දිල්කි උරේෂා කියන නම කිවුවම ඇයව නොදන්නා කෙනෙක් ඉන්නවා කිවුවොත් ඒ අතේ ඇඟිලි වලටත් වඩා අඩු සංක්‍යාවක් මොකද ඇය එතරම් ප්‍රසිද්දයි ‘සත්තයි මට ඔබ වාගේ’ කියන ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත් ගීතයකි. මෙම ගීතයේ අයිතිකාරිනිය වන දිල්කි උරේෂා ටෙලිනාට්‍ය කිහිපයකම තේමා ගීත ගායනා කරන නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනියකි. ඇයගේ සංගීත කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අප ඇයව මෙලෙස එක් කර ගත්තාය.  අලුත්ම ගීතය මිලියනයක වාර්තාවක් තිබ්බා නේද? ‘‘සත්තයි මට ඔබ වාගේ’ ගීතය හිතන්නෙවත් නැතුව තමයි කළේ. අශාන් ප්‍රනාන්දු, නිසල් සහ මම කතා වෙලා තමයි මේක කළේ. අපි මෙච්චර දුර මේ ගීතය එයි කියලා හිතුවෙ නැහැ. ඇත්තටම මේක කලින් වොයිස් කරලා තිබ්බ එකක්. දාන්න ට්‍රැක් එකක් නැති නිසා දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. හිතාගන්නෙවත් බැරි විදිහට trending එකක් වුණා දවස් 06කින් විතර වගේ. දවස් 12කින් විතර මිලියනයක් විව්ස් ලැබුණා. ගීතය එතරම් ජනප්‍රිය වුණේ කොහොමද? ඇත්තටම මටත් හිතාගන්න බැහැ. ඒ ගීතයට අදටත් ප්‍රතිචාර ලැබෙනවා. නරක ප්‍රතිචාර ලැබෙන්නේ නැති තරම්. ගොඩක් අය කියනවා හරිම සංවේදියි. වචනයක් වචනයක් ගාණේ අහන් ඉන්න ආසයි. ඒ වගේ ප්‍රතිචාර තමයි මට ලැබුණේ. හිතාගන්න බැරි ආදරයක් ඇත්තටම ලැබුණා. හිතපු නැති ආදරයක්, ප්‍රතිචාරයක් ලැබෙද්දී දැනෙන්නේ කොහොමද?

ඒක ඇත්තටම කියා ගන්න බැරි සතුටක්. මට ඒක වචන කරන්න තේරෙන්නේ නැහැ පුදුම සතුටක් ඒක. හිතන්නෙවත් නැති දෙයක්. නොහිතපු විදිහට ඒ දේ රසිකයන් අතරට ගියාම හිතන්නෙවත් නැති සතුටක් දැනේනේ. දැනට ගීත කොපමණ විතර එළිදක්වලා තියෙනවාද? මම මුලින්ම මගේම ගීතයක් කළා. ඒ අශාන් ප්‍රනාන්දු එක්ක. ‘මගෙත් ආයුෂ’ කියලා ගීතයක්. ඊට පස්සේ තමයි අශාන් අයියාගේ ‘මං පතනවා’ කියන පිළිතුරු ගීතය කරන්නේ. ඊට පස්සේ මම තේමා ගීතවලට යොමු වෙනවා. මගේ තේමා ගීත තුනක් තියෙනවා. ‘හීනයක්ද මේ’, ‘ආදර මායාව’, ‘උරුමයක අරගෙන’ කියලා ටෙලිනාට්‍ය තුනක. ඊට පස්සේ තමයි මම කවර් සෝන්ග් පැත්තට එන්නේ. දුලීක අයියා, නිසල අයියා එක්ක ‘ඔබට ආදරෙයි මං’, ’එක දවසක් එන්න සොයා’ කියන Covers දෙක කළා. ඊට පස්සේ තමයි ‘Hare Hare Hare’ කියන හින්දි ගීතයේ සිංහල Version එක විදිහට ‘සත්තයි ඔබ මට වාගේ’ කියන කවර් සෝන්ග් එක කරන්නේ. ගීත ගායනයට යොමු වුණේ කොහොමද? මගේ පුංචි කාලේ ඉඳන්ම හීනයක් වුණේ සංගීත ගුරුවරියක් හෝ ගායිකාවක් වෙන්න. ගෙදර පරිසරයත් එක්ක අම්මා, තාත්තාගෙන් ඒකට මට බාධාවක් වුණේ නැහැ. මම ඒ වෙනුවෙන් මහන්සි වුණා. ඒක මගේ නිවැරදිම මාර්ගය බව දැන් මට තේරෙනවා. කාලයට ගීත රැලි බිහිවෙනවා, ඒ ඔස්සේ යනවාද? නැත්නම් ඔබටම ගමනක් තියෙනවාද? මට ඕනේ දිල්කි උරේෂා කියන කෙනා නිර්මාණය කරන්නයි.

රැල්ලකට යන්නවත්, තව කෙනෙක් කරන එක කරන්නවත් නෙමෙයි. දිල්කි උරේෂා කියන Brand එක හදන්නයි මට ඕනේ. ඒක තමයි මගේ එකම හීනේ. මට ඕනේ මං වගේ වෙන්නයි. තමන්ගේ අනන්‍යතාවයක් හදාගන්න කොච්චර අමාරුද? ඇත්තටම ගොඩක් අමාරුයි. මොකද ගොඩක් දක්ෂ අය ඉන්නවා. ගොඩක් අය ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්නවා. ඉතිං එහෙම තියෙද්දී අපේ දක්ෂතා එක්ක අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගෙන දැනුමක් තියාගෙන ඒකට අවබෝධයකින් අපි හිටියොත් මම හිතනවා ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න පුළුවන් කියලා. ඉදිරි කටයුතු මොනවාද? ඉදිරියේදී තවත් මගේ කවර් සෝන්ග් ​බලන්න පුළුවන්. ඒ වගේම මගේම ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීතය පැත්තෙන් මගේ නිර්මාණ හැම කෙනෙකුටම බලාගන්න පුළුවන්. ඒ දේවල් කරගෙන ප්‍රසංග වේදිකාවලට සහභාගී වෙලා හෙමින් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. කවර් සෝන්ග් වලට ඇයි වැඩි නැඹුරුවක් තියෙන්නේ? ඇත්තටම මම කරපු කවර් සෝන්ග් වලින් තමයි ඇත්තටම මට දෙයක් ලැබුණේ. ඉක්මනට මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා. ඉතිං ඒ නිසා කවර් සෝන්ග් කරන එක නම් නතර කරන එකක් නැහැ. අතහිත දුන් අය ගැන කිව්වොත්? මගේ අම්මයි, තාත්තියි, පුංචි සහ ආච්චි වගේම අශාන් ප්‍රනාන්දු අයියා සහ නිසල් ප්‍රනාන්දු අයියා ඇතුළු වචනයකින් හරි මගේ හිතට ශක්තියක් වුණා සහ මම වැටුණු වෙලාවට මාව ශක්තිමත් කරපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට ආදරය කරන මගේ රසික රසිකාවියන්ටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප – කවීත් මිලින්ද