වාර්තා වෙයි. එසේම අදවන විට හෙනානිගල ආදිවාසි පවුල් 420 තුළ එක් අයෙක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇත.

සමහරු වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානම් තත්ත්වයේ සිටිති. මේ අයට වකුගඩු රෝගීන්ට දෙන දීමනාවද ඉල්ලා ඇතත් එයද ලැබී නැත. එසේම යහපාලන රජය මඟින් වකුගඩු රෝගයට ගොදුරු වූ අයකුගේ පවුලකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබාදෙයි. එයද හෙනානිගල ආදිවාසි ජනතාවට ලැබී නැත. ඒ සඳහාද අයැදුම්පත්‍ර දුන් විට කියා ඇත්තේ මහින්ද මහත්තයාගෙන්ම වකුගඩු දීමනාව ඉල්ලා ගන්නා ලෙසය. ඒ නිසා හෙනානිගල ආදිවාසි ජනතාව කියාසිටින්නේ තමන්ට දැන් ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවයි. ඒ නිසා අඩුම තරමේ සංවර්ධනය හෝ ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. රජයෙන් දුන් ඉඩම්ද නැත. ඒවා උකසට තබා සින්න වී තිබේ. තමන්ට බඩගින්නේ වුවද ජීවත්වීමට හැකි බව ඔවුහු කියති. නමුත් තම දරුවන්ට වේලක් හැර වේලක් කෑමට දියයුතු බව ආදිවාසීහු කියති. කන්දේගම, පෙරුම්ගම් පළාතෙන් හෙනානිගලට පැමිණි පවුල් 29න් අද සිටින්නේ ටික දෙනෙකි. අද ඒ පැරැණි අය 10-12ක් ජීවත් වන බව උෟරුවරිගයේ ලොකු බණ්ඩා කියයි. එසේම එදා සිටි පවුල්වල සිටි කුඩා දරුවන් අද සිය පරම්පරාව ආරක්ෂා කර ගැනීමට මහත් මෙහෙයක් ගනිතියි. එසේම නිසි පෝෂණයක් නොමැතිව කුඩා දරුවන් මියයෑමටද පටන්ගෙන තිබේ. එසේම ජල ප්‍රශ්නයද අදවන විට හෙනානිගල ජනතාව විඳින තවත් දුකකි. ඒ වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා එම ප්‍රදේශයේ ජලය පානය කිරීම නුසුදුසු යැයි කීම නිසාය. හෙනානිගල ප්‍රදේශයට පානීය ජලය ලබාදීමට කියා ජල නළ එළා ඇත්තේ මීට වසර 5කට පමණ පෙරය.

නමුත් අදවන තෙක් ජලය ලබාදී නැත. වනජීවියේ ක්‍රියාකාරකම් හමුවේ උසාවි දමා දඩගසන විට කුඹුරු ඉඩම් උකසට තබන ආදිවාසීන්ට තම රෝගවලට ප්‍රතිකාර ගැනීමටද කුඹුරු ඉඩම් උකසට තැබීමට සිදුව ඇත. ඌරුවරිගයගේ ලොකු බණ්ඩා ඊට හොඳම නිදසුනකි. තමන්ට වැලඳී ඇති වකුගඩු රෝගයට කොන්ද අමාරුවට ප්‍රතිකාර ගැනීමට ඔහු තමන් සතු කුඹුරු ඉඩමෙන් වී බුසලක් උකසට තබා තිබේ. මුදල් අවශ්‍යතාවලදී බැංකුවට යන මොවුන්ට ඇත්තේ කුඹුරු ඉඩම පමණි. ඡන්ද කාලයට හෙනානිගලට එන අපේක්ෂකයන්ගේ එකම පැතුම වන්නේ මේ අයට උදවු කිරීමය. ඒ කාලයට පොරොන්දු බොහොමයක් දුන්නත් ඒවා ගඟට කැපූ ඉනි වගේය. අඩුම තරමේ කැලෑවේ ටික දුරක් හරි ගොස් මී පැණි ටිකක් හෝ සොයාගැනීමට මේ අයට ඉඩ ලැබෙන්නේ නම් එය මේ ප්‍රශ්නයට පොඩි විසඳුමකි. අතීතයේදී ආදිවාසි ජනතාවට මේ විධියට කරදර තිබුණේ නැත. රක්ෂිතය ආශ්‍රිතව ජීවත්වීමේදී එදා ආදිවාසි ජනතාවට අක්කර 37,000ක් පමණ තිබිණි. එදා එම සීමා වෙන්කළේ ගල්මායිම් දමාය. නමුත් අද එම භූමිය ආදිවාසි ජනයාට හිමි නැත. මේ දුක තවදුරටත් විඳීමට තමන් අකැමැති බව හෙනානිගල ආදිවාසීහු පවසති. ඒ නිසා තමන්ගේ දරුවන් තමන්ට පිහිටක් වුණොත් හැර පවතින ආණ්ඩුවලින් තම ගැටලුවලට විසඳුම් නැති බව ඌරුවරිගයේ ලොකු බණ්ඩා කියයි. ආදිවාසින් කියා මේ ජනතාව පැත්තකට දැමිය යුතු නැත. අපේ රටේ අපේ ආදි ජනයා ආරක්ෂා කරගැනීම පවතින රාජ්‍යවල වගකීමකි.

ආදිවාසි දිනයට පමණක් මේ ජනතාව මතක්වීම සුබදායක නැත. ඡන්ද කාලයට පමණක් මේ අය මතක් වීමෙන් පලක් නැහැ. අඩුම තරමේ මේ ජනතාවට ජීවත්වීමට මඟක් සැලසීම කළ යුතුය. මාදුරුඔය රක්ෂිතයට මායිම්ව ඇති හෙනානිගල වැවේ මාළු අල්ලමින් මේ අය යම් ආදායමක් උපයා ගත්හ. එහෙත් අද වන විට එයටද බාධා මතු වී තිබේ. ඒ වනජීවී අධිකාරිය මඟින් මාළු අල්ලන අයව අල්ලා දඩ ගැසීම නිසාය. මේ හේතුවෙන් මේ ජනතාව තව තවත් අසරණ වී තිබේ. ඊට ලැබෙන විසඳුමක්ද නැත. මේ ජනතාව අදටත් සිය පාරම්පරික දේ ආරක්ෂා කරගෙන ජීවත්වෙති. අඩුම තරමේ සංචාරක කලාපයක් හෝ මේ ප්‍රදේශයේ ඇතිකර මේ අයගේ ආර්ථික තත්ත්වය රැකගැනීමට පියවර ගත යුතුව ඇත. එදා මේ ජනතාව ළඟ ඕනෑතරම් දඩ මස් තිබිණි. නමුත් අද මේ අයට මස් කෑල්ලක් කෑමට සිදුව ඇත්තේ ළඟ ඇති කඩෙනි. මී පැණි ගැනීමට සිදුව ඇත්තේ කඩයකිනි. අල, බතල සිටුවා ගැනීමට භූමියක් නැත. ඒවා උකසට තබාය. නමුත් ඒවාද අද මිලදී ගන්නේ කඩයෙනි. සතකු දඩයම් කිරීම ආදිවාසි ජනතාවගේ ජීවන වෘත්තියෙන් කොටසකි. මී පැණි සෙවීම ජීවිතයෙන් කොටසකි. නමුත් අද වන විට මේ ජනතාවට සිදුව ඇත්තේ එම අවශ්‍යතාවන් අත් ඇරීමටය. අද ද මේ අය පැරැණි චාරිත්‍ර තොවිල් පවිල් කරති. පැරැණි ක්‍රමයට පේනගල උපයෝගි කරගෙන ලෙඩවලට ප්‍රතිකාර කරති. නමුත් එසේවූවා කියා මේ ජීවිත සාර්ථක වී නැත. ඒ නිසා අද වන විට හෙනානිගල ආදිවාසි ජනතාව විඳින දුක ගැන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුමය. ඡන්දයකට ගමට ගොස් දෙන පොරොන්දු වෙනුවට මේ අයට ජීවිතය ගොඩගන්න සහ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කරදීම බලධාරීන්ගේ යුතුකමකි. එසේ නොවී මෙවර ඡන්දය ඉල්ලාගෙන හෙනානිගල ආදිවාසි ගමට ගිය විට දේශපාලකයන්ට ලැබෙන්නේ කෙටේරි පහරක් පමණි. ප්‍රගීත් සම්පත් කරුණාතිලක