උදෑසන තණ බිස්සක ඇවිදීම බොහෝ රෝගවලට සහනයක්

අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට් පදාසයකින් වැසී ගොස්ය. මිනිසාට තණබිස්සක පහස ලබන්නට දෙපතුලකට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් හිමිදිරි උදෑසනක තණ බිස්සක සක්මන් කරන්නට ඇත්නම් එය ලෙඩ රෝග ගණනාවකින් දුරස්ව ජීවත් වන්නට හොඳම මාර්ගයකැයි දේශීය වෛද්‍ය විද්‍යාවෙන් පැවැසේ. කොන්ක්‍රීට් වලින් වසා දමන්නට සිතන ඔබේ ගෙමිදුලෙ සිහින් තීරයක් තණ බිස්සක් සේ සකස් කර ගත හැකි නම් මෙම ප්‍රතිලාභය ඔබට නොමිලයේම අත්පත් කර ගත හැකිය. තණකොළ වෙනුවට ඔබට හීන් උඳුපියලිය නමින් හැඳින්වෙන ඖෂධීය පැළෑටිය සිටුවා ගත හැකි නම් ඒ මත ඇවිදීමෙන් අත්වෙන යහපත ඊටත් වඩා බොහෝ වැඩිය. හීන් උඳුපියලියද තණ කොළ මෙන්ම පහසුවෙන් බෝවන පැළෑටියකි. හීන් උඳුපියලි මත ඇවිදීම දේශීය වෙදකමේ අනඟි ඔසුවකි.

මේ ආකාරයට සකසා ගත් තණ පලසක් හෝ උඳුපියලි පලසක් මත උදෑසන ඇවිදීමේදී රුධිර සංසරණය ක්‍රමානුකූල වී බොහෝ ලෙඩ රෝග වැලඳීමට ඇති හැකියාව අවම කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවය හා සම්බන්ධ ගැටලුවලටත් ගර්භාෂය සම්බන්ධ රෝග සහ හෝමෝන ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන්ටත් මෙය විශාල සහනයක් බව සඳහන් වේ. එබඳු රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන් තණ පලසක් මත ව්‍යායාම වල යෙදීමන් ඉන් ලැබෙන යහපත තවත් වැඩිය. යටිපතු‍ලේ ප්‍රණීත ක්‍රියා හා සම්බන්ධ කලාප වැඩි ගණනක් පිහිටා ඇති අතර තණ පලසක් මත ඇවිදීමේදී එම කලාප ඉතා යහපත් ආකාරයෙන් උත්තේජනය වීම සිදුවේ. ඇස්, කන්, පෙණහලු, මොළය, වකුගඩු හා සම්බන්ධ ස්නායු සම කලාප හා සම්බන්ධව පවතින නිසා එම අවයවයන්හි ක්‍රියාකාරිත්වය ඉතා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තණ බිස්සක ඇවිදීම හේතුවේ.

‍පොළොවේ ඇවිදින විට පළමු වන දෙවන හා තුන්වන ඇඟිලි වලට වැඩි බරක් වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එම ඇඟිලි තුනට ඇස් හා සම්බන්ධ ස්නායු වැඩි ප්‍රමාණයක සෘජු සම්බන්ධතාවයන් පවතින අතර උදෑසන තණ බිස්සක හෝ උදුපියලිය බිස්සක ඇවදීමේදී එම ඇඟිලි ආශ්‍රිත ප්‍රදේශය ඒ හා සමග හොඳින් ගැටී උත්තේජනය වීමෙන් ඇස්වල නිරෝගී භාවයට විශාල පිටිවහලක් ලැබේ. යටිපතුල්වල ඇති ස්නායු උත්තේජනය වීම මගින් රුධිර පීඩනය අඩු කරන නිසා අධිරුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ අයට තණ මත ඇවිදීමට ඖෂධයක් බවට පත් කර ගත හැකිය.

වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය

ලියුකේමියාව ලෙස වෛද්‍යවරුන් හඳුන්වන රෝගය සමාජයේ ‍පොදු ව්‍යවහාරයට අනුව ‍ලේ පිළිකාවයි. ඒත් වෛද්‍යවරුන් කියන හැටියට ලියුකේමියාව නොවන රුධිරය ආශ්‍රිත පිළිකා තවත් කීපයකි “මල්ටිපල් මයලෝමා” නමැති රෝගයද එවැනි ලියුකේමියාව නොවන රුධිර ගත පිළිකා තත්ත්වයකි. මෙම රෝගයේදී සිදුවන්නේ රුධිරයේ තිබෙන ප්ලස්ම තෙල්වල අසාමාන්‍යතාවක් ඇති වීමයි. මේ සඳහා වැඩිපුර ගොදුරු වන්නේ වැඩිහිටියන්ය. මල්ටිපල් මයලෝමා රෝගී තත්ත්වයට අමතරව හොඩ්ග්කින් ලින්ෆෝමා නන් හොඩ්ග්නින් ලින්ෆෝමා තත්ත්වයද රුධිර ආශ්‍රිතව ඇති වන පිළිකා තත්ත්වයකි. මෙම ඇට මිදුලු පිළිකා වර්ග කිහිපයටම ප්‍රතිකර්මය නම් ස්වායත්ත ඇට මිදුල බද්ධ ප්‍රතිකර්මයයි. ඇට මිදුලු පිළිකා වර්ග අතරින් සමහර පිළිකා ලියුකේමියාව ලෙස හඳුන්වන අතර තවත් සමහර රෝගී තත්ත්ව ලියුකේමියාව නොවන බව මහරගම අපේක්ෂා රෝහ‍ලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නීය.

ඇට මිදුලු බද්ධ සැත්කමක් යනු ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරුම නොකළ සැත්කමකි. ඒ නිසා රෝගීන්ට මේ සඳහා විශාල මුදලක් වැය කරමින් විදෙස් රටකට ගොස් සිදු කර ගැනීමයි. එසේ කර ගැනීමට නොහැකි රෝගීන් විශාල අපහසුතාවයට පත්වන අතර ඇතැම් රෝගීන්ට මිය යාමටද සිදුවේ. එහෙත් මහරගම අපේක්ෂා රෝහල ඇට මිදුල බද්ධය මෙරටදී සිදු කිරීමට සමත් විය. එහි පළමු පියවර ලෙස 2016 දෙසැම්බර් මාසයේදී ස්වයාත්ත ඇට මිදුලු බද්ධ කිරීම සිදු කරන ලදී. ඒ අනුව ලියුකේමියාව නොවන රුධිර ආශ්‍රිත පිළිකා රෝගීන්ට ඇට මිදුලු බද්ධ කිරීම මේ වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේදී සිදු කරයි. ඒ අනුව මේ වන විට රෝගීන් පනස් තුන් දෙනෙකුට සාර්ථක ලෙස මෙම ඇට මිදුලු බද්ධ කිරීම සිදු කර තිබේ. ඒ වයස අවුරුදු 17ක් 62ත් අතර වයස් ඛාණ්ඩයේ රෝගීන් වෙති. මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නේ “ස්වයං ඇට මිදුලු බද්ධ කිරීමේදී රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වය සමනය වූ පසු එම රෝගීන්ගේ ඇට මිදුලුවල තිබෙන මූලික ෙසෙල යන්ත්‍රයක් ආධාරයෙන් වෙන් කරනවා. එම මූලික ෙසෙල සෘණ අංශක අසූවක උෂ්ණත්වයක ගබඩා කර තියනවා. ඊට පසුව රෝගියාගේ ඇට මිදුලුවල තිබෙන පිළිකා ෙසෙල සියල්ල විනාශ වන අයුරින් ප්‍රතිකාර කරනවා. පිළිකා ෙසෙල විනාශ වූ පසු ඔවුන්ගෙන් ලබා ගත් මූලික ෙසෙල නැවත එම රෝගීන්ට ලබා දෙනවා” යැයි කීවාය.

ස්වායත්ත ඇට මිදුලු බද්ධයේදී රෝගය පවතින්නේ ඇට මිදුලුවල නොවන බැවින් මෙහිදී ප්‍රතිකර්ම කිරීම පහසු බව ඇය කියන්නීය. ඇට මිදුලුවල රෝගය තිබෙන විට රෝගය රහිත ෙසෙල වෙන් කළ නොහැකි බැවින් එවිට වෙනත් පුද්ගලයෙක්ගෙන් ෙසෙල ලබා ගෙන රෝගියාට ලබා දීමට සිදුවන බවද ඇය පවසන්නීය. එය ලියුකේමියාව ලෙස හඳුන්වයි. එනම් ලියුකේමියාව සඳහා කරනු ලබන ඇටමිදුලු බද්ධය පරායත්ත නැත්නම් දායක ඇට මිදුලු බද්ධයයි. ස්වායත්ත ඇට මිදුලු බද්ධය සඳහා සිදු කළ සාර්ථක ඇට මිදුලු බද්ධයන් ලත් අත්දැකීම් ඔස්සේ අපේක්ෂා රෝහ‍ලේ වෛද්‍යවරු ඉතා නුදුරේදීම ලියුකේමියා රෝගයටද ඇට මිදුලු බද්ධ කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නේ. “ලියුකේමියාව රෝගීන් සඳහා පරායත්ත ඇට මිදුලු බද්ධ කිරීමේදී දායකයාගේ පටක රෝගියාගේ පටකවලට සියයට සීයක් ගැළපෙන්න ඕන. මේ සඳහා පරීක්ෂණයක් සිදු කරනවා. මෙහිදී පටක ෙසෙල ලබා ගැනීමට ‍ලේ ඥාතීන් ප්‍රථමයන් පරීක්ෂා කරනවා.” ‍ලේ ඥාතීන්ට අමතරව ‍ලේ දන් දීම සිදු කරනවාත් මෙන් මේ සඳහා ද දායකයන් ලියා පදිංචි කිරීමේ වැඩසටහනක් දියත් කරන බවද ඇය කියන්නීය. දායකයාට මෙහිදී හානියක් නොවන අතර රුධිර ෙසෙල වෙන් කරගෙන මූලික ෙසෙල පමණක් මෙහිදී ලබා ගන්නා බවද ඇය කියන්නීය. මෙහිදී සිහි නැති කිරීමක් හෝ ශල්‍යකර්මයක් සිදු නොකරන බව ඇය පවසයි. එය රුධිර පට්ටිකා ප්‍රදායනය කිරීමට සමානය.

“ස්වායත්ත ඇට මිදුලු බද්ධයට වඩා රෝගියාට සංකූලතා ඇති වීමේ අවස්ථාව වැඩියි. එනිසා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර දිගු කාලයක් සිදු කළ යුතුය. දායකයාට බලපෑමක් වෙන්නේ නෑ. රුධිර ලබා ගන්නා ආයතන මගින් දායකයා පිළිබඳව මාස 6 කින් පසු විපරමක් කරනවා.”bලියුකේමියා රෝගීන් සඳහා වන ඇට මිදුලු බද්ධය සිදු කිරීමට රෝහල් කාමර 6ක් අවශ්‍ය බවත් මේ වන විට එම කාමර සකස් කරමින් සිටින අතර එය සකස් කළ පසු මෙම බද්ධය සිදු කරන බවත් ඇය වැඩිදුරටත් කීවාය

විජේවීරව කරළියට ගේන්න කෝටි ගාණක් සල්ලි දාපු කවුද මේ චමත්කා?

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන ගින්නෙන් උපන් සීතල මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල අති සාර්ථක ලෙස තිරගත වෙන සිනමා පටයක්. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ චරිතය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබෙන ගින්නෙන් උපන් සීතල සිනමා පටය සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙන්නේ ‘Cinepro Lanka International’ ආයතනය වෙනුවෙන් චමත්කා පීරිස්. මෙරට සිනමා පටයක් සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදුන් ළාබාලතම නිෂ්පාදකවරිය ලෙස මේ දිනවල නිතර නම කියැවෙන චමත්කා යනු කවරෙක්ද? ඇත්තටම ඇගේ අරමුණ මොකක්ද? රිද්ම අපේ ප්‍රශ්න කිරීම ඒ පිළිබඳවයි. ලංකාවේ ළාබාලම චිත්‍රපට නිෂ්පාදකවරිය විදිහට ඔබව හැඳින්වුවොත් නිවැරදිද? ඔව්. මම හිතන්නේ ඒ හැඳින්වීම නිවැරදියි. ඔබේ වයස කීයද? මගේ වයස අවුරුදු 20 යි.

මේ තරම් ළාබාල වයසකදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඔබට හැකිවුණේ කොහොමද? මම ‘Cinepro කියන නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂවරියක්. මගේ තාත්තා ජයලත් පීරිස් තමයි එම ආයතනයේ සභාපතිවරයා. තාත්තා මීට කලින් සිනමාවට සහ ටෙලි නාට්‍ය කර්මාන්තයට නිෂ්පාදන දායකත්වය ලබාදීලා තියෙනවා. අනුරුද්ධ ජයසිංහ මහතා මුලින්ම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ තිරපිටපත අරගෙන ඇවිත් මාව හමුවෙලා කිව්වා ඒක සිනමාවට ගෙනාවොත් ලංකාවේ සිනමාවේ පෙරළියක් ඇති කරන්න පුළුවන් වේවි කියලා. ඒ අනුව තමයි මට අවස්ථාව සැලසුණේ මේ චිත්‍රපටය හරහා නිෂ්පාදකවරියක් විදිහට කරළියට එන්න.

ඒ වෙද්දී ඔබට රෝහණ විජේවීර කියන චරිතය ගැන මොන වගේ අවබෝධයක්ද තිබුණේ? රෝහණ විජේවීර ගැන ඒ වෙනකොට මම අහලා තිබුණා. ඒත් ඔහු ගැන ලොකු දැනුමක් මට තිබුණේ නැහැ. මම ඉපදුණේ 1998 අවුරුද්දේ. මම හිතන්නේ නැහැ මගේ වයසේ කාටවත් විජේවීර කියන චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. මගේ සමහර යාළුවෝ රෝහණ විජේවීර කියලා කෙනෙක් ගැන අහලවත් තිබුණේ නැහැ. අනික අපේ වැඩිහිටියෝ වුණත් අපට හඳුන්වා දීලා තිබුණේ රෝහණ විජේවීරගේ නරක පැත්තක් පමණයි. නමුත් මේ චිත්‍රපටයේ තිරපිටපතෙන් ඔහු ගැන මීට කලින් කතාබහට ලක් නොවුණු විදිහේ කතාවක් හෙළිකරන නිසා මම කැමැති වුණා චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායක වෙන්න. මුලින් දැනගෙන නොසිටියාට පසුව මම රෝහණ විජේවීර මහතා ගැන ලියවුණු දේවල් කියවලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හොඳ අවබෝධයක් ලබාගත්තා.

චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්න ඔබට මුදල් කොහෙන්ද? මුලින්ම චිත්‍රපටයේ පිටපත අධ්‍යයනය කරලා මම තාත්තට ඒ ගැන කිව්වා. තාත්තා කිව්වා කමක් නෑ චිත්‍රපටය කරන්න කියලා. ඊට පස්සේ මම ‘Cinepro ආයතනය හරහා මූල්‍ය පහසුකම් සපයා දීලා චිත්‍රපටය තිරයට ගේන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා.

චිත්‍රපටයට කොච්චර මුදලක් වැය වුණාද? රුපියල් මිලියන 120 ක් විතර වියදම් වුණා. ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදීත් තවත් මුදල් වැයවේවි.

දැනට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ වැයවූ මුදල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් උපයා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවාද? හුඟක් අය චිත්‍රපටය නරඹලා ඒක හොඳයි කියලා කියනවා. ඊට වඩා වෙනස් අදහස් දරන අයත් නැතුවා ‍නෙවෙයි. තවම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන නිසා ආදායම මොන වගේ වේවිද කියලා දැන්මම කියන්න අමාරුයි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරිය වුණාට එහි මංගල දර්ශනයටවත් ඔබ සහභාගි වුණේ නැහැ. ඇයි ඒ? මේ වෙද්දී මම ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. නිවාඩුවට තමයි මේ වතාවේ මම ලංකාවට ආවේ. මම ඕස්ට්‍රේලියාවට ගියේ උසස් පෙළ අවසන් වූ විගසමයි. ඒ යද්දී මම චිත්‍රපටය නරඹලා තිබුණේ නැහැ. මේ වතාවේ ලංකාවට ආවම තමයි මට චිත්‍රපටය නරඹන්න ලැබුණෙත්. මේ දවස්වල මම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට මගේ දායකත්වය ලබාදෙනවා.

මින් ඉදිරියටත් සිනමාවට දායක වෙන්න හිතාගෙන ඉන්නේ නිෂ්පාදකවරියක් විදිහට විතරද? මට තව අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් ‘Cinepro ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. රඟපාන්න නම් මගේ කැමැත්තක් නැහැ. ඒත් කවදා හරි අධ්‍යක්ෂණයට පිවිසෙනවා නම් ඒ ගැන හොඳට හදාරලා තමයි ඒ දේ කරන්නේ. මෙවැනි චිත්‍රපටයක් මුදල් යෙදවීම පිටුපස වෙනත් දේශපාලන කතාවක් තිබෙනවා යැයි කෙනකු කීවොත් ඒ කිසිවක් ඇත්ත නමෛයි. මේ චිත්‍රපටයට මුදල් යෙදවීම පිටුපස දේශපාලන අරමුණක්වත්, වෙනත් කිසිම බලා‍පොරොත්තුවක්වත් නෑ.

Bed Tea පසෙකලා නිරෝගිමත් ජීවිතයකට කොළ කැඳ වීදුරුවකට හුරුවෙමු

අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ උදවියයි. උදේ පාන්දරම කොළ කැඳ වීදුරුවක් පානය කරමින් ඔවුහු දවස ඇරඹූහ. නමුත්, අධිරාජ්‍යවාදීන්ට අප ශ්‍රී ලංකාව යටත් වීමත් සමග, උදේ පාන්දරම පානය කළ කොළ කැඳ කෝප්පයට ගැරහීම සඳහා “කැඳ බිව්වා” යැයි යන මතය සමාජ ගත කර, විදේශීය කිරිපිටිවලට අප ක්‍රමානුකූලව හුරු කරවනු ලැබිණි. උදෑසන කැඳ කෝප්පය වෙනුවට ගාම්භීර “Bed Tea” පැමිණෙන්නේ අප වැළඳගත් වහල් මානසිකත්වය නිසාය. අපට මෙන්ම, අපේ දූ දරුවන්ටද නිසි ප්‍රතිකාරයක් සොයාගත නොහැකි විවිධ වූ රෝගාබාධයන් වැළඳුණේත්, දැනට වැළඳෙමින් තිබෙන්නේත් මේ සාපය නිසාවෙනි. අවසානයේදී එකී රෝගයන්ට අවශ්‍ය ඖෂධයන්ද එම රටවලින්ම ආනයනය කරන්නට වූහ.

ගොවිතැන තම ජීවනෝපාය කරගෙන ජීවත්වන අපේ පිටිසර බොහෝ ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් ගන්නේ ඉන් ලැබෙන ගුණය ඔවුන් හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින නිසාය. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට වර්තමානයේ නාගරික හා අර්ධ නාගරියක බොහෝදෙනා පුරුදුව සිටියත්, අදද ඒ ගැමියන් කොළ කැඳ කොප්පයක රස බලමින් තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවය. එසේම, අපේ කාන්තා පාර්ශ්වය පැහැපත් රූසපුවකට බොහෝ සේ ඇලුම් කරයි. මේ වෙනුවෙන් විවිධ අලේපන පසුපසම හඹා යනවාට වඩා, ස්වභාවික පරිසරයෙන් ලැබෙන මෙවැනි කැඳ කෝප්පයක රස බැලීමෙන් ඔබේ හමේ වර්ණය, පැහැය මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඒ දෙපාර්ශ්වයම අපේක්ෂා කරන තරුණ බවද ආරක්ෂා කරගැනීමට හැකිය. බාල, තරුණ, වැඩිහිටි, මහළු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය හා ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කර ගනිති.

වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සෑදූ කොළ කැඳ පානයක් ලෙස ගන්නේ නම්, එය වඩාත් සෞඛ්‍යට වඩාත් හිතකර වන්නේය. එමෙන්ම, කොළ කැඳක් සාදා ගැනීමට අවැසි ශාඛ කිහිපයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට හැකි නම්, ඔබේ කාර්ය වඩාත් පහසු මෙන්ම, වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. කෙසේ නමුත්, ඔබට එවැනි දේශීය සහල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති නම්, ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගත් සාමාන්‍ය සහල් හෝ භාවිත කරමින් කොළ කැඳක් සාදා ගැනීම “Bed Tea” එකට වඩා බොහෝ ගුණදායක වනු ඇත. ආදරණීය දෙමවුපියණි, දැන් අපේ කොළ කැඳ වීදුරුවෙහි අගය ඔබ හොඳින්ම දැනගත යුතු කාලයකි. දැයේ දූ දරුවන් නීරෝගීමත් කිරීමට උදෑසනින්ම ඔබ හුරුවී සිටින “Bed Tea” පසෙකළා කොළ කැඳ වීදුරුවට හුරුවෙමු.

කැඳ වර්ග – කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ හා වෙනත් ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කැඳ වර්ග වෙන්කළ හැකිය .මෙම ලිපියේදී, විශේෂයෙන්ම කොළ කැඳ ගැන තරමක් විස්තරාත්මකව කතා කරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළත්, ඉහත සඳහන් කළ කැඳ වර්ග කිහිපයක්ද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.

ධාන්‍ය කැඳ –  1. මෙනේරි කැඳ 2. කුරක්කන් කැඳ 3. තණහාල් කැඳ

ආදරවන්තයන්ගේ දිනයේ එකම දින එකම වේලාවේ අවසන් ගමන් ගිය සෙනෙහෙබර යුවළක්

ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණේ ඉකුත් 14 වැනිදාටය. එය අප රටට අදාළ සැමරුම් දිනයක් නොවුණත් අප රටේ ද බොහෝ දෙනා මෙම දිනය ගැන උනන්දු වෙති. විවාහ දිවිය පුරාම ආදරයෙන් බැඳී ජීවත්වී ආදරවන්තයන්ගේ දිනය දා දෙදෙනාම මිය ගිය කතාවක් අපි ඔබට කියන්නෙමු. ආදරයට, විවාහයට, පරිත්‍යාගයට, සෙනෙහසට, වයසක් හරස් නොවේ. මේ යුවළගේ කතාන්දරය තවත් එක් කතාන්දරයක් නොවේ. ටජ්මහලේ කතාන්දරය දක්වා ද මෙය ඉදිරියේ දී ලියැවෙනු ඇත. විවාහය, පවුල, පවුල් සංස්ථාව දූ දරුවන් ආදී සියල්ලම ගැන කතා කරන විට සියල්ලම රන් රස සේ කිරිත් දියරත්, ගඟත් ඔරුවත්, ගසත් පොත්තත් සේ එකට විඳ දරාගෙන එකට හිටිය මේ යුවල ලොවටම ආදර්ශයකි. එදා පෙබරවාරි 14දාට යෙදුණ ආදරවන්තයන්ගේ දිනයයි. ගාල්ල ඌරගස්මංහන්දියේ හල්ගහවේල්ල ග්‍රාමයේදී වියපත් අඹු-සැමි යුවළ එකට අවසන් සුසුම් වාතලයට මුදාහළහ. 17 දා එකම සොහොනේ එකට භූමදාන කළේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත අනුවයි. තම සීයාගේ හා අත්තම්මාගේ කතාව මුණුපුරා වන උපුල් මුණසිංහ අපට කීවේ මෙසේය.

අපේ සීයාගේ ගම ගාල්ල, ඇල්ලපිටිය ඌරගස්මහන්දිය හල්ගහවේල්ල. සීයාගේ නම පී.බී. සයිමන්. මියයන විට වයස 92ක් වුණා. රස්සාවට කළේ කුරුඳු තැළීම. අපේ ආතම්මාගේ වයස 74යි. එයාගේ නම එච්.පී. ගුණවතී. රස්සාවක් කළේ නෑ. හරියට කාන්දම් දෙකක් වාගේ සීයා ළඟින්මයි ආතම්මා හිටියේ. එදා 14 වන දා ආතම්මාට හිටි හැටියේ අසනීප වුණා. එතරම් ලොකු අසනීපයක් නෙවෙයි. අපි ගිලන් රථයක් අරගෙන ආතම්මා ඇල්පිටිය රෝහලට ගෙන ගියා. ඒ යන කොටත් ආතම්මා මියගොස් ඇති බව වෛද්‍යවරු කීවා. ඒ සමගම සීයා ද ඒ මොහොතේම මියගොස් ඇති බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නා. සීයා ආතම්මා දෙන්නාම එකම දිනක එකම වේලාවක එකටම මියගියා. මේ කතාව අපට නම් අදහා ගන්නත් අමාරුයි. මට මතකයි එදා ආතම්මා ගිලන් රථයට නංවන විට සීයා මහා හයියෙන් කෑගැහුවා. මමත් එනවා මමත් එනවා කියලා. අපි කීවා සීයා ඉන්න අපි ආතම්මා රෝහලට අරගෙන යනවා වැඩි අමාරුවක් නෑනේ. ගියා ආවා. බෙහෙත් අරගෙන එන්නම් සීයා ඉන්න කියලා. නෑ මමත් එන්න ඕනා කිය කියා සීයා කෑ ගැහුවා. පසුව තමයි ආතම්මා සමගම සීයා ද එකවරම මිය ගිහිල්ලා ඇත්තේ. මෙම යුවළට දියණියන් 04ක් ද එක් පුතෙක් ද සිටිති. තාත්තා අම්මා අපට හරිම ආදරෙයි. ඒ අය දරුවන්ගේ දරුවන් ද බලාගෙන සතුටින් තමයි හිටියේ.

අපේ පවුලේ සහෝදර සහෝදරියන් ද දැන් වයසයි. අම්මලා තාත්තලා මැරෙනකම්ම සතුටින් සිටියේ. අම්මාට තාත්තා නැතුවම බෑ. තාත්තාටත් අම්මා නැතුවම බෑ. දෙන්නා හැම තිස්සේම හිටියේ එකට. හරියට කිරියි පැණියි වාගේ. තාත්තා කුරුඳු තළන එක තමයි රස්සාවට කළේ. අම්මා ඒවාට උපකාර කරනවා අපිට පොඩි කාලයේ ඉඳලාම මතකයි. ඒ බැඳීම මිය යන දවස දක්වාම මිය යන මොහොත දක්වාම තිබුණා. නාන්න ගියෙත් ගමන් බිමන් ගියෙත් එකට. කෑම කෑවෙත් එකට එක මේසයේම ඉඳන්. පන්සල් යන්නෙත් එකට. සිල් ගන්නෙත් එකට. එකම තැන තමයි දෙන්නා ඉඳගෙන ඉන්නේ. බෙහෙත් ගේන්න යන්නෙත් එකට. තාත්තාට මොකක් හරි අමාරුවක් තිබුණොත් මෙන්න අම්මාටත් ඒ අමාරුවම තියෙනවා. “ලොකු දුව තාත්තාට කොන්දේ අමාරුව වාගේ මටත් ටිකක් කොන්ද රිදෙනවා වාගේ” කියා අම්මා කියනවා. ඔය අම්මා කියන්නේ බෙහෙත් ගන්න දෙන්නම එක්කරගෙන යන්න කියලානේ ඉතිං අපේ මොකෝ යන්න ලේස්ති වෙන්න කියා දෙන්නම බෙහෙත් ගන්න එක්ක යනකම් නිවනක් නෑ. අපි පුංචි කාලයෙත් අම්මා තාත්තා කිසිදා අමනාප වෙලා ඉන්නවා මම දැක්කේ නෑ. රණ්ඩුවෙලා ඉන්නවා දැක්කේ නෑ. තාත්තා අම්මට කීවේ “දරුවන්ගේ අම්මා” කියලා. අම්මා තාත්තාට කීවේ “දරුවන්ගේ තාත්තා” කියලා. කහට කෝප්පයක් බීවත් දෙන්න එකට බෙදාගෙන තමයි බොන්නේ. තරුණ කාලයේ අපි පාසල් අරගෙන ගියෙත් දෙන්නම පයින්. අපි පස් දෙනාම පාසල් අරගෙන ගියේ පයින්. දෙන්නාම පාසලටත් ආවා. අපි ගෙදර දමලා කඩේ ගියත් පොළේ ගියත් අම්මයි තාත්තයි එකට. කිසිම දවසක අම්මා හෝ තාත්තා තනියම ගමනක් බිමනක් ගිය දවසක් අපි දැකලා නෑ. දෙන්නම යන්නේ නැතිනම් ඒ ගමන නතර කරනවා. ඒ ගමන යන්නේ නෑ.

උදේ සවස බුදුන් වඳින්නේ එකට. නිදිය ගන්නේ එකම වේලාවට. අපි දරුවෝ හිටියට අපි මේ අම්මා තාත්තට උපකාරයක් කරන්න දෙන්නම ඉඩ තිබ්බේ නෑ. දෙන්නා දෙන්නාගේම වැඩ කරගෙන දෙන්නාම කටයුතු කරනවා. උයා පිහාගෙන කන දේවල්ද දෙන්නාම තමයි කළේ. අපි උදව් කරන්න හදනකොට “උඹලට පිස්සුද? උඹලාගේ දරුවන්ගේ වැඩ තියෙද්දි අපේ වැඩ කරන්න හැකිද?” අම්මා කියනවා. තාත්තා ද ඒකම කියනවා. අපි ඉතින් අමතර කෑමක් හැදුවම ගෙනත් දෙනවා. ඒක හරියටම දෙකට බෙදලා කනවා මිසක කවදාවත් තාත්තා හෝ අම්මා වැඩිපුර ගන්නේ නෑ. ඒ ඒ අයගේ හැටි. අම්මා විවාහ වෙනකොට අවුරුදු 16යි. තාත්තට 20යි කියලා තමයි කියන්නේ. ඒ කාලයේ වයස ගණන් ගත්තේ නෑනේ. මේ නිසා අම්මා තාත්තා එකටම හිටියේ. මැරෙන දිනය මැරෙන මොහොත දක්වාම එකටම තමයි හිටියේ. දෙන්නාම කිව්වේ අපි දෙන්නා මැරුණාම එකම සොහොනක එකම වළක එකම පෙට්ටියක එකම දිනක එකම වේලාවක සිදුකරන්න කියාලා. අපි අම්මලාගේ තාත්තලාගේ කැමත්ත අනුව සියල්ලම සිදුකළා. මම හිතන්නේ සංසාර පැතුමක් වෙන්න ඕන. මේ අය එකටම මියගියේ ඒ නිසා වෙන්න හැකියි. මේ අනුව පසුගිය 17 වන දින එකම මිනී වළක එකටම එකම සොහොනක මිහිදන් කළා. සියලුම ආගමික කටයුතුද කළේ එකට. මරණ දැන්වීම ද එකම කොළයක එකම ආකාරයට එකම විදියකට තමයි සකස් කළේ යැයි දූ දරුවෝ කීහ. අපි ද මේ ආදර්ශමත් යුවළට ඒ අයගේ ආගම දහම අනුව නිවන් සුව පතමු.

දුප්පත්කමේ අන්තයටම ගිලී බැටළුවන් දක්කාගෙන ගිය ඇය අද ප්‍රංශයේ උසස් අධ්‍යාපන ඇමැතිනියයි

අප්‍රිකානු මහාද්වීපයේ මොරොක්කෝ රාජ්‍යයේ නාදෝර් නම් පිටිසරබද ගම්මානයේ දිළිඳු අහිංසක පවුලක් ජීවත් වුණා. මේ පවු‍ලේ සිටියා දරු දැරියන් හත්දෙනෙක්. එයින් දෙවැන්නා දියණියක්. ඇය උපන්නේ 1977 ඔක්තෝබර් 4 වැනිදායි. ඇයට නම් තැබුණේ නජට් බෙල්කසම් ලෙසින්. දුප්පත්කම නිසා මේ දැරියට හරිහමන් ඉගෙනීමක් ලබන්න පුළුවන් වුණේ නැහැ. පවු‍ලේ ජීවත්වීමට වුවමනා මුදල් හදල් සොයාගන්නට ළාබාල වයසේදීම ඇයටත් උරදෙන්නට සිදුවුණා. ඒ වෙනුවෙන් ඇය කළේ බැටළුවන් රැකබලා ගැනීමයි. නජට්ගේ පියා රැකියාව කළේ ප්‍රංශයේ. ඔහු එහි ගොඩනැගිලි ඉදිකිරීම් කම්කරුවකු විදියට සේවය කළා. තවදුරටත් මොරොක්කෝවේ හිටියොත් නම් මගේ දරුවන්ට යන කල දසාවක් නැහැ. හැමදාමත් දුක විතරයි විඳින්න වෙන්නේ. ඒ නිසා මගේ පවුලම ප්‍රංශයට ගෙන්වා ගන්නවා නජට්ගේ පියා අනාගතය ගැන බොහෝ දුරට සිතා බලා තීරණයක් ගත්තා. ඒ අනුව 1982 දී මේ පවුල ප්‍රංශයට සංක්‍රමණය වුණා. ඒ වෙද්දී නජට්ගේ වයස අවුරුදු පහයි. එහිදී ඇය මුල සිටම ක්‍රමානුකූලවම පාසල් අධ්‍යාපනය ලැබුවා.

මට දැනුණේ මාව අමුතුම ලෝකයකට වැටුණා වගෙයි. ප්‍රංශයේ සංස්කෘතිය මොරොක්කෝවට හාත්පසින්ම වෙනස්. ප්‍රංශයේ මා ඉගෙන ගත්ත පාස‍ලේ ළමයි මට සැලකුවේ ඉතාමත් නරක විදියට. ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා. සෙල්ලම් කරන්නවත් ඔවුන් මාව ගත්තේ නැහැ. මට මං ගැනම දැනුණේ දරාගන්න බැරි තරමේ මහා දුකක්. ඒත් මට පුංචි කා‍ලේ ඉඳන්ම වැදගත් අරමුණක් තිබුණා. ඒ තමයි මොන විදිහේ කරදර, බාධක ආවත් හොඳින් ඉගෙන ගන්නවා කියන කාරණය. ඒ නිසා මට එල්ල වුණු අපහාස උපහාස නොතකා ඉන්න මම හිත ශක්තිමත් කරගත්තා නජට් පවසනවා. නජට් හට මේ තරම් ඉහළ තලයකට යන්න ජවය, සවිය ලැබුණේ මේ වෙනස් නොවූ, දැඩි අධිෂ්ඨානය නිසයි. නජට් වඩාත් ප්‍රිය කළේ දේශපාලනයටයි. ඒ සිතුවිල්ල ඇය තුළ උපන්නේ ප්‍රංශයේදී තමන් ලැබූ මුලින් කී අතිශය අමිහිරි අත්දැකීම් නිසාමයි. දුප්පතුන්ට එල්ල වෙන සමාජ අසාධාරණයන්ට විරුද්ධව, එක් එක් ජන කොටස්වලට ලැබෙන වෙනස් වෙනස් සැලකිලිවලට විරුද්ධව සටන් කළ යුතුයි කියන සිතුවිල්ල ඇයගේ සිත තුළ රෝපණය වුණා. කෙළවරක් නැති අමාරුකම් මැද ඇය හොඳින් ඉගෙන ගත්තා. 2002 දී ඇය දේශපාලන අධ්‍යාපනය පිළිබඳ පැරිස් ආයතනයෙන් උපාධිය ලබාගත්තා. නජට් දේශපාලන ගමනට මුල්ම පියවර තැබුවේ ප්‍රංශ සමාජවාදී පක්ෂයට බැඳීමෙන්. ඇය ඒ පක්ෂය හරහා සැමට සමානව මානව අයිතිවාසිකම් අහිමි වීම, විවිධ ජන කොටස්වලට විවිධාකාරයෙන් සැලකිලි ලැබිම යනාදී කාරණාවලට එරෙහිව සටන් කළා. මගේ සම වයසේ අය පුහු දේවලට මුල් තැන දෙද්දී මම සැබෑම සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කළා නජට් අතීතය සිහිපත් කළා.

2008 දී නජට් ජෝන් ඇල්පයින්ස්හි සභිකවරියක ලෙසින් තේරී පත්වුණා. ඒ වසරේදීම ඇය රෝන් අංශයේ කවුන්සිල් ජෙනරාල් නම් තනතුරට තේරී පත්වුණේ තම දේශපාලන ගමනේ තවත් පියවරක් ඉදිරියට තබමින්. 2012 දී පැවැති ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නජට් බහුතර ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසින් තේරී පත්වුණා. ඇයගේ කැපවීම හා කාර්යක්ෂමතාව ගැන හොඳින් දැන සිටි ප්‍රංශ රජය ඇයට විවිධ අමාත්‍ය ධුර පැවැරුවා. කාන්තා කටයුතු අමාත්‍ය ධුරය, නාගරික කටයුතු අමාත්‍ය ධුරය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරය ඒ අතර වූවා. නජට් වෙත වැදගත්ම අමාත්‍ය ධුරයක් ලැබුණේ 2012 දීයි. ඒ, එවකට ප්‍රංශ ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්සින් හොලැන්ඩේ වෙතින්. එය නම් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා ගවේෂණ අමාත්‍ය ධුරයයි.
ඉගෙන ගන්න කාලෙදී වගේම දේශපාලනයට එක්වුණු මුල් කාලයේදීත් ප්‍රංශයේදී මට බොහෝ කෙණෙහිලිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශපාලනයේදී මා පිටස්තරයකු කියා මට අපහාස කළා. මගේ ගමන නතර කරවන්න විවිධ උපක්‍රම යෙදුවා. ඒත් ඒ එකකින්වත් මාව වට්ටවන්නට ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ඒ හැම දෙයින්ම වුණේ මම තව තවත් ශක්තිමත් වීම පමණයි. මම මගේ අරමුණට ගියේ හැම බාධකයකටම ඉතාමත් සාර්ථකව මුහුණ දෙමින් නජට් තම ගමනේ සාර්ථකත්වය පසුකලෙක විස්තර කළේ ඒ විදියටයි.

අධික තරබාරුව මැඩලන සැත්කම් දැන් නොමිලේ

තරබාරු බවෙන් ගොඩ ඒමක් නැතැයි යන්න අධික තරබාරු බවට පත් වැඩි පිරිසකගේ අදහසයි. ඒ අනුව ‘ඇඟට ඇති වෙන තුරු ඔහේ මහත් වුණා වේ’ යයි සිතා කෙට්ටු වන අදහස අතහැර ආහාර රටාවේ හෝ දිනචර්යාවේ කිසිදු වෙනසක් සිදු නොකරමින් තරබාරු බව තුළම ඔවුහු ජීවත් වෙති. එහි අවසන් ප්‍රතිඵලය දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ටරෝල් හෝ පිළිකා වැලඳී ජීවන ගමන අතරමග නතර කර දමන්නට සිදු වීමය. තවත් පැත්තකින් තරබාරුබව කෙනෙකුගේ පෞරුෂත්වයට හා සුන්දරත්වයට කරන හානියද සුළුපටු නොවන්නකි. තරබාරු බවට හේතුව ශරීරයේ මේද තැන්පතුව ඉහළ යෑමයි. පෙර කී සියලු ගැටලු පැනනගින්නේ එතැන් සිටයි. සිරුරේ බර උසට සරිලන්නේ නැති තරමට වැඩි නම් එය ස්ථුලතාවය දෙසට ගමන් කිරීමකි. සිරුරේ බර උසට සරිලනවාද නැතිද යන්න ගණනය කරන්නේ ශරීර ස්කන්ධ දර්ශනය අනුසාරයෙනි. බර කිලෝග්‍රෑම් වලින් ලබාගත් අගය මීටර් වලින් ලබාගත් උසේ වර්ගයෙන් බෙදූ විට ශරීර ස්කන්ධ දර්ශකය නැතිනම් BMI අගය කොතෙක්දැයි සොයාගත හැකිය.

ආසියාතිකයන් වන අපේ BMI අගය 18.5 – 23 අතර පැවැතීම හිතකරය. යුරෝපියයන්ගේ එය 25 දක්වා වැඩි වුවද ගැටලුවක් නැත. ආසියාතිකයන් අතර ඉහළ අගය 24 හෝ 25 තුළදීද අතුරු ආබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් හඳුනා ගෙන තිබේ. එනිසා ආසියාතිකයන්ගේ තිබිය යුතු BMI ඉහළ අගය 23 ලෙස සැලකේ. දැන් දැන් පාසල් ළමුන් අතර පවා සුලබ වී ඇති තරබාරු බවට ප්‍රධානම හේතුව වැරදි ආහාර රටාවයි. කාබොහයිඩේ්‍රට් අධික තෙල් සහිත ආහාර මෙන්ම ක්ෂණික ආහාරවලට ගිජු වීමද තරබාරු බවට හේතු වී තිබේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් බඩකට පුරා තුන් වේලට ආහාර ගත්තද හොඳින් කය වෙහෙසවා වැඩපල කිරීම නිසා ඉන් අහිතකර බලපෑමක් ඇති නොවීය. එහෙත් අද ව්‍යායාම අඩුබව, කුඩා දරුවන් පවා එක තැන වාඩි වී ඩිජිටල් තිරයක් තුළට කොටු වී කාලය ගත කිරීම, ඔවුන්ගේ අධික තරබාරු බවට හේතු වී තිබේ. ඊට අමතරව මානසික ආතතිය, නිදිවැරීම සහ කාන්තාවන් අතර දැක ගත හැකි Polycystic ovary syndrome රෝගී තත්ත්වයද තරබාරු බවට හේතු වන අවස්ථා තිබේ. එබඳු කවර හේතුවක් නිසා තරබාරු බවට පත් වුවද ආහාර රටාවේ වෙනසක් ඇති කමින් බර අඩු කර ගන්නට ඕනෑම කෙනෙකුට හැකිය. බර අඩුකර ගන්නට නම් සෑම විටම ශරීරයට ලබාගත යුතු ශක්ති ප්‍රමාණය, ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා බොහෝ අඩු වීම අත්‍යාවශ්‍යය. සිරුරේ බර අඩුවනවා නම් අඩු වන්නේ එවිටය.

බොහෝ අය ඇති තරම් ආහාර ගෙන ව්‍යායාම තුළින් කෙසේ හෝ බර අඩුකර ගත හැකි යැයි සිතති. එලෙස බර අඩුකර ගන්නට නම් අඩුම තරමේ පැය දෙකක්වත් ව්‍යායාම්වල නිරතවීම අවශ්‍යය. එහෙත් එය ප්‍රායෝගික නොවන නිසා අපට කරන්නට ඇති එකම දෙය නම් ආහාර රටාව වෙනස් කිරීමයි. ව්‍යායාම මගින් සිදු වන්නේ බර අඩු කර ගන්නට යම් පමණක උදව්වක් ලබා දීම පමණය. එහෙත් තරබාරු බවත් සමග ජීවත් වෙමින් මානසිකවත්, කායිකවත් පීඩාවෙන් පිරි ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැත. මේ වන විට ක්‍රියාත්මකව පවතින නවීන විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම මගින් අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයට තමන්ගේ බරෙන් හරි අඩක්ම වුවද අඩුකර ගන්නට හැකියාව තිබේ. දැන් ඔබ සිතන්නේ අපිට කොයින්ද ඕවට සල්ලි කියා විය හැකිය. එහෙත් Bariatric Surgery නමින් හැඳින්වෙන තරබාරු බවෙන් අත්මිඳීමේ මෙම ශල්‍යකර්මය කලක පටන් කලුබෝවිල සහ කොළඹ ජාතික රෝහ‍ලේදී නොමිලයේ සිදු කෙරිණි. මේ වන විට ගාල්ල කරාපිටිය රෝහ‍ලේදීද Bariatric ශල්‍යකර්මය ඇතුළු තරබාරු බව අඩු කිරීමේ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීමත් සමග දකුණු පළාතේ අධික තරබාරු බවෙන් පෙළෙන අයටද ඉන් සහනයක් සලසා ගන්නට හැකිවී තිබේ.

පෙර කී බර අඩු කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය තුළදී මුලින්ම ආහාර රටාවේ වෙනස්කම් ඇති කරමින් උසට සරිලන බර තෙක් ශරීර ස්කන්ධය අඩු කරන්නට වෛද්‍යවරු උත්සාහ දරති. එහෙත් ආහාර මගින් බලා‍පොරොත්තු වන ඉලක්කයට ළඟා විය නොහැකි වූ විටදී ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්නට සිදුවේ. එම ඖෂධ ප්‍රතිකාර වලින් පවා වෙනසක් සිදු නොවෙමින් BMI අගය 35ට වඩා වැඩි අගයක පවතී නම් පමණක් පෙර කී Bariatric ශල්‍යකර්මය නිර්දේශ කරනු ලබයි. ගාල්ල කරාපිටිය රෝහ‍ලේදී සාර්ථකව ක්‍රියාත්මකව පවතින Bariatric ශල්‍යකර්මය ඇතුළු අධික තරබාරු බවෙන් අත්මිදීමේ ප්‍රතිකාර දාමය වෛද්‍ය කණ්ඩායම් කිහිපයකින් සහභාගිත්වයෙන් සිදුවන්නකි. එය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ වෛද්‍ය කණ්ඩායමත්, ආමාශ හා අන්ත්‍ර පිළිබඳ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමත්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමත් එකට එක්ව සිදු කරන ප්‍රතිකාර දාමයකි. තරබාරු බවෙන් අත්මිදීමේ මෙම ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳව ලිපි පෙළකින් ඉදිරි සතියේ සිට අපි ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දියවැඩියාව සහ හෝමෝන විශේෂඥ වෛද්‍ය මුදිතා වීරක්කොඩි (MBBS (Col) MDC (Col), MRCP (UK),MRCP – Diabetes and Endocrinoloss (UK)

Mahindra e2O රථ පහසු මිලට දැන් ගන්න – අලුත් මිල මෙන්න

ලංකාවේ වඩාත් විශ්වාසය හිමිකර ගත් නව්ය ඉ-වාණිජ වෙළඳපලක් වන Takas.lk, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමගම සමග එක්ව වඩාත් ආකර්ෂණිය මිලකට Mahindra e2O ඉලෙක්ට්රික් රථ අලෙවි කිරීමට මුල පුරා තිබේ.ඒ අනුව රු.18,95000ක සිත්ගන්නාසුළු මිලකට Mahindra e2O රථයක් Takas.lk හරහා ඇනවුම් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව උදා වී තිබේ. මීට අමතරව තවත් සුවිශේෂී දීමනාවක් හදුන්වා දෙමින් HNB ෙක්‍ර්ඩිට් කාඩ් පත් භාවිතා කර Takas.lk හරහා අන්තර්ජාලයෙන් Mahindra e2O රථයක් ඇනවුම් කරන පාර්භෝගිකයන් හට 20%ක වට්ටමක්ද, පොළී රහිත මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ හැකියාවද ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Takas සමාගමේ සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී ළහිරු පත්මලාල් මහතා සඳහන් කළේ, ” අයිඩියල් මෝටර්ස් හා එක්ව හදුන්වාදෙනු ලබන මෙම අද්විතීය ප්‍රවර්ධනය පිලිබඳ අප වඩාත් සතුටට පත් වනවා. මේ හරහා අපගේ පාරිභෝගිකයන් හට වඩාත් වාසිදා ප්‍රතිපල හිමි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එසේම Takas.lk හරහා ඔබගේ සිහින මෝටර් රථය මිලදී ගැනීමට ඔබට වැය වන්නේ මිනිත්තු කිහිපයක් පමණයි,” යනුවෙනි. අයිඩියල් සමුහයේ නෛතික සහ සංස්ථාපිත සම්බන්ධතා අධ්යක්ෂ නිමිෂා වෙල්ගම මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, “අප විශ්වාස කරන පරිදි මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගතය රැදී පවතින්නේ නවමු ඉලෙක්ට්රික් මෝටර් රථ නිෂ්පාදන තුලයි. එම නිසා Mahindra e2O වැනි ඉලෙක්ට්රික් මෝටර් රථයක් ඉ-වාණිජ වෙළඳපලක් හරහා ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් කළා. ඒ අනුවයි අප Takas.lk හා එක් වුණේ,” යනුවෙනි.

2012 වසරේදී පත්මලාල් මහතා, සම නිර්මාතෘ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මුර්ටාසා මූසාජි සහ සම නිර්මාතෘ දිලේන්ද්ර විමලසේකර යන මහත්වරුන් සමග එක්ව ආරම්භ කරන ලද Takas.lk, ඉතා කෙටි කලෙකින් මෙරට විශාලත ම අන්තර්ජාල සාප්පු සංකීර්ණය බවට පත්විය. වර්තමානය වන විට Takas.lk වඩාත් නවෝත්පාදන ඉ-වාණිජ සේවා සම්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කරගෙන ඇති අතර විශිෂ්ටතම නව්යකරණ සේවා, සැබෑ ප්‍රවර්ධන සහ දීමනා සමගින් නිරන්තරයෙන් සිය තරගකාරී සමාගම් අභිබවීමට සමත්ව සිටී. කොළඹ නගර මධ්‍යයේ අංක 288, ගාලු පාර, බම්බලපිටිය යන ස්ථානයෙහි පිහිටි ඔවුන්ගේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පිහිට තිබෙන අතර Takas.lk විවෘත කරන ලද ප්‍රථම ප්‍රදර්ශනාගාරය එය වේ.

ඔබේ සෑම සිහිනයක්ම ජය ගැනීමට ඔබට ශක්තිය තිබෙන බව දන්නවාද?

අපට කිසිම දෙයක් නැහැ කියලා තමන්ටම කියා ගන්නේ දුකට කලකිරීමට පත් වන අය ඕනෑම සමාජයක බහුලයි. එසේම තමන් තුළ ඇති ශක්තිය දැන ගැනීමටවත් එය ප්‍රයෝජනයට ගැනීමටවත් සිතන අය අප අතරේ ඉතා අඩුයි. බොහෝ දෙනෙක් ගැටලුවලට මුහුණ දුන් විට ඔවුන් තුළ ඇත්තේම නෑ, බෑ යන ණවාදී සිතිවිල්ලයි.මට කිසිම සැනසීමක් නෑ, මට ගොඩ එන්නම විදියක් නෑ. කිසි දෙයක් කරන්න බැහැ’ මේ අය නිරන්තරයෙන් පවසන වදන්ය. තමන් ළඟ ඇති වත්කම් සොයා බලන්න. ඔබ ළඟ සිටින දෙමාපියන්, බිරිඳ, දරුවන් දෙස බලන්න. ගැටලුව ලොකු වන විට ඔබට ඔබ සතු මෙම වත්කම් අමතක වී යනු නොඅනුමානයි.

බිරිඳ ආදරෙයිද? දෙමාපියන් තවමත් ආශිර්වාද කරයිද? දරුවන්ගේ සිනහව හා ඒ ශක්තිය මේ දේවල් ඔබට දැවැන්ත ශක්තියක් වනු ඇත. මෙය ඉතා සුලුවෙන් සිතුවත් ඔබ ඉතා ප්‍රබල අයෝමය ශක්තියක් වනු නොඅනුමානය. ඔබට දෙයක් නෑ කියා සිතෙන විට ඔබට ‘ඇති’ දේ සිතන්න. සෑම විටම ඇති දේ දකින්න. මේ ශක්තිය ඔබ නොසිතන තැනකට ඔබ ගෙන යාවි. විශ්වයේ රහස නම් කෘතඥ වීම හා ඇති දේ ගැන සිතන ඔබට විශ්වය මගින්ම තව තව දේ ලබා දීමය. නැති වූ දෙය පිටුපස යන විට ඔබට නැති වීමට තිබෙන ඉඩ වැඩිය. නිවසක එක් අයෙක් ණාත්මකව සිතන විට එම නිවසටම පසුගාමී වීමට ඒ එක් පුද්ගලයා ප්‍රමාණවත්ය. එක් ආයතනයක ශ්‍රියාව නැති වීමට එක පුද්ගලයෙක් ප්‍රමාණවත්ය. ඔබ ඔබට නැති වූ දේ ගැනම වඩා වැඩිපුර සිතන කතා කරන කෙනෙක් නම් ඒ ගැන ඔබ තුළ ආකර්ෂණය වැඩි වේ.

මුදල් නැති බව නිතර පවසන ඔබ ඔබේ යටි සිතට පවසන්නේ කුමක්දැයි දන්නවාද? එනම් ඔබට දැනට ලැබෙන සුලු මුදල පවා ඔබට අවශ්‍ය නැති බවයි. ඉතින් ඊළඟට මේ ලැබෙන සුලු මුදල වත් ඔබට ලැබිමට නොහැකි වන බව අවධාරණය කරවමි. ඒ ඔබේම සිත ඔබට එය ලැබිමට ඉඩ නොදෙන නිසාය. ඔබ කීයටවත් මෙය විශ්වාස නොකරනු ඇත. ඔබ විශ්වාස කළත් නැතත් සත්‍යය එයයි. එනිසා ලැබෙන මුදල ගැන සතුටු වන්න. ඊළඟ මාසයේ සිට ඔබට අවශ්‍ය මුදලට ළඟා විය හැකි වනු ඒකාන්තය. ඔබ සිතන දේට, හැඟීම් වලට ප්‍රතිචාර දක්වන මේ විශ්වය ඔබට අනිවාර්යෙන්ම ඔබ සිතන දේ ඔබට ළඟා කරාවි. නැති වූ දෙයින් වුවත් ලැබුණු හොඳ ගැන සැලකිලිමත් වන්න. ඔබට අවශ්‍ය දේ කුමන අයුරින් හෝ ඔබ කරා එනවා නොඅනුමානය. ඔබේ අරමුණු වලට දින සීමාවක් සිතා ගන්න. දිනක් නොමැති අරමුණු වලට සීමාවක් නැත. ඔබට ඇති අරමුණු අද දිනයදීම පටන් ගන්න.

හොඳම දිනය ‘අද’ බව ඔබට පිළිගැනීමට හැකි බව විශ්වාස කරන්න. ඔබට අරමුණට යාමට අද නොහැකි වේවි. ඒත් අද එය අරඹන්න. සෑම දිනකම ඔබේ අරමුණ කරා එක් පියවරකින් හෝ ළඟා වන්න. සෑම දිනකම අවසානයේ විශ්වයට ස්තූති කරන්න. ඊළඟ දිනටත් ඔබට ඒ ශක්තිය විශ්වය තුළින් ලබා දේවි. ඔබ පළමුව ඔබෙන් අරඹන්න. ඔබේ පවුලෙන් පටන් ගන්න. අරමුණු කරා යාම අදින් පටන් ගන්න. අවශ්‍ය දේ ගොනු කර ගන්න. සුබ නැකත් හෝ හොඳ දිනයක් එනතුරු ඔබේ ගමන පසුපසට නොදා අද මේ මොහොත හොඳම මොහොත බව පිළිගන්න. සිහින යනු ‘සිහින’ ලෙසම තිබිය යුතු දෙයක් නොවන අතර සෑම සිහිනයක්ම ජය ගැනීමට ශක්තිය එම සිහිනය සිතේ උපදින පුද්ගලයාට ඇතිවේ. ඒ නිසා ඔබේ ශක්තිය ගැන විශ්වාස කරන්න.

යාළුකම කොච්චරද කීවොත් මගේ බබා බලන්න එයා ආවෙ නෑ…

හිමාලිට මුලින්ම මනෝහාරිව මුණගැහුණේ කොයි කාලේදීද…?  මනෝ අක්කාව මට මුලින්ම මුණගැහුණේ “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයෙනුයි. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ සමන් කුමාර ලියනගේ මහතායි. ඒ ටෙලිනාට්‍යයේ මනෝ අක්කත් වැඩ කළා.

ඒ රංගන ශිල්පිනියක් විදිහට හිමාලි ක්ෂේත්‍රයට ආපු අලුත… මනෝහාරිගෙන් ලැබුණු සහයෝගය කොහොමද…? ඔව්… ඒ ගැනනම් කියන්නට ඕනේ. සමන් කුමාර ලියනගේම අධ්‍යක්ෂණය කරපු සඳගලතැන්න ටෙලිනාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ “සඳගිරි පව්ව රඟපාද්දීත් අපි ක්ෂේත්‍රයට ආගන්තුකයි. බොහෝම අලුත්. ඒ කාලෙදීත් මනෝ අක්කා බොහෝ නිර්මාණවලට දායක වුණු ප්‍රවීණයෙක්. මගේ පළවෙනි නාට්‍යයේ ඉඳන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියන් ශිල්පීන් එක්ක වැඩ කරද්දී මම හරිම බයයි. ඒ හැමෝටම මගේ ගෞරවයක් තිබුණා. ඔවුන් ඉදිරියේ වැරදි කරන්න පොඩි බයක් තිබුණා. සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේදී මනෝ අක්කා වගේම මොරින් අක්කාගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. අපිට වඩා වැඩිමල් වුණාට යාළුවෝ වගේ අපිත් එක්ක හිනාවෙලා විහිළු කරමින් ඒ අය හිටියා. ඒ නිසා තමයි අදටත් ඒ යාළුකම ඒ විදිහට තියෙන්නේ. මම හිතන විදිහට “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ ඒ රංගනය සාර්ථක වෙන්නත් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා වැදගත් වුණා.

මනෝහාරි මොන වගේ කෙනෙක්ද…? අදටත් මනෝ අක්කා මට එදා හම්බුවුණ කෙනාම තමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ යාළුකම අවුරුදු ගාණනාවක් අදටත් ඒ විදිහටම තියෙනවා. මම මනෝ අක්කා එක්ක ගොඩාක් නිර්මාණවල වැඩ කරලා නැහැ. හැබැයි අපි නිතරම වගේ ෆෝන් එකෙන් කතා කරනවා. අපේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. පෞද්ගලික දේවල් ගැන අපි කතා කරනවා. නිතරම අපි මුණගැහුණේ නැති වුණත් අපි අපේ දුක සැප බෙදා ගන්නවා. ඒ නිසා එදා මට මුණගැහුණු අක්කාම තමයි අදටත් මම ළඟ ඉන්නේ.

මනෝහාරිගේ ඔයා ආස කරන ගතිගුණ මොනවාද…? ඇත්තටම මනෝ අක්කා කියන්නේ වැඩ පස්සේ දුවගෙන යන කෙනෙක් නෙමේ. එයා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එයාට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් ඒ චරිතයට එයාට යමක් කරන්න පුළුවන්නම් විතරක් අක්කා බාරගන්නවා. ඒ බාරගත්ත චරිතයට හරි සාධාරණයක් එයාගෙන් ලැබෙනවා. හැමවෙලේම මහන්සිවෙලා ඒ චරිතයට යමක් කරන්න අක්කා උත්සහ ගන්නවා. තිරයේ නිකන් පෙනී සිටින්න අක්කා කැමති නැහැ. ලැබෙන සුළු චරිතයක් වුණත් යමක් කරන්න තියෙනවා නම් විතරයි එයා බාරගන්නේ. මමත් ඒ වගේ කෙනෙක්. ඒ නිසාම වෙන්නත් ඇති අපේ යාළුකම මෙහෙම තියෙන්නේ. මම දන්නේ නැති, මම වැඩකරලා නැති අධ්‍යක්ෂකවරයෙකු නිර්මාණයකට මට කතා කළොත් මම මුලින්ම ඒක අක්කට කියනවා. “අක්කෙ… මේ කෙනා කොහොමද… මට වැඩ කරන්න පුළුවන්ද…? කියලා අහනවා. මගේ හැටි අක්කා හොඳටම දන්න නිසා “නංගී ඔයාට මෙයා එක්ක වැඩකරන්න පුළුවන්… මෙයා එක්ක බැරිවේවී. කියලා එයා මට කියනවා. ඒ වගේ උපදෙසුත් මනෝ අක්කාගෙන් මට ලැබෙනවා. ඒ නිසා එයා මට හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරියක්.

මනෝහාරිට කේන්ති යනවාද…? ඔව්… ඔව්… කේන්තිත් යනවා. එහෙම කේන්ති යන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ හැමදේටම වැඩිය මනෝ අක්කට ඉක්මනට දුක හිතෙනවා. එයා හරිම සංවේදී චරිතයක්. කවුරු හරි කෙනෙක් එයාට හරි කාට හරි වරදක් කළොත් එයාට දුක හිතෙනවා. සමහර වෙලාවට කාත් එක්ක හරි හිත රිද්දවා ගත්තොත් “ඕන නැහැ මම කතා කරන්නේ නැහැ… එයාට ඕන නම් කතා කරපුදෙන්… කියලා පැත්තකට වෙලා ඉන්න වෙලාවලුත් තියෙනවා.

රූගත කිරීම් කරද්දී ලැබෙන පොඩි විවේකයේදී දෙන්නා එකතුවෙලා මොනවද කළේ…? ඒ වෙලාවට ඉතින් අපිට පසුගිය කාලේදී වෙච්චි දේවල් කිය කියා අපි පැත්තකට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපි දෙන්නාගේ හිනා වීම වැඩිවෙලා අධ්‍යක්ෂවරුන්ගෙන් බැණුම් අහපු වෙලාවලුත් තිබුණා. විශේෂයෙන් සමන් කුමාර ලියනගේ මහතාගෙන් නම් අපි එහෙම හිනාවෙලා බැණුම් අහලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් සද්ද නැතිව දෙන්නා ආයේ පැත්තකට වෙනවා.

ඔහොම රූගත කිරීම් කරද්දී අමතක නොවන සිදුවීමක් එහෙම මතක් කළොත්…? එහෙම සිදුවීමක් නම් තියෙනවා. හැබැයි ඒ සිදුවීම වුණේ මනෝ අක්කටයි. “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ මනෝ අක්කා වයසක අම්මා කෙනෙක්ගේ චරිතයක් තමයි කළේ. බොහෝම දුෂ්කර පළාතක ජීවත් වෙන වයසක, රෙදි හැට්ට අඳින අම්මා කෙනෙක්ගේ චරිතය මනෝ අක්කා හරි අපූරුවට කළා. ඔන්න එක කොටසක මනෝ අක්කා (වයසක අම්මා) ලෙඩ වෙන කොටසක් රූගත කිරීම් කළා. ඒ වයසක අම්මාගේ පුතාට රඟපෑවේ සරත් අයියා. ඉතින් එක තැනකදී පුතාට අර වයසක අම්මාව උස්සගෙන බෙහෙත් ගන්න යන දර්ශනයක් රූගත කිරීම් කරන්න තිබුණා. කැමරා රෙඩි, අධ්‍යක්ෂකවරයාත් රෙඩි. දැන් ඔන්න සරත් අයියා එකපාරටම අර වැරහැලි ඇඳගත්තු මනෝ අක්කව හරහට උස්සගත්තා. මනෝ අක්කගේ හරි අපූරුවට මුණෙන් අර ලෙඩ පාට පෙන්නුවා. ඒත්… එකපාරටම අධ්‍යක්ෂවරයා “කට්… කට්… කියලා කෑ ගැහුවා. දැන් අපිටත් පුදුමයි. බලද්දී තමයි අපිට සිද්ධිය තේරුණේ. මනෝ අක්කා අර වැරහැලි වගේ ඇඳපු රෙද්ද යටින් කළු පාට ජීන්ස් එකක් ඇඳලා. ගමේ ආච්චිලා එහෙම ජීන්ස් අඳිනවාද… එදානම් මනෝ අක්කා හොඳටම බැණුම් ඇහුවා. අපිට නම් හරි හිනා. තාමත් මනෝ අක්කව මුණගැහුණාම “අර වයසක උන්දා ඇඳපු ජීන්ස් එක කෝ… කියලා අහන වෙලාවලුත් තියෙනවා.

හිමාලිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මනෝහරිට කිව්වේ දුරකතනයෙන්ද…? ඔව්… මම කෝල් කරලා මනෝ අක්කට කිව්වා. එදා එයා ගොඩාක් සතුටු වුණා. අපේ යාළුකම කොච්චරද කියනවා නම් මේ වෙනකන් තාම එයා බබා බලන්න ආවේ නැහැ. ඉතින් හැමදාම කෝල් කළාම. “අනේ නංගියෝ… මම එන්නම් කියලා කියනවා. කොහොම හරි මම මගේ දරුවා අරගෙන ළඟදීම එයාට පෙන්නන්න මනෝ අක්කගේ ගෙදරට යනවා. අක්කගේ කාර්යබහුලකමත් එක්ක එහෙම ආවේ නැතිවුණාට මගේ කිසිම තරහක් නැහැ.

මනෝහාරි වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණු එකගැන හිමාලිට මොකද හිතෙන්නේ…? ඇත්තටම ගොඩාක් සතුටුයි. ක්ෂේත්‍රයේ බොහෝ දේවල් මම මනෝ අක්කාගෙන් ඉගෙන ගත්තා. මනෝ අක්කා කියන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඒ වගේම මට හොඳ සහෝදරියක් වගේම මට හොඳ මිතුරියක්.ඔන්න ඔහොම තමයි හිමාලි මනෝහරි ගැන කිව්වේ. දැන් අපි බලමුද මනෝහරි හිමාලි ගැන කියන්නේ මොනවද කියලා…

මනෝහාරිට මතකද මුලින්ම හිමාලි මුණගැහුණ කාලය…? මට මුලින්ම හිමාලිව මුණගැහුණේ “අයාල් කියන ටෙලිනාට්‍යයෙනුයි. ඒ වෙනකොට හිමාලි “සඳගලතැන්න ටෙලිනාට්‍යය රඟපාලා ජනප්‍රිය වෙලයි තිබුණේ. හැබැයි ඊට කලින් මම හිමාලිව මුණගැහිලා තිබුණේ නැහැ. ඉතින් අයාල් ටෙලිනාට්‍යයේ එක තැනකදී මම හිමාලිව මුණගැහිලා “අනේ… නංගී… මේ ඔයාගේ කියලා හිමාලිට කතා කළා. ඒ වෙද්දීත් මම “සඳගලතැන්න නාට්‍යය බලලා තිබුණා. ඊට පස්සේ තමයි “සඳගිරි පව්ව නාට්‍යයෙන් අපි ගොඩාක් කිට්ටු වුණේ.

හිමාලි කියන්නේ මොන වගේ කෙනෙක්ද…? මම මේ ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන අය හරි අඩුයි. හිමාලිට වඩා මම වැඩිහිටියෙක්. නමුත් හිමාලි කියන්නේ හරිම ආදරණීය චරිතයක්. එයා හරිම ළයාන්විතව හරිම ආදරණීයව කතා කරනවා. මට මුණගැහුණු මුල් කාලයේදී එයා ක්ෂේත්‍රයට ටිකක් අලුත්. හැබැයි හිමාලි කියන්නේ හරි අවංක කෙනෙක්. එයා කතා කරන වචනයක් ගානේ ඒ අවංකකම තේරෙනවා. සුන්දර හිතක් තියෙන, හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම සුන්දර චරිතයක්.

ඔය සුන්දර චරිතයට කේන්ති යන්නේ නැද්ද…? එහෙම දැනිලා නැහැ. හැබැයි සමහර දේවල්වලදී “මම ඒවාට කැමති නැහැ අක්කා… කියලා මට කියලා තියෙනවා. එයා ඕනෑම දේකට කැමති කෙල්ලෙක් නෙමේ. එයා එක්ක කතා කරද්දීත් හරි සැනසිල්ලක් තියෙනවා.

හිමාලි රංගනයට එකතු වෙන්න කලින් හොඳ නර්තන ශිල්පිනියක්. ඒ ගැන මනෝහරිට මොකද හිතෙන්නේ… වැඩිපුරම දක්ෂ මොකටද…? ඇත්තටම හිමාලි නංගී ඒ දෙකටම එක වගේම දක්ෂයි. නර්තනය කරද්දී හිමාලි රංගනයටත් මේ වගේම දක්ෂයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එයාගේ රංගනය හරිම තාත්විකයි. එයා නර්තනය කියන දේ සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරලා තමයි “සඳගිරිපව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. එයා නර්තන ශිල්පිනියක් කියලා කාටවත් හිතන්න බැරි විදිහට රඟපෑවා. ඉතාම දුප්පත්, කටුක ජීවිතයක් ගතකරන චරිතයක් තමයි හිමාලි “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මම ගොඩාක් අය චරිතයක් කරන්න හදද්දී ටිකක් ලස්සනට ඉන්න තමයි බලන්නේ… චරිතය කරන්න ආසවෙන්නේ… හැබැයි හිමාලි ඒ චරිතයට අවශ්‍ය විදිහට මුහුණ වෙනස් කරගත්තා. මට මතකයි එදා සමහර තැන්වලදී අඬද්දී සමහර දේ කෑ ගහලා කියද්දී මුහුණෙන් පෙන්නපු ඉරියව් මට තාමත් මතකයි. ඒවා අපිට දැනුණා. බෙල්ලේ නහර පවා ඇදෙන විදිහට හරි අපූරුවට ඒ චරිතය රඟපෑවා. ඒක මට හරියට දැනුණා.

නවක පරපුරයේ බොහෝ රංගන ශිල්පිනියන් එක්ක මනෝහරි වැඩකරලා තියනවානේ… ඒ අතරින් හිමාලිගේ ඇති විශේෂත්වය මොකක්ද…? හිමාලිට ඕනෑම දෙයක් ගැන හරි අවබෝධයක් තියෙනවා. හිමාලි කවදාවත් චරිත පස්සෙන් දුවපු, ජනප්‍රිය වෙන්න දඟලපු චරිතයක් නෙවේ. ඒ වගේම හිමාලි ප්‍රවීණයන්ට වගේම හැමෝටම ගරු කරනවා.

හිමාලිගේ විලාසිතා ගැන මනෝහරිට මොකද හිතෙන්නේ…? හිමාලිට ගැලපෙන විලාසිතා එයා කරනවා. එයා හරි ලස්සනට අඳිනවා. එයා හරි හැඩයි. ඒ වගේම හරි පිළිවෙළට අඳිනවා. එහෙත් මෙහෙන් එල්ලාගෙන එයා අඳින්නේ නැහැ. එයා ඇත්තටම ප්‍රියමනාප කලාකාරියක්. එයාගේ තරුණ කාලේදී එයා එයාගේ විලාසිතා උපරිමයෙන් කරනවා.

ජේන් ජීන්ස් එකක් ඇඳලා රඟපෑවේ ඇයි…? ඇත්තටම ඒකේදී මම වැරදියි. ඒක මගේ වැරදීමකින් වෙච්චි දෙයක්. කබල් ඉරිච්චි චීත්තයක් යටින් මම ජීන්ස් එක ඇඳලා හිටියේ. මාව පුතා වඩාගෙන යද්දීම ඒක එළියට පෙනුණා. ඇත්තටම ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ…

හිමාලිගේ දරුවව බලන්න මනෝහාරි ගියේ නැත්තේ ඇයි…? අනේ… ඔව්… මම ඉක්මනට එයාගේ දරු පැටියාව බලන්න යන්න ඕනේ. ඒක මගේ වැරැද්දක්. හෙට අනිද්දාම ඒ පැටියාව බලන්න යන්න ඕනේ. මම දන්නවා හිමාලි කියන්නේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.

හිමාලි වගේ කෙනෙක් ජීවිතයට සමීප වීම ගැන මනෝහරී මොකද හිතන්නේ…? ඇත්තටම ඒක සතුටක්… මතක් කර කර සතුටු වෙන්න පුළුවන් හොඳ කාලයක් අපිට තිබුණා. ඉදිරියේදීත් මම මගේ දේවල් හිමාලිට කියයි. හිමාලිත් මට කියයි. අපි පුළුවන් වෙලාවට මුණගැහේවී. ඒ සුහඳකම ඉදිරියට තියේවී. හිමාලි මට හොඳ ආදරණීය සහෝදරියක්.