බන්දු ටෙනී කිවුවම ඉතින් මතක් වෙන්නේ සිනා සාගරයක් අමුතුවෙන්  කියන්න දෙයක් නෑනේ මේ දෙන්නා දෙන ආතල් ඉතින් අපි අද හිතුවා මේ සිනා සාගරේ එක පැත්තක කිමිදෙන්න දශක හතරක කාලයක් පුරා විහිදුණු කලා දිවිය තුළ වේදිකාව පුංචි තිරය සහ සිනමාව සිය රංගනයෙන් ඒකාලෝක කළ ඔහු හාස්‍ය උත්පාදන රංගනයට අතිදක්ෂයෙකි. ‘නොම්මර එකයි’ චිත‍්‍රපටයෙන් සිනමාවට අත්පොත් තබමින් පේ‍්‍රක්ෂක හදවතේ සදාකාලික නොමැකෙන මතකයන් එක් කළ ඔහු වරදට දඬුවම, පෙරලිකාරයෝ, තෑන්ක් යූ බර්ටි ඇතුළු සිනමාපට 150 කටත් වඩා සිය රංගන දායකත්වය ලබාදෙමින් පේ‍්‍රක්ෂකයා අමන්දානන්දයට පත්කළ බව නොරහසකි. සිනමාවේ, වේදිකාවේ, සිනහව ඇති තැනක් වේ නම් ඔහුගේ නම අනිවාර්යයෙන්ම ඊට බද්ධ විය යුතුය. ඔහු ටෙනිසන් කුරේ නම් රංගන ශිල්පියාය. ‘මිනිස් සිත පිරිසිදු කරන්නට හැකි වීමට ලැබීම ඇත්තෙන්ම මම ලද විශාල භාග්‍යයක්.’ ඔහු කතා කරන සෑම අවස්ථාවකම කටින් පිටවන පළමු වචන ටික වන්නේ එයයි. මේ දිනවල නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට එක්වුණු ජයශ්‍රී ඇමැතිතුමා සිනමා නිර්මාණයෙන් පේ‍්‍රක්ෂයන්ට අපූරු වූ සිනහවක් එක් කරන ආදරණීය ටෙනීව අපිත් රසබර කතා බහකට එකතු කර ගත්තා. ජය ශ්‍රී ඇමැතිතුමා ගැන මොකද හිතෙන්නේ? බොක්ක ගැලවිලා යන්න හිනාවෙන්න පුළුවන් පට්ට කොමඩියක්. ඒ වගේම මේ චිත‍්‍රපටය මම ඉතාමත් ආසාවෙන් රඟපාපු හොඳ කොමඩි එකක්. ශ‍්‍රියන්ත මහත්මාගේ ලේකම්වරයෙකු විදිහට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ. අධ්‍යක්ෂවරයාව මම විශේෂයෙන් මතක් කරනවා.

ඔහු මේ නිර්මාණය සාර්ථක කරගන්න විශාල වෙහෙසක් ගත්තා. ශ‍්‍රියන්ත මහත්මයයි මමයි තමයි මේකේ ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. ආරාධනා කරනවා හැමෝටම චිත‍්‍රපටය නරඹන්න කියලා. මොකද කාලෙකට පස්සේ බඩපැලෙන්න හිනාවෙන්න පුළුවන් මේක බැලූවොත්. ශ‍්‍රියන්ත මෙන්ඩිස් එක්ක රඟපාන්නේ කොච්චර කාලෙකට පස්සෙ ද? අපි දෙන්නා එකට නිර්මාණවල රඟපාලා තියෙනවා මීට අවුරුදු 6කට විතර කලින්. ගොඩක්ම ටෙලිනාට්‍යවල. වේදිකාවෙන් මට ශ‍්‍රියන්තව මුණ ගැහිලා නෑ කිව්වට කවුරුත් විශ්වාස කරාවිද දන්නේ නෑ. ශ‍්‍රියන්ත එක්ක මම චිත‍්‍රපටයක රඟපාන්නේ පළවෙනි වතාවට. ශ‍්‍රියන්තව ඇමැතිතුමාගේ චරිතයෙන් දැක්කම ටෙනී අයියට මොකද හිතුනේ? මොනවා හිතෙන්න ද මට එකපාරට මැවිලා පෙනුනේ විජය නන්දසිරි මහත්තයව. ඔහු ජීවතුන් අතර හිටියා නම් කියලා පපුව පිච්චිලා ගියා. ශ‍්‍රියන්ත ඔහුගේ උපරිම දක්ෂතාව මේ චරිතය තුළින් පෙන්නුවා. ඇත්තටම දේශපාලන චරිත බොහොමයක් චිත‍්‍රපටවල කරලා තිනේනේ විජය මහත්මයා. ඔහු සමග චිත‍්‍රපට ගණනාවක රඟපාලා තියෙනවා. මොන නිර්මාණය කරන්න ගියත් විජය අයියව මම අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඔබ පේ‍්‍රක්ෂකයා අතරට එන්නේ කොමඩි නළුවෙක් විදිහට. ආපු දශක ගණනාව තුළ ඔබේ දක්ෂතාවයට නියම වටිනාකමක් ලැබිලා තිබෙනවාද? රඟපාලා මට දැනුණු ආත්ම තෘප්තිය තමයි මම ලබපු ලොකුම වටිනාකම. විකට නළුවෙක් විදිහට කලාවට දායක වෙන්න ලැබීම මම දකින්නේ ලොකු භාග්‍යයක් විදිහට.

මට සම්මාන රාශියක් ලැබිලා තියෙනවා. දැන් අවුරුදු 50කටත් වැඩියි මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා. මිනිහෙකුට වටිනාකමක් දෙන්න සම්මානයක් දෙන්නම ඕන නෑ. පේ‍්‍රක්ෂක ආදරේ හොඳටම ඇති. මට පේ‍්‍රක්ෂකයන්ගෙන් වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ මට හොඳටම ඇති. චිත‍්‍රපටි තුළින් එදා ලබපු ඒ තෘප්තිය සතුට අද හැදෙන නිර්මාණ තුළින් දැනෙනවාද? ඇත්තෙන්ම නෑ. ඉස්සර අපි චිත‍්‍රපටයක් කරද්දී ඒ නිර්මාණය පුදුමාකාර විදිහට රසවින්දා. ඒත් දැන් එවැනි රසබර විඳින්න පුළුවන් නිර්මාණ බිහි වෙන්නේ නෑ. වෙන්නේ නෑ කියලා උඩ බලාගෙන ඉඳලා බැරි නිසා වැල යන පැත්තට අපිත් මැස්ස ගහනවා. දැන් ඉස්සර වගේ චිත‍්‍රපටිවලට ආරාධනා ලැබෙන්නේ නෑ. චිත‍්‍රපටි කර්මාන්තය දැන් කනපිට ගහලා තියෙන්නේ. චිත‍්‍රපටි උණක් තියෙන එකෙක් මිසක් චිත‍්‍රපටයක් බලන්න දැන් ෆිල්ම් හෝල්වලට මිනිස්සු එන්නේ නෑ. දැන් මිනිස්සුන්ට චිත‍්‍රපටි එපාවීගෙන යන කාලයක් මේක. මිනිසුන්ගේ සිනමා උණ දැන් නෑ ටෙලි නාට්‍යයවලින් ඇයි ඔබව දකින්න නැත්තේ? ටෙලි නාට්‍යයකට නම් මම මෑතක දී දායක වුණේම නැහැ. දැන් ඔබ සීයා කෙනෙක්? කොහොමද පවුලේ අයත් එක්ක ගෙවන ජීවිතේ? ඔව්, මම දැන් සීයා කෙනෙක්. මගේ දුව ගුරුවරියක්. මුණුපුරෙක් සහ මිනිපිරියක් ඉන්නවා. මගේ ගමනේ සාර්ථකත්වය තමයි මගේ බිරිඳ. ඇය මල්සිරි කුරේ. බොහොම සතුටෙන් දරු මුණුපුරන් එක්ක කාලය ගත කරනවා. ටෙනිසන් කුරේ කියන්නේ පෞද්ගලික ජීවිතෙත් සීරියස් හිතන කෙනෙක් නෙමෙයිද? ජීවිතේ කරන්න අමාරුම දේ තමයි විහිළුව. ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ මම සීරියස් නැති පොරක් කියලා. මම හොඳ සාහිත්‍යධරයෙක්. විහිළුකාරයෙක් කියන කොටුවට මාව මිනිස්සු කොටු කළාට මම ඒ කොටුවට වැටෙන්න කැමති නෑ. ඒ වුණාට මිනිස්සු මට විහිළුකාරයා කියනවාට මම හරි කැමැතියි. නදීශා අතුකෝරළ ඡායාරූපය: සුමුධු හේවාපතිරණ