ලොවින් එකෙක් එක දයකට වෙයි සමත මේ කතාව හැමෝම අහලා ඇතිනේ මේ කියන්න යන්නේ ත් ඒ වගේ දක්ෂ තාවයක් තියෙන ගොඩක් ය දන්නේ නැති ඔහු සියඹලා ගහයට කළු අයියාය. ඔහු ගැන අපට අසන්නට ලැබුණේ පසුගිය දිනෙක පැවැති චිත්‍රපට මාධ්‍ය දර්ශනයකදීය. ඒ ඔහුව චිත්‍රපටකරුවන් පිරිසක් විසින් ඇගයීමට ලක් කළ බැවිනි. පැරණි චිත්‍රපටකරුවෝ ඔහු ගැන හොඳින් දැනගත්තද රට්ටු නම් ඔහු නොදත්තේය. රට්ටුන්ට ඔහුව හඳුන්වා දීමේ බලාපොරොත්තුවෙන් ඔහු පදිංචියැයි පැවසෙන ඉසව්ව සොයා ගියේය. ඒ ගංගාරාමය හුණුපිටිය හරස් පාර වෙතයි. ජනාකීර්ණ හරස් පාරක ඔහුගේ නවාතැන වන්නේ කුඩා කඩ කාමරයකි. අඩි දහයක ඉඩකඩක් නොතිබුණු එහි ඔහු නොසිටියේය. ඔහුගේ නවාතැන බවට සාක්ෂි ඕනවටත් වඩාය. ඒ කඩකාමර බිත්ති වසා තිබුණු පින්තූර හේතුවෙනි. ඔහුගේ නවාතැනේ එක් පසක ඔහුගේ ජංගම දුරකථන අංකය සටහන්ව තිබෙනු දුටු අප එයට ඇමතුමක් ගනු ලැබුවෙන් අනෙක් පසින් ලැබූ පිළිතුර වූයේ මෙවැන්නකි. ‘‘මම ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ චිත්‍රපටයක් බලනවා ඉක්මනට එන්නම්’’ කියාය. විනාඩි කිහිපයක් ඇතුළත කළු අයියා යන නමටම ගැළපෙන අයකු අප ඉදිරියේ පෙනී සිටියේය. ශරීර වර්ණයෙන් කාලවර්ණ වූ බැවින් ඔහු කළු අයියා විය. සියඹලා ගහ යට කුඩා කඩයක ජීවත් වූ නිසා සියඹලා ගහ යට කළු අයියා නමින් ප්‍රසිද්ධ වූයේය. කට වචනයට කළු අයියා කිව්වාට ඔහුගේ උප්පැන්න සහතිකයේ සටහන් වන නම වන්නේ ෂෙල්ටන් පෙරේරාය.

ෂෙල්ටන් පෙරේරා කියූ පමණින් මතකයට නැගෙන්නේ පැරණි ගායක ෂෙල්ටන් පෙරේරාය. මේ ෂෙල්ටන්, ඒ ෂෙල්ටන් නොවන්නේය. මේ ෂෙල්ටන්ගේ තතු දන්නෝ හඳුන්වන්නේ ‘අර චිත්‍රපට පිස්සා නේද’’ කියාය. ඇත්තටම ඔහු චිත්‍රපට පිස්සෙකි. පසුගිය දිනෙක පැවැති චිත්‍රපට මාධ්‍ය දර්ශනයේදී ඔහුව ඇගයීමට ලක්කළේද මේ චිත්‍රපට පිස්සුව හේතුවෙනි. එහිදී ඔහුව හඳුන්වා දුන් නිවේදකයා පැවසුවේ ලංකාවේ සිටින ජනප්‍රියම චිත්‍රපට ප්‍රේක්ෂකයා වන්නේ කළු අයියා කියාය. ඉන්දියාවේ එම්.ජී.ආර්. වැන්නන් වෙනුවෙන් දිවි දීමට පවා සිනමා රසිකයන් සිටි බවට අප අසා ඇතත් ගාමිණී, විජයට ආදරය කළ රසිකයකු පිළිබඳ අසා ඇත්තේ කලාතුරකිනි. නමුත් කළු අයියාට ගාමිණී ෆොන්සේකා යනු ජීවිතයේ එක් කොටසකි. ඒ බව තවත් තහවුරු වන්නේ කළු අයියාගේ පුංචි කඩ කාමරය වසා සිටි ඡායාරූප අතරින් වැඩිම කොටසක් ඇත්තේ ගාමිණී ෆොන්සේකාගේ ඡායාරූපයන්ය. ඒ අතර අප පවා නොදුටු ඡායාරූපයන් බොහෝය. අප හා කතා බහ කිරීමට පෙර ඔහු දිගු කලිසමකින් ෂර්ට් එකකින් හා අව් කණ්ණාඩියක්පැලඳගෙන ආවේ ගාමිණී ෆොන්සේකාගේ පෙර දවස සිහි කරන්නා සේය. ‘‘මම කොහොමත් කැමැති ගාමිණී මහත්තයා වගේ අඳින්න තමයි’’ අපි ‘‘ෂා… කළු අයියා’‘ යනුවෙන් පැවසුවම ඔහුගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. දැන් සියල්ල සූදානම්ය. එතැන් සිට ඇරඹෙන්නේ කළු අයියාගේ චිත්‍රපට කතාවයි. එය මීට වසර පනස් හයක ඉතිහාසයකට දිව යයි. ඒ වන විට කළු අයියා පසුවූයේ දස වැනි වියේය.

අම්මා මාව ගාමිණී හෝල් එකට එක්කරගෙන ගියා චිත්‍රපටයක් බලන්න. මට මතක විදිහට එදා බැලුවේ බොනිෆස් ප්‍රනාන්දු මහත්තයා රඟපාන සුහද දිවි පිදුම චිත්‍රපටයයි. ඉන්පසුව රන්මුතු දූව නැරඹීමට කළු අයියා අම්මාත් සමග යන්නේය. ‘‘රන්මුතු දූව බලන කාලේ ගාමිණී කියන්නේ කවුද කියලවත් මම දන්නේ නැහැ. නමුත් ආසාවෙන් බලනවා.’’ පුංචි ගැටව් පිට්ටනිය දෙවනත් කරද්දී කළු අයියාට සිතෙන්නේ චිත්‍රපට ශාලාව වෙත දිවීමටයි.
තනියම චිත්‍රපටයක් බලන්න යන්න බැරි කාලේ අම්මට කරදර කරලා චිත්‍රපට බලන්න යනවා.’’ නාඹර වයසට පිවිසෙද්දී පළමුවෙන්ම තනියම බැලූ චිත්‍රපටය ඔහුගේ මතකයේ නැතත් ගාමිණී ෆොන්සේකාගේ චණ්ඩියා නම් ඔහුට හොඳ හැටි මතකය. ‘‘චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී මහත්තයාගේ රඟපෑම දැකලා මට පිස්සු හැදෙනවා. ගාමිණී මහත්තයා වාගේ අඳින්න පලඳින්න. ඇවිදින්න පටන් ගත්තා. චණ්ඩියා ටයිටස් තොටවත්තයන්ගේ අධ්‍යක්ෂණයකි. ගාමිණී ෆොන්සේකා සටන් නළුවකු ලෙස කරළියට පැමිණෙන්නේ චණ්ඩියා තුළිනි. චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක් පැය භාගයක පමණ කාලයක් තිබී ඇත්තේය. ඒ ගාමිණී ෆොන්සේකා හා රොබින් ප්‍රනාන්දු අතරය. කළු අයියාගේ සිත මේ චිත්‍රපටය කෙරෙහි කොතරම් ඇදී ගියේ දැයි පැවසුවහොත් ඔහු චණ්ඩියා චිත්‍රපටය විසිතිස් පාරක් නරඹා ඇත්තේය. ‘‘සමහර දවස්වල චණ්ඩියා චිත්‍රපටය උදේ 10.30 බලලා දවල් එකත් බලලා රාත්‍රි 9.30ත් බලලා තමයි ගෙදර එන්නේ.’’ එකල සිනමාශාලා ටිකට් පතක් ශත පනස් පහකි.

ඔහු මේ වන විට විවිධ චිත්‍රපට දර්ශන වාර පනස් දහසක් පමණ නරඹා ඇත. මේ අනුව ඔහුගේ ජීවිත කාලයෙන් හතරෙන් එකක් පමණ ගත කර ඇත්තේ චිත්‍රපට ශාලා ගැලරියේය. එසේම චිත්‍රපට නැරඹීමට වැය කළ මුදල් එකතු කළා නම් එකල ඔහු ජීවත් වන ප්‍රදේශය වන ගංගාරාමය පැත්තෙන් පර්චස් කිහිපයක හිමිකරුවකු වීමට ඉඩ තිබුණා නොඅනුමානය. ඔහු මුදල් හම්බ කර ඇත්තේ චිත්‍රපට බැලීමටයි. කළු අයියාගේ ආදායම් මාර්ගය වූයේ අශ්වයන් පැදවීමයි. ඔහු එක්දහස් නමසිය අසූ ගණන්වල නමගිය අශ්ව ජොකියෙකි. ‘‘මම වයස අවුරුදු දාහතරේ ඉඳලා පෝනි රේස් පදිනවා. අපිටම කියලා පෝනියොත් හිටියා. මම කොළඹ රේස් කෝස් එකේ වගේම නුවරඑළියෙත් ගිහිල්ලා පෝනි රේස් පදිනවා. හවසට ගෝල්ෆේස් එකේ පෝනි රයිඩ් කරනවා. එක රයිඩ් එකකින් මට ශත විසිපහක් ලැබෙනවා. පෝනි රයිඩ් දෙකක් ගියාම චිත්‍රපටයේ ගාන හරි. මම කෙළින්ම දුවන්නේ චිත්‍රපට හෝල් එකට.’’ කළු අයියාට මරදාන ගාමිණී සිනමා ශාලාව ගෙදරටත් වඩා හුරු පුරුදුය. ඇතැම් දිනවල කෑමක් බීමක් පවා නොමැතිව දිනයම ගත කරන්නේ ගාමිණී හෝල් තුළය. ඒ නිසාම ඔහුට ගාමිණී හෝල් පිළිබඳ ඇත්තේ රසබර මතකයන්ය. ‘‘අපි ඒ දවස්වල චිත්‍රපට බලන්නේ හෝල් එකේ ගැලරියේ ඉඳලා. හෝල් එකට ඇතුළු වුණු හැටියම දුවලා ගිහිල්ලා ඉස්සරහම පේළිය අල්ල ගන්නවා. දවසක් එහෙම ගිහිල්ලා ඉස්සරහම පේලියේ ඉඳගත්තා. දැන් අකුරු සෙට් එක දානවා.

ඊට පස්සේ ගාමිණී ෆොන්සේකා මහත්තයා එක පාරට පිහිය ගන්නවා, එක පාරටම අනිනවා, දැන් ඉස්සරහට එනවා. එන්නේ අපි පැත්තට. එක පාරටම පුටුවෙන් නැගිට්ටුණා දිව්වා දිවිල්ලක් හෝල් එකෙන් එළියටම. බලද්දි මම විතරක් නෙමේ හෝල් එකෙන් භාගයක්ම බයවෙලා එළියට දුවලා.’’ කළු අයියා සමග කතා බහ කරන විට චිත්‍රපට නම් ගම් ගලාගෙන එන්නේ නිරායාසයෙන්මය. ගාමිණී ෆොන්සේකාගේ සටන් ජවනිකා තිබෙන චිත්‍රපටම නරඹා කළු අයියා දිනක ගම්පෙරළිය නැරඹීමටද ගියේ තවත් හොඳ සටන් ජවනිකාවක් බලා ගැනීමටයි. ‘‘ගාමිණී මහත්තයාගේ නම කිව්වොත් මතක් වෙන්නේ ෆයිට් විතරයි. ගම්පෙරළිය නම ඇහුව විතරයි මට හිතුණේ හොඳ ෆයිට් කතාවක් කියලා. මොකද ගමක් පෙරළන කතාවක්නේ. වෙනදා වාගේම ගිහිල්ලා ගැලරියේ ඉඳගත්තා චිත්‍රපටය පටන් ගත්තා. ඔන්න කතාවත් යනවා. අපිත් බලන් ඉන්නවා දැන් ෆයිට් එකක් යයි කියලා. අනේ ගම්පෙරළියක් බලන්න ගියාට මොකද කතාවක් බලලා ආවා.’’ කළු අයියා මෙතෙක් බැලූ චිත්‍රපටවලින් ඔහුගේ සිත් ගත්ම චිත්‍රපටය ආත්ම පූජාය. ඔහු පවසන ආකාරයට එම චිත්‍රපටයේ ඉංග්‍රීසි චිත්‍රපටය මෙන්ම ද්‍රවිඩ චිත්‍රපටයද ඔහු නරඹා ඇත්තේය. ‘‘ආත්ම පූජා චිත්‍රපටයෙහි මුල්ම නම දෙබිඩි දරුවෝ’’ මේ චිත්‍රපටයේ ඉංග්‍රීසි චිත්‍රපටය තමයි කෝසිකන් බ්‍රදර්ස්. ද්‍රවිඩ එක තමයි නිලම් තෙරප්පු මම මේ තුනම බැලුවා. කඩු ෆයිට් කරනවා බලන්න ඉන්න ආසාවේ බැහැ. ඒ දවස්වල කතාවක් තිබ්බා ගාමිණී මහත්තයා එම්.ජී.ආර්. ගෙන් කඩු ෆයිට් ඉගෙන ගෙන ආවා කියලා.

එකල ගාමිණී ෆොන්සේකා ප්‍රාණය හා සමාන වෙද්දී විජය කුමාරතුංගයන්ට හා ජීවන් කුමාරතුංගයන්ටද මඳ ළෙංගතුකමක් ඔහු සතුව තිබුණේය. එම පරම්පරාවෙන් පසුව රංජන් රාමනායකට හා අර්ජුන කමලනාත්ට කැමැත්තක් කළු අයියාගේ සිතේ ඇතිවන්නේය. මෙකල නම් කළු අයියලා නතර වන්නේ උද්දික ප්‍රේමරත්න නම් තරුණ නළුවා ළඟයි. විටෙක ගාමිණී ෆොන්සේකාට තිබූ තැන උද්දික තෝරා ගන්නේ දැයි කළු අයියාගේ සිතෙහි සැකයක් පවා පහළ වී ඇත්තේය. ‘‘මම කවදත් ආදරේ කළේ ගාමිණී මහත්තයාට. නමුත් උද්දික මහත්තයාගේ රඟපෑම දැක්කාම මට මතක් වුණේ ගාමිණී මහත්තයා. කවදා හරි දවසක ගාමිණී මහත්තයා වගේම උද්දිකත් ප්‍රසිද්ධ වෙනවා.’’ පිරිමි පාර්ශ්වය වැඩියෙන්ම ආකර්ෂණය වන්නේ නිළියන්ටය. නමුත් කළු අයියාගේ සිත තුළ නිළියන්ට එතරම් ආකර්ෂණයක් නොතිබුණේය. යම්තාක් දුරට ඇල්මක් තිබුණේ ජීවරානිට පමණි.
ඉන්පසු කළ දිල්හානි අශෝක මාලාට හා සංගීතා වීරරත්නට මඳක් ඇලුම් කළේය. එකල මෙකල ඔහු ඇල්ම දක්වන බොහෝ නළු නිළියෝ කළු අයියාගේ හිතවතුන්ය. ඇතැම් විට ඔවුන් කළු අයියා සොයා පැමිණ ඇත්තේය. කළු අයියාගේ චිත්‍රපට රුචිකත්වය සිංහල සිනමාවට පමණක් සීමා නොවන්නේය. ‘‘ඉස්සර ගාමිණී හෝල්, රාජගිරිය ඉම්පාලා, බොරැල්ලේ ලිඩෝ වාගේ හෝල්වලට වැඩිපුරම එන්නේ සිංහල චිත්‍රපට. බොරැල්ලේ රිට්ස්, පංචිකාවත්තේ ක්‍රවුන් දෙමටගොඩ සමන්තා එකට එන්නේ හින්දි සහ දෙමළ චිත්‍රපටය.

එම්පයර්, ටවර් හෝල් වාගේ තැන්වල ඉංග්‍රීසි චිත්‍රපට පෙන්නුවා.’’ ගාමිණී මෙන්ම දිලීප් කුමාර්, එම්.ජී.ආර්. ස්වාජි ගනේෂන් ශෂි කපූර්, කේ ෂංකර්, මෙන්ම මාලන් බ්‍රැන්ඩෝද කළු අයියාගේ සිත ගත් වීරවරයෝය. දින සමන්තා චිත්‍රපට ශාලාවට ගිය අවස්ථාවේදී කළු අයියා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. ‘‘සමන්තා එකට ගියා දෝස්ති හින්දි චිත්‍රපටය බලන්න. ටිකක් වෙලා යද්දි තිරය ගිනි ගන්නවා වගේ පේනවා. මම හිතුවේ චිත්‍රපට දර්ශනයක් කියලා. ටිකකින් තේරුණා ඇත්තටම තිරය ගිනි ගන්නවා කියලා දුවලා එළියට ආවා. හෝල් එකත් එක්ක තරහාකාරයෙක් බෝම්බයක් ගහලා.’’ කළු අයියා කොළඹ උපන්නෙක් වුවාට චිත්‍රපට නැරඹීම සඳහා ලංකාව පුරාම කරක් ගසා ඇත්තේය. එකල තුරඟ තරග සඳහා නුවරඑළියේ ගිය විට නුවර සිනමා ශාලාවල්වලට මෙන්ම වැලිමඩ සිනමා ශාලාවලට ගොඩවැදීමට අමතක නොකරන්නේය. කළු අයියාගේ චිත්‍රපට බැලිල්ල කොතරම්ද කිව්වොත් බොහෝ සිනමා ශාලා මැනේජර්වරු ඔහුගේ හිතවතුන්ය. රාජගිරිය ඉම්පාලා සිනමා ශාලාවේ එවකට සිටි මැනේජර් ඔහුගේ හිතවතෙකි. එකල ඔහුට ඕනෑම වෙලාවක නොමිලේ චිත්‍රපටයක් බැලීමට ඉම්පාලා සිනමා ශාලාවේ දොරගුළු විවෘතය. ඔහුගේ පියා මිය යන්නේද ඔහු ඉම්පාලා සිනමා ශාලාවේ චිත්‍රපටයක් නරඹමින් සිටින අතරතුරයි. ඒ 1975 වසරේ දවසක් මම රාජගිරියේ ඉම්පාලා එකේ ශෂි කපූර් රඟපාපු චිත්‍රපටයක 9.30 ෂෝ එක බල බලා හිටියේ. ඒකේ මැනේජර් මහත්තයා ඩලස් පෙරේරා ඇවිත් මට කිව්වා ෂෙල්ටන් දැන් ගෙදර යන්න අපිත් රෑ වෙලා එන්නම් කියලා.

මම ඒත් ඇහැව්වා කවදාවත් නැතිව ඇයි එහෙම කියන්නේ කියලා. පස්සේ මම ගෙදර ගියා. එතකොට තමයි දන්නේ තාත්තා නැතිවෙලා කියලා. චිත්‍රපට බල බලා සිටිය කළු අයියාට චිත්‍රපටවල සුළු චරිත රඟපෑමටද අවස්ථාව ලැබෙන්නේය. ‘‘මම චිත්‍රපට බලන්න ගිහිල්ලා විවිධ අධ්‍යක්ෂවරු අඳුන ගත්තා. අපේ පෝනියොත් චිත්‍රපටවලට ගත්තා. ගොඩක් නළුවන්ට පෝනියා පිටේ යන්න මම පුරුදු කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල සුළු සුළු සටන් ජවනිකාවලට මාව අරගෙන තියෙනවා. චිත්‍රපට සඳහා පෝනියන් සැපයී‍මේදී කළු අයියා සතුව අපූරු කතාවක් ඇත්තේය. ඒ හඳයා චිත්‍රපටය සම්බන්ධයෙනි. ‘‘හඳයා චිත්‍රපටයට හඳක් තිබෙන පෝනියෙක් හෙව්වා. අපේ අයියා ළඟ එහෙම පෝනියෙක් හිටියා. නමුත් අයියා හා අධ්‍යක්ෂවරුන් අතර තිබ්බ අමනාපයක් හින්දා අපේ පෝනියා හඳයා චිත්‍රපටයට දුන්නේ නැහැ. පස්සේ මම තමයි කොල්ලුපිටියේ රාජ් කුමාර් කියන අයගේ පෝනියා ඉල්ලලා දුන්නේ. ඒත් ඒ පෝනියට හඳක් තිබුණේ නැහැ. පස්සේ අපි රාජ් කුමාර්ගේ පෝනියට හඳක් ඇන්දා. ඒ විදිහට තමයි හඳයා චිත්‍රපටයට හඳක් තිබෙන පෝනියෙක් ලැබුණේ. මීට වසර පහළොවකට පමණ පෙර කළු අයියා චිත්‍රපට බැලීම නතර කළේය. ඔහු පවසන ආකාරයට ඔහුගේ රුචිකත්වයට ගැළපෙන චිත්‍රපට ඒ කාලය තුළ ප්‍රදර්ශනය නොවීම නිසාය. ‘‘මේ කාලයේ රංජන් රාමනායකගේ හරි, අර්ජුන කමනාත්ගේ හරි ෆයිට් ෂෝ එකක් තිබුණොත් බැලුවා.

නමුත් පසුගිය දවසක පෙන්නපු ‘‘රෂ්’ චිත්‍රපටය බැලුවාම මට ආයිත් චිත්‍රපට බලන්න ආසාවක් ආවා.’’ මේ ආසාවත් සමගම කළු අයියා පසුගිය දිනෙක අනෝමා ජනාදරීගේ චිත්‍රපට උළෙලක චිත්‍රපට බැලීමට ගියේය. සටන් ජවනිකාවලින් තොර චිත්‍රපට කිහිපයක් නැරඹූ ප්‍රථම අවස්ථාවද එයම වන්නේය. මට දැන් හිතෙනවා ෆයිට් චිත්‍රපට විතරක් නෙමේ මේ වාගේ චිත්‍රපටත් බලන්න ඕන කියලා.’’ නමුත් සුපිරි යැයි පැවසෙන බොහෝ චිත්‍රපට ශාලා වෙත කළු අයියා ගොඩවදින්නේ නැත. ඒ ඔහුට ඒවායේ ටිකට් පතක මිල දරාගැනීමට නොහැකි බැවිනි. කොම්පඤ්ඤවීදියේ තිබෙන එක්තරා සුපිරි සිනමා ශාලාවක් පිළිබඳව දන්නේවත් නැත. කළු අයියාගේ වත්කමට ඒවාට ඔහුට ගොඩ වැදීමටත් නොහැක්කේය. ඉඳහිට හෝ චිත්‍රපටයක් නැරඹීමට ඔහු මිල මුදල් සොයා ගන්නේ කාගේ හෝ වත්තක කුලී වැඩක් කිරීමෙනි. ‘‘මේ කඩ කෑල්ලේ තිබෙන පින්තූර මට පණ වගෙයි. වැස්ස වෙලාවට හිරිකඩ ඇවිල්ලා තෙමෙනවා. මම මේවා නොතෙමි තියා ගන්න පුදුම උත්සාහයක යෙදෙන්නේ.’’ ගැලරි ප්‍රේක්ෂකයකු වූ ඔහුට චිත්‍රපටයක් නැරඹීම එතරම් අපහසු කරුණක් නොවන්නේය. නමුත් අන්තර්ජාලය හරහා ලොකු ගණන්වලට ඔහුට චිත්‍රපටයක් සඳහා ආසනයක් වෙන් කිරීමේ හැකියාවක් නැත. ඔහු පුදුම සහගත ප්‍රේක්ෂකයකු වන්නේ හතර කැලෑසියවත් පාස් නොකරයි. කළු අයියා කිසිදු සිනමා ප්‍රේක්ෂක සමාජයක නැත්තේය. චිචාරකයන් යැයි කියා ගන්නා බොහෝ දෙනකුට වඩා කළු අයියා චිත්‍රපට නරඹා ඇත්තේය.

ඔහුගේ විචාරයන් ගලා එන්නේ හදවතින්මයි. සියඹලා ගහයට තිබෙන තාප්පය ඔහුගේ නිවසෙහි එක් බිත්තියකි. අනෙක් බිත්ති සෑදෙන්නේ ලෑලි තහඩු ඇතුළු විවිධ දේවලිනි. නමුත් ඔහු ගෙවන්නේ තෘප්තිමත් දිවියකි. ‘‘සමහර දවස්වලට මට කන්න බොන්න ඕනෙත් නැහැ. මේ තිබෙන පින්තූර අත ගගා හිටියාම ඇති.’’ ඔහු රාත්‍රියට නිදා ගන්නේත් මේ කුඩා කඩ කෑල්ලේය. හතර අතේ තිබෙන නළු නිළි ඡායාරූප රාත්‍රියට එක්තැනකට වන්නේය. ඒ ඔහුට ඇඳක් තනා ගැනීමට ඉඩක් කඩක් සොයා ගැනීමටයි. ඔහුගේ කුඩා ඉඩෙහි යකඩ පෙට්ටි දෙකක්ද ඇත්තේය. ඒවා පිරී ඇත්තේ නළු නිළි ඡායාරූප හා ඔවුන්ගේ විවිධ විස්තර රැගත් පත්තර පිටුවලිනි. දින කිහිපයක දුර ගමනක් යන්නේ නම් රැගෙන යන ඇඳුමට කැඩුමට අමතරව තවත් යමක් ඇත්තේය. ඒ ඔහු එකතු කරගත් මෙම නිධානයයි. ඔහුට ඔහුගේ කඩ කැබැල්ලටත් වඩා වටින්නේ මේවාය. මතු දිනක සියඹලා ගහ යට කළු අයියාගේ කතාවද චිත්‍රපටයක් සඳහා කතාවක් සොයන්නකුට හමුවන්නේ නම් කොතරම් අගනේද? ශිරෝමි රත්නායක